වෙසක් ‘ඩේටා දන්සල්’ මගඩිය මෙවරත්

මෙවර වෙසක් උත්සව සමය ඉලක්ක කරගනිමින්, “නොමිලේ ඩේටා (Data) ලබාදෙන” බව පවසන වංචනික පණිවිඩ (Cyber Scams) සමාජ මාධ්‍ය සහ විවිධ අන්තර්ජාල ජාල ඔස්සේ ශීඝ්‍රයෙන් ප්‍රචාරය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියි. උත්සව සමයන්හි පවතින ජනතා උද්‍යෝගය අනිසි ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක වන මෙම සයිබර් අපරාධකරුවන්, මෙවරත් විවිධ ප්‍රමුඛ පෙළේ ආයතනවල නාමයන් අවභාවිත කරමින් මෙම ව්‍යාජ ‘ඩේටා දන්සල්’ ප්‍රචාරණ මෙහෙයවන බව එම ආයතනය පෙන්වා දෙයි. පසුගිය වෙසක් සමයේදී ද මෙවැනිම ආකාරයේ “නොමිලේ ඩේටා” ලබාදෙන බව ඇඟවෙන සබැඳි (Links) සහ පණිවිඩ අන්තර්ජාලය පුරා සංසරණය වූ බව සිහිපත් කරන සර්ට් (CERT) ආයතනය, එහිදී එම වංචනික පණිවිඩ විශ්වාස කර ඒවා මත “ක්ලික්” (Click) කළ විශාල පිරිසකගේ බුද්ධිමය හා පුද්ගලික දත්ත (Personal Data) මෙන්ම සංවේදී බැංකු තොරතුරු පවා සොරා ගැනීමට සයිබර් වංචාකරුවන් සමත් වූ බව ද අවධාරණය කරයි. මෙම ව්‍යාජ ලින්ක්ස් වෙත පිවිසෙන පරිශීලකයන්ගෙන් ඔවුන්ගේ නම, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය පමණක් නොව, ඇතැම් අවස්ථාවලදී බැංකු ගිණුම් තොරතුරු පවා ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින අතර, එමඟින් ක්ෂණිකවම පරිශීලකයන්ගේ සංවේදී දත්ත වෙනත් වංචනික පාර්ශ්වයන් සතු වේ.

මෙවැනි සයිබර් උගුල්වලට හසු නොවී සිටීම සඳහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක් සිදු කරයි. ඒ අනුව, වට්ස්ඇප් (WhatsApp), මැසෙන්ජර් (Messenger) හෝ SMS ඔස්සේ ලැබෙන, නොමිලේ ඩේටා හෝ තෑගි දිනාගත හැකි බව පවසන කිසිදු සැකකටයුතු සහ නිල නොවන සබැඳියක් (Link) මත ක්ලික් කිරීමෙන් වැළකී සිටිය යුතුය. එමෙන්ම කිසියම් සන්නිවේදන සේවා සපයන ආයතනයක් (Telecom Provider) නොමිලේ ඩේටා ලබා දෙන්නේ නම්, ඒ පිළිබඳව තොරතුරු තහවුරු කරගත යුත්තේ ඔවුන්ගේ නිල වෙබ් අඩවි හෝ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ පමණි. මීට අමතරව, කිසිදු බාහිර හෝ අනන්‍යතාව තහවුරු නොකළ වෙබ් අඩවියකට තමන්ගේ සංවේදී පුද්ගලික තොරතුරු හෝ රහස්පද (Passwords) ඇතුළත් නොකිරීමටත්, සත්‍යතාව තහවුරු නොකළ මෙවැනි වංචනික පණිවිඩ මිතුරන් හෝ පවුලේ අය අතර බෙදාහැරීමෙන් (Share) වැළකී සිටීමටත් පියවර ගත යුතුය. වෙසක් සමයේ පින්දහම් සිදුකරන මුවාවෙන් අහිංසක ජනතාවගේ දත්ත මංකොල්ලකෑමට සැදී පැහැදී සිටින මෙවැනි ජාවාරම්කරුවන්ට හසුනොවී, තමන්ගේ සයිබර් ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමස්ත ලාංකික ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

කාලීන පුවත්