සුසුම් දැලින් සංවේදී කවි ගෙත්තම් කරන සඳුන්

තම ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස වන ආර්ථික ශක්තියක් නොමැති වීම හෙවත් දිළිඳු බව එම වදන භාවිතා නොවුණ ද “ගෝලීය වසංගත මට්ටමක් තෙක්” ව්‍යාප්තව පවතින්නකි.අප සමාජය අතුරින් වුව දිළිඳුකම නම් වන සමාජ ඛේදවාචකය දස`තින් වෑහෙමින් පවතින යුගයක නැඟෙන ජනතා අඳෝනා සහකම්පනයෙන් යුතු හදවත් මුසපත් කරවීමට සමත් වන බව නිසැක ය.එවන් පසුබිමක් තුළ කිසිදු රටාවක් නොමැති දුක්ඛ දෝමනස්සයන් තුළින් කාව්‍යාත්මක රටා මවමින් දුක ශෝකය නමින් හඳුන්වන කටුක නීරස භාවයන් සංවේගාත්මක ප්‍රවේශයක් ඔස්සේ රසික හදවත් තුළ වඩාත් ප්‍රබල ලෙස සිත්තම් ගෙත්තම් කිරීමේ සුවිශේෂ ප්‍රතිභාවකින් යුතු කවියකු අද අපි ඔබ හමුවට ගෙනෙමු. කාව්‍යකරණය කෙරෙහි මහත් ඇල්මක් දක්වන යොවුන් කවියෙකු ලෙස මුහුණ පොත හරහා බොහෝ දෙනෙකු හඳුනාගත් සඳුන් සත්සර ගුණසේකර නම් වන මෙම කවියා මේ වනවිට රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගෙනුම ද කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනික පුහුණුව ද ලබන තුන්වන වසර ශිෂ්‍යයෙකි.2009 වසරේදී ශිෂ්‍යත්ව විභාගය සහ 2015 වසරේදී අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් ඔහු දිවයිනේ කීර්තිමත් පාසලක් වන රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයෙන් රුහුණ සරසවියට ඇතුළත් වීමට වරම් ලැබීය. විද්‍යා විෂයන් හැදෑරුවද පාසල් වියේ සිටම සාහිත්‍ය විෂයන් කෙරෙහි ද නැඹුරුවක් දක්වමින් කාව්‍ය සහ කෙටිකතා නිර්මාණකරණයෙන් පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීමට ද සමත් විය.මේ වනවිටත් අඛණ්ඩව කාව්‍යකරණයේ නිරත වෙමින් හිඳින ඔහු ඉදිරියේදී ” අමල් බිසෝ ” නමින් කාව්‍ය ග්‍රන්ථයක් පිළියෙල කිරීමට ද කටයුතු සම්පාදනය කරයි..”පාරමිතාවක් නොවේ”යනුවෙන් අද අප ඔබ වෙත ඉදිරිපත් කරනුයේ දරිද්‍රතාව නම් වන කටුක නීරස සංසිද්ධිය මුල් කොව සහෘද හදවත් තුළ ස්නිග්ධ භාවාත්මක සංවේදනා පුබුදු කරවීමට සමත් වන ඔහු විසින් රචිත එක් පද්‍ය නිර්මාණයකි.

art

පාරමිතාවක් නොවේ

අනෝරා මහ වැස්ස ඇවිදින්
වැහි වළාකුළු අහසේ පිරිලා
වැටෙන සීතල පින්න සමඟින්
ගෙදර සාලය ජයට තෙමිලා
හාල් කැඳ ටික තවම ලිප උඩ
ඒත් ගිනිදැල් සොවින් මැරිලා
රිදෙන පපුවෙන් හුස්ම යදිමින්
මියෙන පුන්සඳ ඇඳට වැටිලා

දෙතුන් දාහක බෙහෙත් තුණ්ඩුව අනේ හදවත සිදුරු කරලා…..

අදද හෙටදැයි ඇඟිලි ගනිමින්
මගේ ලොකු දුව බයෙන් ඉන්නේ
උතුනී පැල්ලම් ආපු දවසට
කොහොමදෝ අපි මඟුල් ගන්නේ
වේල අතහැර වතුර උගුරින්
තමයි කුසගිනි නිවී යන්නේ
ලැබෙන සොච්චම් පඩිය දියකර
ඇඳුම් වැරහැලි හිනා වෙන්නේ

වැඩපළේ මහ යකඩ රෝදය මමයි දිරියෙන් කරකවන්නේ….

අලුත් වාරේට ගණන් පොත ගැන
පුතා ඊයේත් දුකෙන් කිව්වා
කඩේ ණය පොත අතට අරගෙන
චණ්ඩි මුදලිත් තදට රැව්වා
බඩේ ගින්නට අඬන බිළිඳුට
කඳුළු කැට දියකරලා පෙව්වා
ලෙඩින් හිටියත් ළඟින් වැතිරී
හදේ දුක් ගිනි ඇයත් නිව්වා

තුන්යමේ නිදි වරා වෙහෙසී දුකට පිළියම් හේතු හෙව්වා….

ඔයිල් දමලා මැෂිම රකිනා
සිරිදාස මගේ හිතට නැඟුණා
වැරදිලා තව මාසයක් නෑ
ඇඟිලි පුරුකක් බිමට වැටුණා
වන්දි විදිහට හවස ඔහු ළඟ
පන්දහසේ කොළ දෙකක් තිබුණා
අතේ මැදැඟිලි සිනහ නඟමින්
අලුත් හැඟුමක් හිතට එබුණා

‘එපා බුදු බව පුදමි අතැඟිලි ‘ එදා රෑ මට නින්ද ලැබුණා….

සඳුන් සත්සර ගුණසේකර

 

wall එක