රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත්

අපේ මේ පුංචි රට ලෝකයේම තිබෙන සුන්දරම රටක් ලෙස දෙවරක් සිතන්නට අවශ්‍ය නොවන තරමටම අතිශය සුන්දර ස්ථානවලින් මේ රට පිරී පවතිනවා. අද අපි යන්නේත් එවැනි ස්ථානයකටයි. මේ චැරියට් පාත්. රාවණා රජුගේ කරත්ත පාර ලෙසයි මෙය ජනප්‍රවාදයෙහි හඳුන්වන්නේ. මෙය චැරියට් පාත් කියලා කිව්වට ඒ ගම්වැසියන් මෙය හඳුන්වන්නේ පිට්ටනිය ලෙසයි.
පිදුරුතලාගල කඳු පන්තියේ එක් අන්තයක චැරියට් පාත් පිහිටා තිබෙනවා. මෙය රම්බොඩ ඇල්ල, ගැරඬි ඇල්ල, දෙවතුරා ඇල්ල යන දිය ඇලිවල වගේම මහවැලි යෝජනා ක්‍රමයේ කොත්මලේ ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක්. අවුරුද්දේ වැඩිම කාලයක් වර්ෂාපතනය ලැබෙන කලාපයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙම කඳුවැටියේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 2000 – 2200ක් පමණ වෙනවා.

දැන් අපි චැරියට් පාත් වෙත පිවිසෙන්නේ කෙසේදැයි බලමු. පාරවල් දෙකක් තිබෙනවා.
මහනුවර හරහා ගම්පොළට ගොස් ගම්පොළ නගරයෙන් වම් අත පැත්තට දිවෙන පුස්සැල්ලාව නුවරඑළිය පාරේ කි. මී. 23 ක දුරක් ගෙවා යන විට පුස්සැල්ලාව නගරය හමුවෙනවා. එතැනින් යා යුත්තේ පෙරට්ටාසි වෙතයි. පෙරට්ටාසි ගමේ කෙළවර පිහිටි ප්‍රොටොෆ්ට් තේ වත්ත මැදින් තමයි චැරියට් පාත් වෙත යාහැකි මාර්ගය පිහිටා තිබෙන්නේ.මේ තේ වත්තේ මායිමත් චැරියට් පාත් පිහිටි කඳු වැටියයි. ඔබ පුස්සැල්ලාවේ සිට ප්‍රොටොෆ්ට් වත්ත දක්වා යන පාරේ කිලෝමීටරයක් පමණ ඉදිරියට ගිය විට විහාරස්ථානයක් සමග වම් අත පැත්තට දිවෙන පාරක් ඔබට දකින්න ලැබේවි. මේක තමයි ප්‍රොටොෆ්ට් තේ වත්තට යන පාර. මේ යන පාරත් තේ වතු මැදින් වැටිලා තිබෙන නිසා ඉතාමත්ම මනරම් පරිසරයක් මෙහි තිබෙන්නේ. පුස්සල්ලාව නගරයේ සිට ප්‍රොටොෆ්ට් තේ වත්ත දක්වා යන ගමන පොදු ප්‍රවාහන සේවයකින් යන්නට අදහස් කරනවා නම් පුස්සැල්ලාවේ සිට පෙරට්ටාසි දක්වා බස් සේවාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් පුස්සැල්ලාවේ සිත පෙරට්ටාසි දක්වා මේ ගමනේ දුර කිලෝමීටර් 12 ක් පමණ වුවද දුෂ්කර අබලන් කඳු පාරක් නිසා බස් රථයට එම ගමන යන්න පැයකට වැඩි කාලයක් ගතවෙනවා. ද්‍රවිඩ වතු කම්කරුවන්ගේ ගම්බිම්වලට, නිවාසවලට යන්න තිබෙන එකම පොදු ප්‍රවාහන සේවය වගේම වත්තෙන් බැහැරව ගොස් කරගත යුතු සියලු අවශ්‍යතා සපුරා ගැනීමට මෙම කම්කරුවන්ට තිබෙන එකම ප්‍රවාහන සේවයත් මෙය වන නිසා මේ බස් රථයේ බොහෝ විට අධික සෙනගක් ගමන් කරනු දැකිය හැකියි. පෙරට්ටාසිවලින් බැස තේ වත්ත මැදින් චැරියට් පාත් වෙත යායුතු ගමන පයින් මිසක් වාහනවලින් යා හැකි ගමනක් නොවෙයි. වාහනවලින් සහ මෝටර් සයිකල්වලින් පැමිණෙන අය පවා තමන්ගේ වාහන පෙරට්ටාසිවල සුරක්ෂිතව තබා කන්ද නැගීම ආරම්භ කළ යුතුයි.

රාවණා රජු ලංකාපුර අගනුවර සිට “අශෝක විටක” නම් ස්ථානයට සීතා දේවිය තම කරත්තයෙන් රැගෙන යද්දී මේ හරහා ගිය බවත්, ඉන්පසු මෙතැන ඉබේම පාරක් ඉදිවූ බවත් ජනප්‍රවාද තුළින් කියැවෙනවා. මෙහි දකින්නට ලැබෙන සීතල පිරිසිදු වතුර පිරි කුඩා පොකුණු වැනි දිය වලවල් සීතා දේවියගේ කඳුළුවලින් පිරී ගිය බව ද ජනප්‍රවාදයෙහි එනවා. උස් ශාක නොමැතිව තණකොළ පිරි පිට්ටනියක් මෙන් පිහිටි මෙම තැන්නෙහි පිහිටි මේ දිය වලවල් පායන කාලයටවත් සිඳෙන්නේ නැතිවීම විශේෂත්වයක්.
මහනුවර පුස්සල්ලාව හරහා වගේම ප්‍රොටොෆ්ට් වත්තට පැමිණිය හැකි තවත් මාර්ගයක් තිබෙන බව අප ඉහත සඳහන් කළා. ඒ මහනුවර හේවාහැට මූල්ඔය පාර යි. මෙය වාහන අඩුපාරක්. නමුත් සුන්දර පරිසර කලාප දෙකක අත්දැකීම් ඔබට විඳ ගන්න පුළුවන්. මේ පාරේ යනව නම් ඔබට පෞද්ගලික වාහනයකින් තමයි යන්න වෙන්නෙ.
පුස්සැල්ලාව හරහා ප්‍රොටොෆ්ට් වත්තට යන පාරේ සෑහෙන දුරක් ගමන් කරන ඔබට කෝවිලක් හමුවේවි. එයත් පසුකර තව සෑහෙන දුරක් යන විට පෙරට්ටාසි හි දෙමළ මහා විද්‍යාලය හමු වෙනවා. ඒ පාරේ තවත් දුර ගිය විට ඔබට වම් අත පැත්තේ තිබෙන ප්‍රොටොෆ්ට් හි පැරණි රෝහල හමුවේවි. එතැන් සිට ඔබට අබලන් පඩිපෙළක් දිගේ උඩට නගින්න වෙනවා. කැලෑව මැදින් මේ විදිහට උඩට යන විට පාර තුනට බෙදෙනවා. එතැනින් දිගටම දකුණට තිබෙන පාරේ ගමන් කළ යුතුයි. ඉන් පස්සේ වම් අත පැත්තේ කුඩා ගල්තලාවක් දකින්න ලැබේවි. ඒ සමඟ දකුණට අඩි පාරක් තිබෙනවා. කැළය මැද්දෙන් තමයි අඩිපාර තියෙන්නේ. ඒ පාරේ උඩටම යන්න ඕනෙ.
අපි මේ විදිහට විස්තර කළාට මේ ගමන තරමක් අසීරුයි. අඩි පාරක් දිගේ වනාන්තරය මැදින් යන ගමනේදී සීග්‍ර බෑවුමක් ඔබට නගින්න තිබෙනවා. ඒ වගේම ඉහළින් එක් එක් අතට අඩි පාරවල් ආදිය තිබෙන නිසා ඔබට පාර වරදින්නත් බැරිකමකුත් නෑ . මේ නිසා පෙරට්ටාසි ප්‍රදේශයෙන් මඟ පෙන්වන්නකුගේ සහාය ලබා ගැනීම ඔබට වඩාත් පහසුවක් වේවි.

මෙහි උඩට ආවට පස්සේ තියෙන්නේ හෝර්ටන් තැන්නට සමාන පරිසර කලාපයක්. හරියටම පාරක් මෙන් පිහිටි තණකොළ පිට්ටනියක් බඳු විශාල තැන්න දෙපැත්තේ මහ ගස්වලින් පිරී පවතින ආකාරය මෙහිදී ඔබට දැක ගත හැකි වේවි. චැරියට් පාත් වෙත පැමිණෙන පරිසර ලෝලීන් කෑම්පින් කරන්නේ මෙම තැන්නේ යි.
මේ පතනට පිවිසෙන ඔබට නුවරඑළිය, පිදුරුතලාගල, කුකුලාගල කිකිළියාමාන , මොනර කන්ද, දොළොස්බාගේ, අලගල්ල ශ්‍රී පාදය , තවත් පැත්තකින් මහනුවර ගම්පොළ දක්වාත් , රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත, වික්ටෝරියා රනටැඹේ, රන්දෙනිගල, කොත්මලේ ජලාශ , මහවැලි මහා සෑය වැනි ස්ථානත් හොඳින් දැක බලා ගත හැකියි.
මේ තැනිතලාව කෑම්පින්වලට ඉතාමත්ම සුදුසුයි. සුන්දර මනස්කාන්ත පරිසරයක් ඔබට මේ වටා දැක ගන්න ලැබේවි. විශේෂයෙන් පාන්දර හිරු නැග එන වෙලාවට දැකිය හැකි සුන්දරත්වයට ඔබ වශීකෘත වනු නොඅනුමානයි.
චැරියට් පාත් ඔබට කිසිදා අමතක නොවන පාරිසරික අත්දැකීමක් වේවි. මේ සුන්දරත්වය සැමදා එයාකාරයෙන් පවත්වා ගන්නට නම් පොලිතින් වගේම කඩදාසි කැබැල්ලක්වත්, ඔබ ගෙන යන ප්ලාස්ටික් සහ අනෙකුත් වීදුරු බෝතල් වැනි කිසිවක් ඒ පරිසරය තුළ දමා නොඑන්නට තරම් ඔබ පරිසරයට ආදරය කරුණාව දක්වන කෙනෙක් වීම ඉතා වැදගත්. ඒ වගේම මෙවැනි ස්ථානවල ස්නානය කරනවා නම් ෂැම්පු සබන් වැනි කිසිවක් භාවිතා නොකිරීමද ඔබේ වගකීම වෙනවා. ඒවායෙහි ඇති රසායනික ද්‍රව්‍ය මෙවැනි සංවේදී පරිසර කලාපවල ජලයට මිශ්‍රවීම එම පරිසර පද්ධතිවලට ඉතා හානිකර බව සිහි තබා ගැනීම ඉතා වැදගත් කරුණක් .

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව