වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුවට

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීම වීඑස් එෆ් ග්ලෝබල් ඇතුලු සමාගම් තුනකට මෙම වගකීම පවරන්නට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය වෙනස් කරමින් අදාළ වීසා නිකුත් කිරීම පිළිබඳ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට නැවත පැවරීමට ඊයේ (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව ඩොලර් 100 නොකර එලෙසම 50 ලෙස පවත්වා ගෙන යාමට ද එම කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය වී තිබේ.මේ වන විට රට තුළ සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලා තිබීම මත ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළඹී තිබේ.ඒ අතර ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා පහසුකම් ද එසේම ක්‍රියාත්මක වෙයි.

කාලීන පුවත්