මෛත්‍රී දයාසිරිට යැවූ ලිපිය ක්‍රියාත්මක වීමට එරෙහි වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණේ, තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ඉකුත් 18 වනදා පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලිපියක් නිකුත් කර ඇති බවය.එවැනි නිදහසට කරුණු ඉල්ලා ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

කාලීන පුවත්