පිළිකාවෙන් පසු චාල්ස් රජු සහභාගි වන ලොකුම අවස්ථාව

චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු ඔහු උත්සව වැනි කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වුණේ නැහැ. නමුත් පළමු වතාවට ඔහු එබඳු අවස්ථාවකට සහභාගි වීමට නියමිත බව මේ වනවිට වාර්තා වෙනවා. මෙම අවස්ථාව නම් ලබන ඉරිදා (31) ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙය යි. මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ වින්ඩ්සර් මාළිගය පිහිටි භූමියේ යි.

චාල්ස් රජු මෙම අවස්ථාවට සහභාගි වනු ඇති බව මේ වනවිට බකිංහැම් මාළිගය ද තහවුරු කර තිබෙනවා. ඔහු මේ ආකාරයෙන් මෙවැනි ප්‍රධාන පෙලේ අවස්ථාවකට සහභාගි වීම බොහෝ දෙනා සලකන්නේ චාල්ස් ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සුබවාදී පණිවුඩයක් ලබා දෙන්නක් හැටියට යි. තමාට පිළිකාවක් වැළඳී ඇති බව දැන ගැනීමෙන් පසු චාල්ස් රජු මාළිගය තුළ සිට ඉටු කළ හැකි සුළු සුළු නිල කටයුතුවල නිරත වුවත් මෙවැනි ප්‍රධාන පෙලේ ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වුණේ නැහැ.

75 හැවිරිදි චාල්ස් රජුගේ පිළිකාව පිලිබඳව බකිංහැම් මාළිගය නිල වශයෙන් ප්‍රකාශ කළේ පෙබරවාරි 5 වැනි දින යි. එදින සිට මේ වනවිට සති 7 කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මේ වනවිටත් චාල්ස් රජු පිළිකා ප්‍රතිකාර ගනිමිනුයි සිටින්නේ.

චාල්ස් පමණක් නොව විලියම් කුමරුගේ බිරිඳ වන කැතරින් හෙවත් කේට් කුමරිය ද මේ වනවිට සිටින්නේ පිළිකාවකට ගොදුරු වෙලයි. චාල්ස් රජු ඉරිදා පාස්කු දේව මෙහෙයට සහභාගි වුවත් කැතරින් කුමරියවත්, විලියම් කුමරුවත් ඊට සහභාගි නොවනු ඇති බවයි සඳහන් වන්නේ. ඊට හේතුව කේට්ගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් එතරම් යහපත් නොවීම බව පැහැදිලියි. විලියම්-කේට් යුවළ ගේ දරුවන් තිදෙනා ද දේව මෙහෙයට සහභාගි නොවනු ඇති බව රජ පවුල සඳහන් කර තිබෙනවා.

තමාට පිළිකාවක් වැළඳී ඇති බව කේට් නිල වශයෙන් ප්‍රකාශ කළේ පසුගිය 22 වැනිදා යි. ඇයම විඩියෝවක පෙනී සිටිමින් මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක් වුණා. කේට්ගේ පිළිකාව තිබෙන්නේ උදරයේ යි. මේ වනවිට ඒ සඳහා කිමෝ ප්‍රතිකාර ආරම්භ කර ඇති බවක් ඇය ඉහත විඩියෝවේ සඳහන් කරනවා.

කේට් පසුගිය ජනවාරි මාසයේ ලන්ඩනයේ පෞද්ගලික රෝහලකට ඇතුලත් වූයේ උදරයේ සැත්කමක් සඳහායි. ඇයට ඇත්තේ පිළිකාවක් බවක් එම අවස්ථාවේ හෙලි වී තිබුණේ නැහැ. පිළිකාව පිලිබඳව තහවුරු වී තිබුණේ සැත්කමෙන් පසුව කරන ලද වෛද්‍ය පරීක්‍ෂණවලදී යි.

කේට්ගේ වයස තවමත් අවුරුදු 42 ක් පමණයි. ඇයගේ දරුවන් තිදෙනාත් ඉතාම කුඩා වයස්වලයි පසුවන්නේ. වැඩිමලා වන ජෝර්ජ්ගේ වයස අවුරුදු 10 ක් පමණයි. දෙවැන්නිය වන චාලට් 8 වැනි වියේ පසුවන අතර බාල පුතු වන ලුවීට තවමත් වයස අවුරුදු 5 යි.

තමාගේ තත්ත්වය ගැන ඔවුන්ට තේරෙන විදියට පැහැදිලි කර දීමටත්, තමුන් නැවත සුවය ලබන බවට විශ්වාසයක් ඔවුන් තුළ ඇති කිරීමටත් ලොකු කාලයක් ගත වූ බව කේට් සඳහන් කර තිබුණා. ඇය නැවත සුපුරුදු පරිදි නිල කටයුතුවල නිරත වන දිනයක් ගැන තවම කිසිවක් සඳහන් වන්නේ නැහැ.

චාල්ස් සහ කේට් යනු රජ පවුලේ ප්‍රධානම සාමාජිකයන් දෙදෙනෙකු බව රහසක් නොවෙයි. එවැනි දෙදෙනෙකු පිළිකාවලට ගොදුරු වී බරපතල ලෙස ගිලන් වීම එම පවුලට දැඩි බලපෑමක් කරන කාරණයක්. ඔවුන් ගිලන් වීම නිසා රජ පවුලේ නිල කටයුතුවල වගකීම්වලට වැඩි වශයෙන්ම උර දෙන්නට සිදු වූයේ කැමිලා බිසවට සහ විලියම් කුමරුට යි. තම සමීපතමයන් පිළිකාවලින් පීඩා විඳිමින් සිටිය දී නිල කටයුතුවල බරත් දරන්නට සිදුවීම ඔවුන් තුළ විශාල පීඩනයක් ඇති කර තිබෙනවාට සැකයක් නැහැ. කෙසේ වෙතත්, ඉරිදා පාස්කු දේව මෙහෙයට සිය සැමියා සමග කැමිලා ද සහභාගි වන බව සඳහන් වෙනවා.

වෙන වසරවල නම් රජ පවුල සහභාගි වන පාස්කු දේව මෙහෙය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන්නක්. නමුත් මෙවර එයට සහභාගි වනු ඇත්තේ කුඩා පිරිසක් බවයි පැවසෙන්නේ.

චාල්ස් සහ කේට් දෙදෙනා රෝගී වීමත් සමග, මේ වනවිට සිය පවුල සමග ඇමරිකාවේ ජීවත්වන හැරී කුමරු ගැනත් අවධානයක් යොමු වෙනවා. හැරී සහ විලියම් අතර ඇතිව තිබූ ගැටුම් නිසා හැරී රජ පවුලේ නිල කටයුතුවලින් ඉවත් වී සිය බිරිඳ මෙගන් ද සමග ඇමරිකාවේ පදිංචියට ගියා. නමුත් සිය පියාත්, සහෝදරයාගේ බිරිඳත් දැඩි ලෙස ගිලන්ව පවුල අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක් තුළ හැරී කවරාකාරයෙන් කටයුතු කරනු ඇත් ද යන්න මේ දිනවල සාකච්ඡාවට බඳුන් වන කාරණයක්. වසර ගණනක් පවුලෙන් ඈත්ව සිටි ඔහු මෙම දුෂ්කර අවස්ථාවේ නැවත පවුලට සමීප වනු ඇත්ද යන්න ගැන බොහෝ දෙනා කුතුහලයෙන් පසුවන බව පෙනෙනවා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර