සමාජ කඩතොළු බව අතරින් මතු වූ ‘රාජකීය වෛද්‍යවරයා’

daya

“රාජකීය වෛද්‍යවරයා” යන නමින් සමාජයේ බොහෝ දෙනකුගේ දැන හැඳුනුමට ලක්ව සිටි ඒලියන්ත වයිට් මහතා හතලිස් අට වන වියේ දී කොවිඩ් ආසාදනයට ලක් වීමෙන් අකල් මරණයකට ලක් විය.

වත්මන් සමාජයේ බොහෝ දෙනකු හට ඒලියන්ත වයිට් යන නාමය අසන්නට ලැබුණේ ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා ජනපතිව සිටිය දී ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් සමාජය හමුවේ පෙනී සිටි බැවිනි. එදා මෙදා තුර රාජ්‍ය නායක කාරකාදීන් හට ඕනෑ තරම් පෞද්ගලික හා පවුල් වෛද්‍ය වරුන් හිඳින්නට ඇත.

එහෙත්, ඒ කිසිවකු හටත් නොලැබුණු සුවිසල් ප්‍රසිද්ධියක් ඒලියන්ත වයිට් මහතාට සමාජයෙන් ලැබී තිබිණ. ඒ ඔහු ගේ ප්‍රතිකාර ක්‍රමයේ යම් “විස්මිත” ස්වරූපයක් ඇති බවට මාධ්‍ය ඔස්සේ පැතිර ගිය තොරතුරු අනුව ය.

පසුගිය වසරේ මිනුවන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ පළමු කොවිඩ් රැල්ල යටපත් කරවීම සම්බන්ධයෙන් ඒලියන්ත වයිට් මහතා ගෙන් විශේෂ දායකත්වයක් ලැබුණු බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ඒ බව ඔහු තම ෆේස් බුක් පිටුවේ ද සඳහන් කොට තිබූ අතර ඒ වන විට අතිශය උත්සන්න ලෙස ඉහළ නැඟෙමින් තිබූ ඉන්දියාවේ කොවිඩ් වසංගතය දුරලීම පිණිස ද තම සහාය ලබා දීමට නයමිත බව ඔහු සඳහන් කොට සිටියේ ය.

එහෙත්,ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළ මාධ්‍යවේදීන්ට දැන ගැනීමට හැකිව ඇත්තේ ඉන්දීය රජය තම රටේ කොවිඩ් වසංගතය දුරලීම පිණිස ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය තාන්ත්‍රික සහායක් ලබා ගෙන තබා ඒ පිළිබඳව ඉල්ලීමක් වත් කොට නොතිබූ බවකි.

ඒ අතරේ තමන් යටපත් කළ බවට ඒලියන්ත වයිට් මහතා සඳහන් කළ කොවිඩ් වසංගතය යළි යළි ඉස්මතු වන විට ඔහු එය යටපත් කරවීම පිණිස තවත් ප්‍රතිකාරයක් හෝ චිකිත්සක ක්‍රමයක් නොවූ වෙනයම් “යාතු කර්මයකට” මුල පිරී ය. ඒ තමන් සතු කුණ්ඩලනී ශක්තිය එක් කළ බව පැවසූ වතුර මුට්ටි ගංගා ඇල දොළ කිහිපයකට මුසු කිරීම ය.

මෙය ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කරමින් සිදු කළ යාතු කර්මයක් බව ප්‍රසිද්ධ විය. මෙහි දී මෙම ජල මුට්ටි ගංගා වලට දැමීමේ යාතු කර්මයට ඔහු සේම එවක සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ ප්‍රසන්න රණතුංග,උදය ගම්මන්පිල යන අමාත්‍යවරු ද එක් වූහ.

එහෙත්, ඔහුගේ මෙම යාතු කර්මයෙන් පසුව අප රටේ කොවිඩ් වසංගත තත්වය වඩාත් උග්‍ර අතට හැරුණු අතර එම මුට්ටි දැමීමේ යාතු කර්මය සඳහා මූලික වූ හිටපු සෞඛ්‍ය ඇමතිනිය ද කොවිඩ් වැළදීමෙන් බරපතල අසාධ්‍ය තත්වයට පිවිස පසුව සුවය ලැබුවා ය.

ඇමතිවරිය ගේ මෙම කොවිඩ් මර්දන යාතු කර්මය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් ද තොරතුරු වාර්තා කොට තිබූ අතර ඒ ඇතැම් ප්‍රවෘත්ති වාර්තාවක් උපහාසාත්මක ස්වරූපයකින් පළ වී තිබූ අයුරු ද අපට මතක ය. එමෙන්ම මෙම කරුණු මුල් කොට ඒලියන්ත වයිට් මහතා ගේ මරණය සම්බන්ධයෙන් ‘අල් ජසිරා’ ප්‍රවෘත්ති සේවය ඔහු හඳුන්වා දී තිබුණේ යකැදුරකු, කට්ටඬියකු (Shaman) මිස වෛද්‍යවරයකු ලෙස නොවේ.

එහෙත්, ඒලියන්ත වයිට් මහතා ගේ අභාවය සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඒලියන්ත වයිට් යනු තමන් කලක සිට ඉතා ම සමීපව ඇසුරු කළ “වෛද්‍යවරයකු” බවකි. ඒ අනුව ඒලියන්ත වයිට් මහතාගේ මරණයෙන් පසුව ද ඔහු කවුදැයි නිවැරදිව හඳුනා ගැනීමට අප සමාජයට නොහැකි වී ඇති බවක් පෙනේ.

මළවුන් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී සම්මත සදාචාර ධර්ම වලට අනුගත වීමත් අතිශය විචාරශීලී වීමත් අනිවාර්ය වශයෙන් කළ යුත්තකි. එහෙත්, ඒලියන්ත වයිට් මහතා මිය ගිය ද ඔහු මුල් කොට පැන නැඟී ඇති මෙම වෘත්තීය පරස්පරය තුළ යම් සමාජ විද්‍යාත්මක මුහුණු වරක් ද ඇති බැවින් අදාල විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධ වූවකු ලෙස ඒ පිළිබඳව අදහස් පළ කිරීමේ සමාජමය යුතුකමක් හා වගකීමක් මා සතුව ද තිබේ.

ඊට හේතුව මෙම සමස්ත සංසිද්ධිය එක්තරා සමාජ අවනතියක්; කඩතොළු බවක් මනාව පිළිබිඹු කරන්නක් වන බැවිනි.

හාස්කම් බලයක් සහිත වෛද්‍යවරයකු වශයෙන් පොදු සමාජමය දැන හැඳුනුම් කමකට ලක්ව සිටිය ද ඔහු කිසියම් වෛද්‍ය ක්‍රමයක් හදාළ හෝ වෛද්‍ය සභාවක ලියාපදිංචි වූවෙක් නොවේ.

එබැවින් අග්‍රාමාත්‍යවරයා තැබූ ට්විටර් සටහන මුල්කොට වුව කිව යුත්තේ ඒලියන්ත වයිට් මහතා ‘වෛද්‍ය’ යන ව්‍යවහාරයෙන් හැඳින්වීම නොකළ යුත්තක් බව ය.විශේෂයෙන් රටක රාජ්‍ය නායකයකු තම අත්සනින් කරනු ලබන ප්‍රකාශ මීට වඩා විධිමත් සහ වගකීම් සහගත වීම ඒ රටේත් සමාජයේත් යහපැවැත්මට හේතු වනු ඇත.

ඒලියන්ත වයිට් මහතා ද තමන් වෛද්‍යවරයකු වශයෙන් හඳුන්වා ගනිමින් 2019 වසරේ මාධ්‍යවේදී ඩබ්ලියු. කේ. ප්‍රසාද් මංජු මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් අපගේ අවධානයට යොමු විය. ඉන් පැවසෙනුයේ ඒලියන්ත වයිට් මහතා ද තමන් ආධ්‍යාත්මික රෝග සුව කරන්නකු (Spiritual healer) මිස වෛද්‍යවරයකු නොවන බව අනියමින් පිළිගෙන ඇති බවකි.

ඔහු එහි දී අදහස් පළ කොට ඇති අන්දමට එය වයස අවුරුදු දොලහේ සිට ඔහු තුළ ඇති වූ විශ්ව ශක්තිය පදනම් කරගත් ගුප්ත බලයකි. පසුව ඔහු එය තමන් සතු කුණ්ඩලනී ශක්තිය ඔස්සේ විශ්වය හා සන්නිවේදනය කොට “ආශිර්වාදාත්මක වෛද්‍ය ක්‍රමයක්” ලෙස ස්ථාපිත කරගෙන තිබේ.

මෙහි දී ඒලියන්ත වයිට් මහතා පවසන මෙම ආශිර්වාදාත්මක ප්‍රතිකාර ක්‍රමය අතීතයේ සිට එනම් මානව සංහතියේ ආරම්භයත් සමඟ ඇරඹි එකක් බව පවසා ඇති ඒලියන්ත මහතා යමකු ගේ අතේ නාඬි ඇල්ලූ පමණනින් ඔහු ගේ මුළු ජීවිතය පිළිබඳවම කිව හැකි අසාමාන්‍ය හැකියාවක් තමන් තුළ ඇති බව එහි දී කියා ඇත. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් යමකු ගේ නාඬි ඇල්ලූ පමණින් විශ්වයෙන් ලැබෙන තරංග මාධ්‍යයක් ඔස්සේ එම රෝගය සේම ප්‍රතිකාර පිළිබඳ වැටහීමක් ද තමන් තුළ ස්ථාපිත වන බව ය.

එහෙත් එවන් ශමනකාරක බලයක් (Healing power) තමන් තුළ ඇතැයි පවසන ඒලියන්ත වයිට් මහතා තමන් වෛද්‍යවරයකු ලෙස නැවත අවධාරණය කරන්නේ ඒ වෛද්‍ය ක්‍රමය තමන්ට පමණක් ආවේණික වූවක් බව අවධාරණය කරමිනි. ඔහුගේ මෙම ප්‍රකාශය තුළ බරපතල ශාස්ත්‍රීය ව්‍යාකූලතාවයක් තිබේ.

වෛද්‍ය ක්‍රමයක් යනු ඔහු පවසන අන්දමට එක් වරම යමකු ගේ සිත තුළ රෝපණය වන හැඟීම් දාමයක් නොවේ. සෑම වෛද්‍ය ක්‍රමයක්ම මානව බුද්ධි පරිනාමය, ක්‍රමික විකාශනය හා සම්බන්ධය. ආයුර්වේද ආදී පෙරදිග වෛද්‍ය ක්‍රම වසර දහස් ගණනක් තිස්සේ ජන විඥානය තුළ සංරක්ෂණය වූ සම්ප්‍රදායන් මුල් කොට ගත් ඥාන සම්භාරයකි.

අප ඇලෝපති නමින් හඳුන්වන බටහිර වෛද්‍ය විද්‍යාව ද එලෙස ජන විඥානය තුළින් පරිනාමය වන අතරේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ආදියෙන් යළි යළිත් යාවත්කාලීන වන විද්‍යාත්මක දැනුම් සම්භාරයකි. පසුව එම වෛද්‍ය ක්‍රම සමාජය පුරා ව්‍යාප්ත වන අතරේ ඒවා සම්බන්ධ ඖෂධ සහ අනෙකුත් ප්‍රතිකාර ක්‍රම සේම චිකිත්සක ක්‍රම ද සංවර්ධනය වී ඊට සදාචාරාත්මක අංග ද එක් වී තිබේ.

අද වන විට එම සෑම වෛද්‍ය ක්‍රමයක්ම නෛතිකමය රාමුවකට ද පිවිස තිබෙනු දක්නට පුළුවන. එහෙත්, වෛද්‍ය ක්‍රමයකට අදාල ඒ කිසිදු පසුබිමක් නැති ඒලියන්ත වයිට් මහතා වැන්නවුන් ගේ මනෝභාවයන් වෛද්‍ය ක්‍රම ලෙස සමාජ සම්මත වීම සේම ඔහු වැන්නවුන් වෛද්‍ය වරුන් ලෙස නම් කිරීම ද පිළිගත් වෛද්‍යවරුන් ගේ වෘත්තීය ගෞරවය කෙලෙසීමකි.

එසේම එය විකල්ප වෛද්‍ය ක්‍රම වලටත් වඩා අසම්මත, අස්වාභාවික ප්‍රතිකාර ක්‍රම මගින් අසරණ රෝගීන්ට විපත් පමුණුවන්නවුන් හට ඒ සඳහා මංපෙත් විවර කර දීමක් බව නිසැක වශයෙන්ම කිව යුතු ය.

කිසිදු වෛද්‍ය විද්‍යාවකට, ශාස්ත්‍රයකට අයත් නොවූ ඒලියන්ත වයිට් මහතා ගේ ගුප්ත ප්‍රතිකාර ක්‍රමය වැනි තවත් අනේක විධ ප්‍රතිකාර ක්‍රම රාශියක් අද වන විට රට පුරා ව්‍යාප්ත වී තිබේ. ඒවායින් කෝටි ප්‍රකෝටි ගණන් ඉපැයූ හොර ජාවාරම් කරුවන් ගැන ද ඔවුන්ට රැවටී අකාලයේ මිය යන අසරණයන් ගැන ද කොතෙකුත් තොරතුරු අසන්නට ලැබේ.

ලෝකයේ විධිමත් සමාජ, ආර්ථික පසුතලයකින් යුතු රටවල ඉඳහිට වත් අසන්නට,දකින්නට නොලැබෙන මෙම ඛේදවාචකය වර්තමානයේ අප රට පුරා මෙතරම් ප්‍රබල ලෙසසමාජය පුරා ව්‍යාප්ත වීමට හේතුව මේවාට රාජ්‍ය සහ ජාතික මට්ටමින් සෘජු සහ අනියම් සහායක් ලැබීම බව ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කළ යුතුව තිබේ.

සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර

එතෙර - මෙතෙර