මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි

වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ සංයුතියක් වන ඒ මත නුග රුකක් වැඩී ඇත්තේ එහි මූල පද්ධතිය එම ගල් කුල තරයේ වැළඳ සිටින ස්වරූපයක් පළ කරමිනි.එමෙන්ම ඒ අවට ඇති අඳුරු සහගත බව නිසා එහි කිසියම් ගුප්ත බවක් ද රැඳී පවතී. ප්‍රදේශයේ ගැමියන් පවසන අන්දමට එම ගල් පර්වතය ආශ්‍රිතව නිතර නාගයෝ දක්නට ලැබෙති. එනිසාම සමහරෙකු ඒ ගල් කුල ‘නයි ගල’ ලෙස ද හඳුන්වන බවක් කියනු ලැබේ. ඉහත සඳහන් සියළු කරුණු පදනම්ව එම ගල් කුල සම්බන්ධයෙන් පාරම්පරිකව ගැමි සිත් සතන් තුළ එක්තරා ප්‍රබල විශ්වාසයක් ගොනු වී ඇත. එනම් ඒ ගල් පර්වතය තුළ ඉතා වටිනා නිධානයක් ඇති බවකි.එය අසූ කෝටියක වටිනා කමකින් යුතු වූවක් බව ද කියනු ලැබේ.නමුදු මෑත භාගයේ කිසිවකුත් එම නිධානය කෙරෙහි ලොල් වූ බවට සළකුණක් නැත.එසේ වුවත් මීට සියවසකට පමණ පෙර ඒ ගල් කුලෙන් කොටසක් ගල් බෝර යොදා පුපුරුවා හැර ඇති බවට ඉන් වෙන්ව ඇති ගල් පතුරු වලින් පෙනේ. ගම්මුන් පවසන අන්දමට එම ගල් කුල ආශ්‍රිතව ඇති නිධානය කොල්ල කෑමට එසේ ගල් බෝර දැමූ පුද්ගලයන් ගේ පවුල් පරම්පරා පිටින් විනාශ වූ බවට පැරැන්නන් පවසා ඇත.

මිහි තුළ ඇති ස්වභාවික ඛනිජ සේම මිනිසුන් විසින් තැන්පත් කොට ඇති ධන නිධානයන් රැක දීම සම්බන්ධයෙන් ඒ ගම් බිම් වලට අධිගෘහිත මුත්තා දෙවිවරුන් අනලස්ව ක්‍රියා කරන බවට ජන විශ්වාසයක් දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල මෙන්ම වයඹ පළාතේ ද තිබේ.මෙම ප්‍රාදේශීය දෙවිවරුන් විසින් ඒ ඒ ප්‍රදේශවල රැකගෙන හිඳින බල ආධිපත්‍යය කොතෙක් ද යත් එම බල ප්‍රදේශවල දේව තෝත්‍රයක්, ශාන්ති කර්මයක් සේම පිරිතක් වැනි බෞද්ධාගමික වතාවත් කිරීමේ දී පවා ඒ ගං කොටුවේ දෙවියන් ගේ අවසරයත්, සහභාගීත්වයත් ලබා ගත යුතු බවට පැවැති ජන විශ්වාසය සම්බන්ධයෙන් මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ එච්. එම්. එස් තුන්දෙණිය යන විද්වත්හු “සිංහල දේව පුරාණය” (1994) නම් සිය කෘතිය මගින් කරුණු ගෙන හැර දක්වති.

මේ සියලු තත්වයන් යටතේ පසුගිය දිනයෙක කිසියම් පිරිසක් ඒ ගල් කුලේ පාදම වටා අඩි දෙකක් පමණ පළලට අඩි තුනක් පමණ ගැඹුරට හා අඩි හත අටක් දිගට අගලක් කපා ඇති බව ඒ ඉඩම් හිමියාට ඉතා අහඹු ලෙස දැකිය හැකි ව තිබේ.කා හට වුවත් වැටහෙන අන්දමට එවැනි තැනක එවැනි ආකාරයේ කැනීමක් කිරීමට ඇත්තේ එකම එක හේතුවකි. එනම් ඒ තුළ ඇතැයි පැවසෙන නිදන් ගොඩ ගැනීමට ය. මෙසේ මෙවැනි තැන්වල පොළොව අභ්‍යන්තරයේ නිදන් ඇති බවට අංජනම්, පේන, නිමිති ආදියෙන් හා පාතාල අංජනම නම් ගුප්ත ක්‍රමයෙන් දැන ගත හැකි බවට විශ්වාස එම ප්‍රදේශවල ගැමියන් අතරේ පවතී. ඒ අනුව එය නිදන් කොල්ලයකට සැරසීමක් බව සැක හැර දැන ගත් එම ඉඩම් හිමිකරු එම සොරුන් ගෙන් ඒ ධන නිධානය රැක ගැනීම පිණිස එක්තරා ගුප්ත ක්‍රමයක් යෙදීමට අදහස් කොට තිබේ.එනම් එම ස්ථානය එම ප්‍රදේශ වල භූමියට ආධිපත්‍යය දරන “මුත්තා දෙවියන්”ට යළි භාර කිරීම ය. මා මින් පෙර කිසිදා දැක නොතිබූ එම ගුප්ත ක්‍රියාවලිය සියැ`සින් දැක ගැනීමට මට අවකාශ ලැබුණේ බෙලිහුල් ඔය සිට පැමිණ මහව, දළඳාගම ප්‍රදේශයේ රැකියාවක යෙදී සිටින සහෘදයකු ගේ උපකාරයෙනි.. මිහි තුළ ඇති ස්වභාවික ඛනිජ සේම මිනිසුන් විසින් තැන්පත් කොට ඇති ධන නිධානයන් රැක දීම සම්බන්ධයෙන් ඒ ගම් බිම් වලට අධිගෘහිත මුත්තා දෙවිවරුන් අනලස්ව ක්‍රියා කරන බවට ජන විශ්වාසයක් දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල මෙන්ම වයඹ පළාතේ ද තිබේ.මෙම ප්‍රාදේශීය දෙවිවරුන් විසින් ඒ ඒ ප්‍රදේශවල රැකගෙන හිඳින බල ආධිපත්‍යය කොතෙක් ද යත් එම බල ප්‍රදේශවල දේව තෝත්‍රයක්, ශාන්ති කර්මයක් සේම පිරිතක් වැනි බෞද්ධාගමික වතාවත් කිරීමේ දී පවා ඒ ගං කොටුවේ දෙවියන් ගේ අවසරයත්, සහභාගීත්වයත් ලබා ගත යුතු බවට පැවැති ජන විශ්වාසය සම්බන්ධයෙන් මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ එච්. එම්. එස් තුන්දෙණිය යන විද්වත්හු “සිංහල දේව පුරාණය” (1994) නම් සිය කෘතිය මගින් කරුණු ගෙන හැර දක්වති. එමෙන්ම එන්. ටී. කරුණාතිලක සූරීන් විසින් සම්පාදනය කරන ලද “දැදුරුඔය බඩ ජන ඇදහීම්”(1985) කෘතියේ ද මෙම මුත්තා දෙවිවරුන් ගේ ප්‍රාදේශීය ආධිපත්‍යය පිළිබඳ අගනා කරුණු දැක්වීමක් සිදුකොට තිබේ.

දැදුරුඔය බඩ ප්‍රදේශවාසීන් අතර මෙම මුත්තා දෙවිවරුන් ඇදහීම කෙතරම් ප්‍රචලිත ද යත් සෑම ඉඩමකටම අරක් ගත් දෙවියකු වැඩ හිඳින බවට විශ්වාසයක් පවතින බව සඳහන් කරන කරුණාතිලක සූරීන් වැඩිදුරටත් පවසනුයේ එම මුත්තා දෙවියන් එතුමන් විසින් අරක් ගන්නා ලද ඉඩමේ නමින්ම හැඳින්වෙන බව ය. නිදසුනක් ලෙස යම් ඉඩමක තම තුඹකැටිය නම් ඒ දෙවියන් ද තුඹකැටියේ මුත්තා නමින් දැදුරුඔය ඉඩමේ ගැමියන් විසින් හඳුන්වන ලද බව කරුණාතිලක සූරීහු කියති. එමෙන්ම මෙම ප්‍රාදේශීය දේව ආධිපත්‍යය පිළිබඳව සිය “සිංහල රණවිරු දෙවිවරු” (1997) කෘතිය මගින් විස්තර කරන විභාවි විජය ශ්‍රී වර්ධන සූරීන් පවසනුයේ අප රටේ දකුණු පළාතේ දී මෙම ගම්භාර හා පවුල් භාර දෙවිවරුන් “මුත්තා හාමුදුරුවන්” නමින් හඳුන්වන බව ය.
මෙවන් ජන විශ්වාසමය පදනමක් යටතේ ඉහත සඳහන් නිධානය ඇතැයි පැවසෙන ස්ථානය ආරක්ෂා කිරීම කෙරෙහි එම ප්‍රදේශය, ග්‍රාමය හෝ පෙළපත භාර මුත්තා දෙවි කෙනෙකුගේ අවධානය යොමු කරවීමේ යෝග්‍යතාව අමුතුවෙන් පහදා දිය යුතු නැත.
තම වනගත ඉඩමේ ඇති නයිගල පාමුල කිසියම් පිරිසක් විසින් හාරා ඇති බව දැන ගත් සැනින් ඒ ඉඩම් හිමිකරු එවැනි කටයුතු උදෙසා ප්‍රසිද්ධියක් උසුලන හෙට්ටිපොල ප්‍රදේශයේ පාරම්පරික වෙද මහතකු ගෙන් උපකාර පතා තිබේ.නමුත් මෙහි දී ඔවුන් ගේ නම් ගම් ඇතුළු තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමට අපි ද වග බලා ගන්නෙමු. ඒ මෙම විෂය පථය කෙරෙහි නිරතුරු උනන්දුවකින් පසුවන ධන තණ්හාවෙන් පීඩිත වූවන් අද සමාජය පුරාම දක්නට ලැබෙන බැවිනි.එවැන්නවුන් ගෙන් ඉහත සඳහන් පාර්ශවයන් ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් වීමට ඇති හැකියාව ද අප අමතක කළ යුතු නොවේ.නිදන් සෑරීමක් සම්බන්ධ ගුප්ත කටයුත්තකට සම්බන්ධ වූ හිමි නමක ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී දහවල් දානය වළඳමින් සිටින අතරේ එම නිදන් සෑරීමට සම්බන්ධ තවත් පාර්ශයක තුවක්කු කරුවකු වෙතින් ඝාතනයට ලක් ව වැඩි කාලයක් නැත.පසුව ඒ ඝාතන සැකකරු ද “පොලීසියට ආයුධ පෙන්වීමට ගොස්” පලා යාමට තැත් කිරීමේ දී පොලිස් වෙඩි පහරකින් මිය ගිය බව මාධ්‍ය මඟින් වාර්තා කෙරිණ.එහෙත්, වන්නි හත්පත්තු ගැමියන් පවසන අන්දමට එම ඝාතන වූ කලී නිදන් මංකොල්ල කෑමට සැරසෙන්නවුන්ට එම භූමි ආරක්ෂක දෙවි වරුන් දෙන දේව දඬුවම් ය.

කන්නලව්වකින් පසු එම ස්ථානයේ ඇතැයි පැවසෙන නිධානය මුළුමනින්ම මුත්තා දෙවියන්ගේ භාරකාරත්වයට නතු වන අතර ඉන් පසු එය ලබා ගැනීමට වෙර දරන කවරකු හට හෝ දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බව ගැමි විශ්වාසයකි. ඉන් ප්‍රධානම ප්‍රතිවිපාකය වනුයේ ඉන්පසු එසේ උත්සාහ දරන්නවුන් පසුව සිහි විකල්ව ඒ බව පවසමින් හා නන් දොඩවමින් මුලු ගම පුරා ඇවිදීම ය. ඊට අමතරව ඔවුහු සර්ප දෂ්ඨනයන්ට, වන අලි ප්‍රහාරයන්ට, ජල භීතිකාව වැළඳුණු සුනඛයන්ගේ සපා කෑම් වලට, ගිනි අනතුරු, දිය අනතුරු ආදියට අකුණු සැරවලට ගොදුරු වීමේ පහසු නැඹුරුවක් පළ කරති.පැරණි ගැමියන් පවසනුයේ නිදන් හැරීමට ගොස් එලෙස වැඩ වරද්දා ගත්තවුන් සම්බන්ධ කතා ප්‍රවෘත්තීන් අදටත් ඉඳ හිට එම ප්‍රදේශවලින් අසන්නට ලැබෙන බවකි.

කිසියම් පිරිසක් තම ඉඩම තුළ නිධානයක් හැරීමට වෙර දරා ඇති බවක් දුටු සැනින් ඒ ඉඩම් හිමියා කළ යුතු පළමු කාරිය හැකි විගස එම වල වසා දමා පොළොව කලින් පැවැති තත්වයට සකසාලීම ය. එසේ කපා ඇති වලේ ප්‍රමාණය හෝ එහි පිහිටීම අනුව එසේ කළ නොහැකි නම් හිරියල්,සාදිලිංගම්,කුංකුමප්පු,දුම්මල,සාම්බ්‍රානි යන වර්ග දවා ඒවායේ අළු මිටක් එම වළ තුළට දැමිය යුතු ය. ඉන් පසු ඒ සැනින් එම නිධානය කෙරෙහි ඉඩම හිමි මුත්තා ගේ ඇල්ම බැල්ම යොමු කරන්නැයි සිතින් කරන කන්නලව්වක් ද සමඟ පඬුරක් ගැට ගසා එම ස්ථානය ආසන්නයේම ඇති උස් ගසක අත්තක ගැට ගැසිය යුතු ය. අනතුරුව ඉන් පසු එළැඹෙන පළමු කෙම්මුර දිනයේ එම නිධානය තැන්පත් කොට ඇති බවට සැළකෙන ස්ථානයේ මුත්තා දෙවියන් උදෙසා යාතිකාවක් කොට කිරි උතුරුවා මුත්තා ගේ ඇල්ම බැල්ම එම ස්ථානය වෙත යොමු කරවීම ඉතා වැදගත් ය.එහි දී එම මුත්තාට මෙන්ම අයියනායක,කඩවර,කම්බිලි ආදී දෙවි වරුන්ට කිරිබත් සහිත ගොටු පිදීමක් ද කළ යුතු වේ. නමුත් ඊට පෙර මෙවන් සිද්ධියක් සම්බන්ධයෙන් සියලු කරුණු අදාල පොලිස් ස්ථානය වෙත ද පැමිණිල්ලක් ගොනු කළ යුතු ය.ඒ එසේ නොමැති නම් එම පූජාව ද අනවසර කැනීමක් සේ සළකා එහි යෙදෙන්නවුන් පොලිස් අත් අඩංගුවට පත් විය හැකි බැවිනි. මුත්තා දෙවියන් වෙනුවෙන් සිදු කෙරෙන මෙම යාතිකාව සහ කිරි ඉතිරවීම හා ගොටු තැබීම පෞද්ගලිකව ද කළ හැකි බව පැවසෙයි. නමුදු අප ගේ නිරීක්ෂණයට ලක් වූ එම පූජාව ඉහත සඳහන් කළ හෙට්ටිපොල වෙද මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.
මෙවන් කන්නලව්වකින් පසු එම ස්ථානයේ ඇතැයි පැවසෙන නිධානය මුළුමනින්ම මුත්තා දෙවියන්ගේ භාරකාරත්වයට නතු වන අතර ඉන් පසු එය ලබා ගැනීමට වෙර දරන කවරකු හට හෝ දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බව ගැමි විශ්වාසයකි. ඉන් ප්‍රධානම ප්‍රතිවිපාකය වනුයේ ඉන්පසු එසේ උත්සාහ දරන්නවුන් පසුව සිහි විකල්ව ඒ බව පවසමින් හා නන් දොඩවමින් මුලු ගම පුරා ඇවිදීම ය. ඊට අමතරව ඔවුහු සර්ප දෂ්ඨනයන්ට, වන අලි ප්‍රහාරයන්ට, ජල භීතිකාව වැළඳුණු සුනඛයන්ගේ සපා කෑම් වලට, ගිනි අනතුරු, දිය අනතුරු ආදියට අකුණු සැරවලට ගොදුරු වීමේ පහසු නැඹුරුවක් පළ කරති.පැරණි ගැමියන් පවසනුයේ නිදන් හැරීමට ගොස් එලෙස වැඩ වරද්දා ගත්තවුන් සම්බන්ධ කතා ප්‍රවෘත්තීන් අදටත් ඉඳ හිට එම ප්‍රදේශවලින් අසන්නට ලැබෙන බවකි.එහි කිසියම් ගුප්ත බලයක් ඇතැයි යන විශ්වාසයක් පෞද්ගලික විශ්වාසයක් මා තුළ නැත.එහෙත් ඉහත සඳහන් ක්‍රියා දාමයන් මඟින් ඒ පිළිබඳ විශ්වාස කරන ප්‍රති පාර්ශවයන් මානසිකව බෙලහීන කිරීමට ඇති ව්‍යංගාත්මක හැකියාව නිශේධ කිරීමට ද නොහැක.එබැවින් එවන් තත්වයන් යටතේ වන්නි හත්පත්තුවේ මුත්තා දෙවියන්ට නිදන් රැකීමට භාර කිරීම නරකම යැයි කීමට මට නොපුළුවන.
’‘මට නම් ඔතන තියන ප්‍රශ්නේ ඔය කියන විදිහට පොළව යට, ගල් කුහර වල ඔහොම රත්තරන් මුතු මැණික් වගේ දේවල් හංගලා තියන්න තරම් මෝඩයෝ ඉස්සර කාලෙ හරි මේ රටේ හිටියද? කියන එකයි” මුත්තා ගේ නිදන් රැකීම සම්බන්ධයෙන් මා කළ විමසුමකට පිළිතුරු දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරී ටී. එම්. සී.බණ්ඩාර මහතා කීය.

“කොහොම හරි ඔය වගේ මිථ්‍යා විශ්වාස සමාජය පුරා පැතිරිලා යන තරමට පැරණි මානව ජනාවාස වල තියන ඉතාම වටිනා පුරා විද්‍යාත්මක සාධක අහිමි වෙන්න පුළුවන්. මෙතන වටිනා කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකම මිසක් මූල්‍යමය වටිනාකම නොවෙයි. සමහර තැනකින් හම්බු වෙන පරණ වළං කටුවක වුණත් සාමාන්‍ය කෙනෙකුට කොහොමත් නොවැටහෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන්න පුළුවන්. ඒ වටිනාකම දිගින් දිගටම රැක ගන්න නම් අපේ රටේ බහුතරයක ගේ ඔළු ඇතුලේ කැකෑරෙන ඔය නිදන් උමතුව සෑහෙන්න අඩු කරගන්නට වෙනවා”ඔහු වැඩි දුරටත් කීය..
මේ වන විට අපට හිඳින අදාල ක්ෂේත්‍රය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතමයකු වන ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය ද හොබවා තිබේ.දේශපාලනික වශයෙන් වාමාංශික මතධාරියකු වන ඔහු ගෙන් ද මම මෙම මුත්තා දෙවියන් ලවා නිදන් ආරක්ෂා කර ගැනීමේ පැරණි උපාය මාර්ගය පිළිබඳ විමසුමක් කළෙමි.
“ඕක මෙහෙමනේ; දැන් අපි දේදුන්නක් ගනිමු. ඒක දිහා විද්‍යාඥයා බලන විදිහට නෙවෙයි සෞන්දර්යවාදියා බලන්නේ. ඒත් දේදුන්න කියන්නේ එකම දෙයක්. ඒ හින්දා පාරම්පරික ගැමි විශ්වාසය මත පදනම් වෙලා හරි පැරණි පුරා විද්‍යාත්මක උරුමයන් යම් තරමකට හරි ආරක්ෂා වෙනවා නම් ඒක හොඳ නැහැ කියන්න බැහැ නේද? අනික ඔය නිදන් කතා දඹරන් පිළිම වගේ දේවල් පුහු මනැස් ගාතනෙ. ඔය දඹරන් පිළිම කියන්නේ ලූනු සිවිය වගේ තුනී රන් ආලේපයක් තියන ලෝකඩ වගේ පිළිම ජාති. ඒවයේ රත්තරන් වල වටිනාකම බැලුවම ඒකක් අරගෙන කොහාට හරි විකුණන්න ගෙනියන බස් ගාස්තුව වත් හොයා ගන්න බෑ අඩුම ගාණේ” ආචාර්ය ලක්දුසිංහයෝ සිනාසෙමින් කීහ.
“ඕනෑම සමාජයක විඥානමය වශයෙන් ව්‍යුහාත්මක පදනමක් තියනවා අපේ පැරණි ගැමි සමාජයටත් ඒක අදාලයි. වර්තමානයේ වගේ නීති පද්ධතිය සවිමත් නොවුණු අතීත කාලේ සමාජයේ නොයෙක් අවකල් ක්‍රියා පිටු දකින්න සුචරිතය සදාචාරය ස්ථාපිත කරන්න ඉවහල් කර ගන්නේ ආධ්‍යාත්මික හා ගුප්ත පදනමක් සහිත ජන විශ්වාස”. ඒ සම්බන්ධයෙන් මා හා අදහස් පළ කළ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර කීය. “ඒ හින්දා ඕවා සියුම්ව අධ්‍යයනය කරලා ඒ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන සම්බන්ධයෙන් සංයමශීලීව සමාජයට කරුණු දක්වනවා මිසක් හුදෙක් භෞතිකවාදී පදනමක ඉඳලා ඔය සාම්ප්‍රදායික සමාජ හර පද්ධතීන්ට පහර දෙන එක මුළු මහත් මානව සංහතියටම කරන නරකක් නපුරක් අයහපතක් කියලයි මම නම් කියන්නේ” මහාචාර්යවරයා ගේ එම අදහස සම්බන්ධයෙන් මුනිවත රකින මම එය බුද්ධිමත් ඔබගේ සංතීක්ෂණ අවධානය පිණිස යොමු කොට මෙලෙස නිහඬ වෙමි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය