ශ්‍රී ලංකාවේ පෑරලිය දුම්රිය අනතුරට පසු සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර

ලෝකයේ සිදු වූ මාරකම දුම්රිය අනතුර ලෙස සැලකෙන්නේ 2004 වසරේ ශ්‍රී ලංකාවේ පෑරලිය දී සිදු වූ බිහිසුණු අනතුර යි. 1,700 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය මෙම අනතුරෙන් පසු ලොව සිදු වූ දරුණුම දුම්රිය අනතුර පසුගිය දා ඉන්දියාවේ ඔදිෂා ප්‍රාන්තයෙන් වාර්තා වුණා. 4 වැනි ඉරිදා මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවලට අනුව මෙම අනතුරෙන් මිය ගිය ගණන 300 ඉක්මවා තිබුණා. 1,000 කට කිට්ටු සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙනවා. ඔවුන්ගෙන් විශාල පිරිසකට ඉතා බරපතල තුවාල සිදුව ඇති බව සඳහන්.

ඉන්දියාවේ නැගෙනහිර දෙසින් පිහිටි ප්‍රාන්තයක් වන ඔදීෂා හි බලසෝර් නැමැති නගරය ආසන්නයේ මෙම අනතුර සිදුව තිබුණේ සිකුරාදා (02) රාත්‍රි 7 ට පමණයි. මෙය දුම්රිය තුනක්ම එකට ගැටීමෙන් සිදු වූ තරමක් අසාමාන්‍ය ආකාරයේ අනතුරක්. එම දුම්රිය තුනෙන් එකක් භාණ්ඩ ගෙන යන දුම්රියක් වන අතර අනෙක් දෙකම ශීඝ්‍රගාමී මගී දුම්රිය.

මුලින්ම එකිනෙක ගැටී තිබුණේ කොරමැන්ඩල් ශීඝ්‍රගාමී මගී දුම්රිය සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය යි. මගී දුම්රිය කොල්කටා සිට චෙන්නායි දක්වායි ගමන් කරමින් තිබුණේ. ප්‍රධාන දුම්රිය මාර්ගයක ගමන් කරමින් තිබූ මෙම දුම්රිය එක් අවස්ථාවක අතුරු මාර්ගයක් වෙත යොමු කර තිබූ බව පැවසෙනවා. නමුත් ඒ වනවිටත් එම මාර්ගයේ ඉහත කී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නතර කර තිබී ඇති බව සඳහන්. මේ අනුව ශීඝ්‍රගාමී මගී දුම්රිය සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එකිනෙක ගැටී තිබූ අතර ඒ සමගම දුම්රිය මැදිරි රැසක් යාබද ව පිහිටි තවත් දුම්රිය මාර්ගයක් මතට පෙරැළී තිබෙනවා. ඒ වනවිට එම මාර්ගයේ ද අධිවේගී ශීඝ්‍රගාමී දුම්රියක් පැමිණෙමින් තිබුණා. එය ගමන් කරමින් තිබුණේ බෙංගලූරු හි සිට හව්රා දක්වා යි. ඉතා වේගයෙන් ගමන් කරමින් තිබූ මෙම ශීඝ්‍රගාමී දුම්රිය එම මාර්ගය මත වැටී තිබූ මුල් දුම්රියවල මැදිරිවල ගැටීමෙන් ඊළඟ අනතුර සිදු වුණා. එයින් පසු එම දුම්රියේ මැදිරි ගණනාවක් ද පීලි පැන පෙරැළී ගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාව වනවිට මෙම මගී දුම්රිය දෙකේ මගීන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වෙනවා. එදින සිකුරාදා දිනයක් වූ නිසා වෙනදාටත් වඩා වැඩි සෙනගක් ගමන් කරන්නට ඇති බවයි පැවසෙන්නේ.

අනතුරත් සමග එම ස්ථානයේ ඉතා බිහිසුණු දසුනක් මැවුණු බව සිද්ධිය ඇසින් දුටුවන් සහ අනතුරෙන් දිවි ගලවා ගත්තවුන් පවසා තිබුණා.

‘අනතුර සිදු වූ ගමන්ම වාගේ අපි එතනට දිව ගියා. ඒක ඉතා බිහිසුණු සිද්ධියක්. අත් පා ආදිය නැති සිරුරු හැම තැනම විසිරිලා තිබුණා. එය විස්තර කිරීමට පවා අමාරු දර්ශණයක්. හැම පැත්තෙන්ම විලාප හඬ නැගුණා. දිවි ගලවාගෙන සිටි සමහර මගීන් ඔවුන්ගේ ඥාතීන් සොයමින් දිව ගියා’ සිද්ධිය දුටු අයෙක් මාධ්‍ය සමග එසේ පවසා තිබුණා.

තවත් පුද්ගලයකු පවසා තිබුණේ පවුල් පිටින් මැදිරි තුළ තැලී පොඩි වී මියගොස් සිටි බවයි. සමහරුන් පිටතට ගැනීම ඉතා අසීරු වූ බව ද ඔවුන් සඳහන් කර තිබුණා.

‘එකවරම විශාල කම්පනයක් දැනුණා. මට දැනුණේ හරියට බෝම්බයක් පිපිරුවා වගේ’ එසේ කියා තිබුණේ දිවි ගලවා ගැනීමට තරම් වාසනාවන්ත වූ වෙන්කටේශ් නැමැති හමුදා සෙබලෙක්. ‘මිය ගිය අයගේ සහ තුවාල ලැබූවන්ගේ සිරුරු හැම තැනම විසිරී තිබුණා. ඒක දරා ගන්න අමාරු දර්ශණයක්’ ඔහු පවසනවා. අනතුරත් සමගම සමහර මගීන් දුම්රිය කවුළුවලින් සහ fදාරවල්වලින් පිටතට විසි වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අනතුරට හේතුව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශණයක් ආරම්භ වී තිබෙනවා. මූලික විමර්ශණ වාර්තාවක් පවසා ඇත්තේ මාර්ග සංඥාවක දෝෂයක් නිසා මෙය සිදුවන්නට ඇති බවයි. එවැනි දෝෂයක් සිදු වූයේ කෙසේද යන්න ඉදිරි විමර්ශණවල දී අනාවරණය වනු ඇති.

මේ අතර ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි ද අනතුර සිදු වූ ස්ථානයට ගොස් තිබුණා. ‘මා තුළ ඇති ශෝකය විස්තර කිරීමට වචන නැහැ. මෙම සිද්ධියෙන් බලපෑමට ලක් වූ සියලු දෙනාට උපකාර කිරීමට රජය දැඩි කැපවීමෙන් කටයුතු කරනවා’ යයි අගමැතිවරයා සඳහන් කර තිබුණා. මෙම අනතුරට වගකිව යුත්තන්ට දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව ද අගමැති මෝදි පැවසූ බැව් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියානු ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර වාර්තා වූයේ 1981 වසරේ ජුනි 6 වැනි දින යි. බිහාර් ප්‍රාන්තයේ සිදු වූ එම අනතුරෙන් 800 ක් පමණ මිය ගිය බව සඳහන් වෙනවා. බිහාර් අනතුර සිදුව තිබුණේ පාලමක් මතින් ගමන් කරමින් තිබූ දුම්රියක් ඊට පහළින් දිවෙන ගංගාවට වැටීමෙන්. අනතුර සිදුව තිබුණේ වර්ෂාව අධික කාලයක යි. ගඟට වැටුණු මගීන් සැඩපහරට හසුව ගසාගෙන ගොස් තිබුණා. එම අනතුරට හේතුව ගැන නිශ්චිතව අනාවරණය වී නැහැ. දුම්රිය සුළි කුණාටුවකට හසුව ගඟට වැටෙන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර