මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත.
එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් පිරිලා” යනුවෙන් ඔබේ වෛද්‍යවරයා ඔබට පැවසුවේ යැයි සිතන්න. නමුත් ඔබට එය දැනුනේ නැහැ නේද?
අක්මාවේ තෙල් ගැන කතා කරන්නට පෙර අපි අක්මාව ගැන මුලින්ම දැනුවත් වී හිඳිමු.
අක්මාව ශක්ති ගබඩාවකි. අපට වේලක් දෙකක් ආහාර නොලැබුණු විට පවා අපි ශරීරය අප්‍රාණික වී කඩා නොවැටෙන්නේ අක්මාව මගින් ශරීරයට දිගින් දිගටම ශක්තිය නිකුත් කරන නිසාය.

ඒ අක්මාවෙන් සිදු කෙරෙන එක් කාර්යයක් පමණි. මීට අමතරව තවත් කාර්යයන් ගණනාවක් අක්මාව විසින් අප වෙනුවෙන් ඉටුකරනු ලබයි.
ආහාර මාර්ගයෙන් අක්මාවට පෝෂණය සමඟ ඇතුළු වන විෂබීජවල විවිධ විෂ කොටස් ශරීරය පුරා පැතිරී යාමට පෙර ඒවා අල්ලාගෙන ශරීරයේ අනෙකුත් අවයවවලට යාමට ඉඩ නොදී ආරක්ෂා කරන්නේ ද අක්මාව ය.
ශරීරයේ මාංශ පේශීවල පවතින තෙතමනය ලේ නහරවලට ඇතුළු කරගන්නේ ප්‍රෝටීන වර්ගයක් මගිනි. එම ප්‍රෝටීන රුධිරයේ පවතින්නේ අක්මාව එය නිපදවා රුධිරයට ලබා දෙන නිසාය. එය නොලැබුණහොත් මාංශ
පේශිවල වතුර එකතු වීමෙන් ශරීරය ඉදිමීම සිදුවෙයි.
ආහාර ජීර්ණ වීම සඳහා අවශ්‍ය වන පිත් යුෂ නිපදවීමද අක්මාවෙන් සිදුවන තවත් කාර්යයකි.
රුධිරයේ කල් ඉකුත් වූ ලේ සෛල විනාශ වූ පසු එයින් ඉතිරි වන කහ පැහැති
බිලිරුබීන් නම් වර්ණකය රුධිරය මගින් ගෙන එන්නේ අක්මාවට ය. ඉන්පසු අක්මාව විසින් එය පිත් මාර්ගය දිගේ ආහාර මාර්ගයට එවනු ලබයි. පසුව ඒවා මල සමග ශරීරයෙන් පිට වී යනු ඇත. මල කහ පැහැ වන්නේ මේ නිසා ය. කිසියම් ආකාරයකින් මෙම මාර්ගය අවහිර වුවහොත් මුළු ශරීරය පුරාම බිලිරුබීන් පැතිරීම නිසා ශරීරය කහ පැහැවනු ඇත. ඇස් පවා කහ පැහැ වෙයි.
මෙලෙස මල සමග බිලිරුබීන් පිටවීමට හැකියාවක් නැති වන විට ඒවා මුත්‍රා සමග පිටවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවල පැහැය තේ කහටවල පැහැයට සමාන පැහැයක් ගනු ඇත.

මල සමග බිලිරුබීන් මිශ්‍ර නැති නිසා මලවල පැහැය කිරි මැටි පැහැය වැනි ඉතා ලා පැහැයක් ඇතිවේ. මෙවැනි ලක්ෂණ දැකිය හැකි රෝගයක් වන්නේ සෙංගමාලයයි. සෙංගමාලයේදීත් ඇතිවන්නේ මේ තත්ත්වයමය. නමුත් එසේ වන්නේ සෙංගමාල රෝගය සාදනු ලබන වයිරසයක් නිසා අක්මාව ඉදිමීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙනි. එසේම සෙංගමාලය ඇති විට ශරීරයේ කැසීමක් ද හට ගනී. ඒ පිත් ලවණය පිට කරන්නට අක්මාවට අවකාශයක් නොමැති වීම නිසා ය. එම වෛරසය ස්වභාවිකවම ශරීරයෙන් ඉවත්ව ගිය පසු රෝගය සමනය වී අක්මාව සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි.
නමුත් මේ කතා කරන්නේ සෙංගමාලය ගැන නොවේ. පසුකාලීනව සිරෝසිස් ( Cirrhosis ) දක්වා වර්ධනය වන රෝග තත්ත්වයක් පිළිබඳව ය.
යම් පිරිමි පුද්ගලයකුට සිරෝසිස් වැළඳී ඇති බව දැනගන්නට ලැබුණහොත් අපට එක්වරම සිහිපත් වන්නේ මත්පැන් ය. නමුත් කිසිදා මත්පැන් පොදක් තොල ගා නැති කාන්තාවකට වුවද සිරෝසිස් වැළඳිය හැකිය. කලාතුරකින් සිරෝසිස් රෝග තත්ත්වය වැළඳුණු දරුවන් පිළිබඳව ද අපට අසන්නට ලැබේ. එසේ නම් කිව හැකි වන්නේ මත්පැන් යනු සිරෝසිස් වැළඳෙන්නට බලපාන හේතු කිහිපයක් අතරින් එකක් පමණක් බව ය.

බහුලව තිබෙන අක්මා රෝගයක් ලෙස නෑෂ් ( NASH – Non Alcoholic Steato Hepatitis ) දක්වන්නට පුළුවන. ශරීරය ස්ථුලවීම, තෙල් සහ පැණි රස ආහාර නිතර නිතර ගැනීම, ආහාර අධික ලෙස ගැනීම, ශරීරයට ව්‍යායාම නැති වීම වැනි හේතූන් මත දියවැඩියාව කොලෙස්ටරෝල් වැඩිවීම වැනි රෝග තත්ත්වයන් හටගන්නා බව ඔබ දනී. නමුත් මේ හේතු නිසාම හට ගත හැකි තවත් රෝගයක් වන්නේ නෑෂ් ය. නෑෂ් රෝගයෙහි අවසන් ප්‍රතිඵලය සිරෝසිස් තත්ත්වයට පත්වීම ය.
මුල් අවස්ථාවේදී මෙය ස්කෑන් සහ රුධිර පරීක්ෂණ මගින් හඳුනා ගැනීමේ හැකියාව ඇත. නමුත් රෝග ලක්ෂණ නැති විට අපි රෝග සම්බන්ධ විවිධ පරීක්ෂණ කිරීම සඳහා යොමු නොවෙමු. එසේ වුවද විදෙස් රැකියාවලට යන අවස්ථාවක හෝ නැතහොත් හදිසියෙන් හෝ SGPT/OT රුධිර පරීක්ෂණයක් කර බැලුවොත් මේ තත්ත්වය සිරුරේ පවතින්නේ නම් එය හඳුනා ගත හැකි වනු ඇත. මෙය ෆැටි ලිවර් ( fatty liver) ලෙස හඳුන්වයි. ෆැටිලිවර් පවතින රෝගියෙකුගේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලූ විට අක්මාවේ තෙල් තට්ටු පවතින ආකාරය දැක ගත හැකි වනු ඇත.

මෙවැනි රෝගයක් මුලින්ම හඳුනාගත හැකි වන්නේ වෛද්‍ය පරීක්ෂණ මගින් පමණි. එයට හේතුව මුල් කාලයේ දී එම රෝගියාට කිසිදු රෝග ලක්ෂණයක් නොදැනීමයි. රෝග ලක්ෂණ මතුවන්නට පටන් ගන්නේ අක්මාවට ක්‍රම ක්‍රමයෙන් හානි සිදුවන්නට වූ විටය. මෙම රෝග ලක්ෂණ අතර සිරුර ඉදිමීම, විශේෂයෙන් උදරය අසාමාන්‍ය අන්දමට කලයක් මෙන් ඉදිරියට නෙරා ඒම, උදරයේ වතුර පිරීම, සිරුර කහ පැහැ වීම, කම්මුල් දෙක කන ඉදිරියෙන් පිම්බීයාම, කිහිලිවල සහ පපුවේ රෝම ගැලවී යාම, පිරිමින්ගේ පියයුරු ඉදිරියට නෙරීම සහ ඒවා ස්පර්ශ කරන විටත් දැඩි වේදනාවක් දැනීම, සමේ විශේෂයෙන් පපුවේ රතු පැහැති තිත් හට ගැනීම, අත්ල රතු පැහැවීම, නියපොතු සුදු පාට වී ඉදිරියට වක්‍රවීම, ලිංගික බෙලහීනතාවය සහ වෘෂණ කෝෂ ඇකිලීගොස් ඒවා ඉතා කුඩා තත්ත්වයට පත්වීම මේ අතර වේ. මේ සියලුම ලක්ෂණ සෑම සිරෝසිස් රෝගියෙකුටම එකසේ මතු නොවුණත් මෙයින් යම් යම් ලක්ෂණ මතු වනු ඇත.

මේ තත්ත්වයට පැමිණීම යනු රෝගියා සිරෝසිස් රෝගියකු වී හමාර ය. මෙබඳු ලක්ෂණ ඇති වනවිට අක්මාව කොහු ගොඩක් බඳු තත්ත්වයක් යුතු වෙයි. මේ තැනට පත්වූ පසු නැවත ආපසු හැරෙන්නට ද ක්‍රමයක් නැත. එනම් අක්මාව පෙර තිබූ තත්ත්වයට පත්කර ගත හැකි නොවේ. මෙහිදී රෝගියාගේ ජීවිතයට අනතුරු විය හැකි ආකාර දෙකකි. එකක් නම් ආහාර මාර්ගයේ විෂ අක්මාව හරහා මොළයට පැමිණ සිහිසුන් වීමෙනි. එසේ සිහිසුන් වී සිටින රෝගියකු හට වස්ති මාර්ගයෙන් මහ බඩවැල් සහ අධෝ මාර්ගයේ සේදීමක් කළොත් දින කිහිපයකින් රෝගියාට සාමාන්‍ය සුවයක් ලබා ගැනීමට පුළුවන.

මේ හැරුණු විට ආහාර මාර්ගයේ සිට සියලු පෝෂණය අක්මාවට රැගෙන එන ප්‍රධාන නහරය, ආහාර මාර්ගයේ ආමාශය ආරම්භ වන තැනම පුපුරා යා හැකිය. එවිට ආහාර මාර්ගය තුළට විශාල වශයෙන් ලේ වහනය වීමට පටන් ගනියි. ඇතැම් විට රෝගියාට ලේ වමනය යා හැකිය. වමනයක් සිදු නොවුණොත් එම රුධිරය ආහාර සමඟ දිරවා මල කළු පැහැයෙන් පිටවනු ඇත. මෙවැනි රෝගියකුට ප්‍රතිකාර ලබාදී ජීවිතය ගලවා ගැනීමට නම් හැකි ඉක්මනින් රෝගියා ප්‍රධාන රෝහලකට රැගෙන යා යුතුවේ . මෙහිදී උගුර හරහා ආමාශයට ඇතුල් කරන කැමරාවක් සහිත බටයක් එනම් එන්ඩොස්කොපි පරීක්ෂණයක් මගින් ලේ ගලන තැන සොයාගෙන එම ස්ථානයටම ප්‍රතිකාර ලබාදිය හැකිය. රෝගියාගේ නහර පිපිරීමට පෙර කිසියම් හෝ හේතුවකින් කලින් සිදු කරන රුධිර පරීක්ෂණ මගින් රෝග තත්ත්වය අනාවරණය කර කරගන්නට ලැබුණොත් නහර පිපිරී ලේ ගැලීමට පෙර රෝගියාට ප්‍රතිකාර ලබාගත හැකි වේ. එහිදී කරනු ලබන්නේ එන්ඩොස්කොපි පරීක්ෂණය මගින් පිපිරීමට තිබෙන නහර හඳුනාගෙන එම ස්ථාන රබර් වළලුවලින් සිර කිරීම ය. එමගින් නහර පිපිරීම වැළකී යයි.

ඒ අනුව මෙම ක්‍රම දෙකටම ප්‍රතිකාර තිබෙන බව කිව යුතුය. එමගින් සිරෝසිස් රෝගියකුට තවත් කලක් ජීවත්වීමට හැකියාව ලැබේ.
මේ හැරුණු විට සිරෝසිස් දක්වා වර්ධනය වන පරම්පරාගතව ජාන මගින් වැළඳිය හැකි රෝග කිහිපයක් ද තිබේ. විශේෂයෙන් ලේ ඥාතීන් අතර සිදුවන විවාහවල දී ඔවුන්ට ලැබෙන දරුවන්ට ඇතැම් විට මෙවැනි රෝග හැට ගැනීමේ හැකියාවක් පවතී. එවැනි රෝග කිහිපයක් පහත දක්වමු.

* විල්සන් ගේ රෝගය ( Wilson ‘s desease)
සිරුරේ තඹ ( copper ) වැඩිවීම නිසා තඹ විෂ වීමේ රෝගය

* ඇල්ෆා වන් ඇන්ටිට්‍රිප්සින් ඩෙෆිෂන්සි ( Alpha one antitrypsin deficiency ) රෝගය
මෙම රෝගය නිසා පෙනහලු සහ අක්මාව ක්‍රම ක්‍රමයෙන් විනාශ වේ. මෙය ඉතා කලාතුරකින් ඇතිවන ජාන මගින් හටගන්නා රෝගයකි.

* හිමක්‍රොමැටෝසිස් ( Haemachromatosis ) රෝගය
මෙම රෝගයේදී සිදුවන්නේ අක්මාවේ යකඩ තැන්පත් වී යකඩ විෂ වීමයි.

සිරෝසිස් රෝගය හට ගැනීමට ප්‍රධානම හේතුව මත්පැන් ය. නිතර නිතර මත්පැන් ගැනීම නිසා අවසානයේ අක්මාවට හානි සිදුවී එය අකර්මණ්‍ය වීමෙන් හැදෙන සිරෝසිස් වර්ගය ඇල්කොහොලික් සිරෝසිස් ( Alcoholic cirrhosis ) වේ. මෙය අප සුලභව අසන දකින සිරෝසිස් වර්ගය යි. මෙම රෝග තත්ත්වයෙන් වැළකී හිඳීම අසීරු නැත. කළ යුත්තේ මත්පැන් භාවිතය ඉතා සීමා කිරීම ය.
දෙවැන්න ඉහත විස්තර කළ නෑෂ් රෝගයයි. ළමා වියේ සිටම තෙල් සහ පැණි රස ආහාර ඉතාමත් සීමා කරන්නේ නම්, ශරීරයේ බර අඩුවෙන් පවත්වා ගන්නේ නම්, ව්‍යායාම කරන්නේ නම් ආදී වශයෙන් මෙලෙස තම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමෙන් නෑෂ් රෝගයෙන්ද ඈත් වී සිටීමට හැකියාව ලැබෙනු ඇත.
බාල ප්‍රමිතියෙන් යුතු අරිෂ්ට ආදිය හිතුමතයට ගැනීමෙන් වැළකී සිටීමද අත්‍යවශ්‍ය කරුණකි. එයට හේතුව මෙම ඇතැම් ඖෂධවල මද්‍යසාර අඩංගු විය හැකි බැවිනි. එවැනි දේවල් දිගු කාලයක් තිස්සේ ගන්නා අයට සිරෝසිස් වැළඳීමේ ඉඩකඩක් පවතී.
කල් පවතින බෝ නොවන සෙංගමාල රෝගය ( හෙපටයිටිස් බී සහ සී) වැළඳුනහොත් එයද නිසි ප්‍රතිකාර ලබා ඉක්මනින් සුව කරගත යුතුය.
ජාන මගින් වැළඳෙන සිරෝසිස් රෝග දරුවන්ට හට ගැනීම වළක්වා ගන්නට නම් ලේ ඥාතීන් අතර විවාහයන් සිදු නොකිරීම වැදගත් වෙයි.
මේ ලෙස ඔබ සැලකිලිමත් වන්නේ නම් සිරෝසිස් රෝගවලින් මිදී හිඳීමේ හැකියාව ලැබේ.

උපදෙස් කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය