සෑම මාරක විපතක් ගැනම කේන්දරේ තියනවාද?

පසුගිය දිනයෙක ම’වෙතින් ජ්‍යොතිෂ කරුණක් විමසීම පිණිස මැදි වියේ ව්‍යාපාරිකයෙක් පැමිණියේය. නමුදු ඒ මොහොතේ ඔහු කෙරෙන් පළ වූයේ මහත් නොසන්සුන් බවකි. එමෙන්ම ඔහු මහත් සිත් තැවුලකින් පසුවන අයුරක් ද පැහැදිලිවම දැකගත හැකි විය.
“මට මගේ කේන්දරේ බලා ගන්න ඕනේ. හැබැයි විශේෂ කාරණාවක් උඩ.” මා හමුවට පැමිණි ඔහු මුලින්ම තම අවශ්‍යතාව පළ කොට සිටියේ එලෙසිනි. එබැවින් මම ඔහුගෙන් ඒ පිළිබඳ වැඩිදුර කරුණු විමසා සිටියෙමි.
“මාත් එක්ක අවුරුදු විස්සක් විතර එකට බිස්නස් කරපු මගේ හොඳම යාළුවා මීට සති දෙකකට කලින් මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් මැරුණා. පසුගිය කාලේ බිස්නස් වැඩවලට මෝටර් සයිකලෙන් කොළඹ හැම තැනම කරකැවුණු එයා මැරුණේ ගමේ පාරක දී. බයික් එක බෝක්කුවක හැප්පිලා. පිටින් තුවාල මොකුත් නෑ. ඒත් ඉස්පිරිතාලෙට ගෙනියනකොටත් එයා නැතිවෙලා.” එම ව්‍යාපාරිකයා කීවේ කැළඹීම් සහගත මනැසකිනි.

ඉන්පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කියා සිටියේ තමන් ජ්‍යොතීර්වේදය ආදී ගුප්ත ශාස්ත්‍ර විශ්වාස කළ ද බෞද්ධයකු නොවූ තම යහළුවා තුළ එවැනි දේ සම්බන්ධ කිසිදු විශ්වාසයක් නොතිබූ බව ය. නමුදු ව්‍යාපාරික කටයුතු ආදියේ දී හෝ ජ්‍යොතීර්වේදයේ පිහිට ලබා ගන්නා මෙන් තමන් නොයෙක් වර තම මිතුරාට ඇවිටිලි කළ ද එය තම ආගමික විශ්වාසයනයට පටහැනි බව පවසමින් ඔහු ඒ කිසිවක් පිළිබඳ කිසිදු තැකීමක් නොකළ බව ද එම ව්‍යාපාරිකයා කීවේය.
“මම හිතන්නේ එහෙම විශ්වාස කළා නම් එයා අදටත් ජීවතුන් අතර” හෙතෙම කීවේය.
ඒ අනුව මා වෙතට පැමිණි ව්‍යාපාරිකයාගේ විශ්වාසය වූයේ තම මිතුරාට එළැඹී තිබූ කිසියම් මාරක දසාවක් මුල් කොට ඔහුගේ අකල් මරණය සිදු වූ බවකි. එමෙන්ම ඔහු ජ්‍යොතීර්වේදය පිළිබඳ විශ්වාසයකින් යුතුව තම ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගත්තේ නම් ඔහුට එම අකල් මරණයෙන් අත්මිදිය හැකිව තිබුණැයි තමන් තරයේම විශ්වාස කරන බව ද එම ව්‍යාපාරිකයා මා හා කීවේය.

එසේම ඔහු විසින් ඉන් පසුව ම’වෙතින් කරන ලද්දේ තරමක් වෙනස් ඉල්ලීමකි. එනම් තම කේන්දරය පරීක්ෂා කර බලා තමන් හට ද එවැනි මාරකයන්ට මුහුණ පෑමට කාල වකවානු පමණක් නොව දින හෝරා ද තිබේ නම් ඒවා හරියටම දන්වා සිටින ලෙස ය.එවිට එම හෝරාවන්හි එකී අනතුරුවලින් සහමුලින්ම අත්මිදී සිටීමේ හැකියාව ද තමන් වෙත උදා වනු ඇතැයි එම ව්‍යාපාරිකයා විශ්වාස කළේය. එහෙත් එවැනි දෙයක් ප්‍රායෝගික නොවන බව මගේ නිගමනය විය.

සාමාන්‍යයෙන් අප සමාජයේ බොහෝ දෙනකු තම ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීමට යොමු වනුයේ සුවිශේෂ කරුණක් මුල් කර ගනිමිනි. ඒ කරුණු අතර ගැටලු අර්බුද කම්කටොලු ද බොහෝ විට තිබිය හැක. ඒ හැරුණු කොට ජීවිතයේ එළැඹෙන අනපේක්ෂිත හදිසි විපත් මුල් කොට ද සමහරෙක් සිය ජන්ම පත්‍ර පරීක්ෂාව කෙරෙහි යොමු වෙති.එමෙන්ම මේ සියල්ලන්ටම අමතරව පදනමක් සහිතව හෝ රහිතව ද දැඩි චිත්ත පීඩනයන්ට ලක් වූවන් ද තම ජන්ම පත්‍ර පරීක්ෂාවට යොමු වන බව රහසක් නොවේ.ඒ එක් එක් පුද්ගලයා සම්බන්ධයෙන් ජ්‍යොතීර්වේදියකු විසින් පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් බොහෝ ජ්‍යොතීර්වේදී ගුරු කුල මගින් ජ්‍යොතීර්වේදය ඉගෙන ගන්නා අවදියේ දීම ඔවුනට උපදෙස් ගුරුහරුකම් ලැබේ. පසුව එම ජ්‍යොතීර්වේදීහු තම අත්දැකීම් ඔස්සේ ඒවා තහවුරු කරගෙන ප්‍රායෝගික මට්ටමින් අත්හදා බලති. එහෙත්,ජ්‍යොතීර්වේදයේ එන ඇතැම් කරුණු නොවිධිමත් ලෙස අතනින් මෙතනින් අවුලා ගෙන වෘත්තියට පිවිසෙන්නවුන් තුළ තමන්ගේ සේවාදායකයන් වර්ගීකරණයට ලක් කිරීමේ දැනුමක් නොමැති බව අප හමුවේ වරින් වර අනාවරණය වන කරුණු මගින් තහවුරු වෙයි.
මෙහිදී ඉහත මා හමුවට පැමිණි ව්‍යාපාරිකයා තමන්ට මාරක සිදුවන වේලාවල් අදාළ හෝරාවන් සමගම විස්තර කර දෙන මෙන් ම’වෙතින් ඉල්ලා සිටියේ තම සමීපතම මිතුරාගේ හදිසි වියෝව නිසා හටගත් මානසික කම්පනය නිසා බව නිසැකය. එහිදී ඔහු විශ්වාස කළේ තම මිතුරා එම අකල් මරණයට ගොදුරු වූයේ ජ්‍යොතීර්වේදයේ පිහිට නොපැතීම නිසා බැවින් තමන්ට ද එවන් ඛේදනීය මරණයක් අත්නොවීම පිණිස ජ්‍යොතීර්වේදයට අනුවම තම ජීවිතය හසුරුවා ගත යුතු බවකි.එම ව්‍යාපාරිකයා මුහුණ පා ඇති එම මානසික කම්පනයත් සමග එහි අරුමයක් නැත.

යමෙකුට ඇති මාරක අපල තත්ත්වයන් ජ්‍යොතීර්වේදයේ පෙන්නුම් කරන බව ඇත්තකි. එහෙත් ‘මාරක’ යනු හුදෙක් මරණය පමණක් නොවේ. මිනිස් ජීවිතයක් තුළ හටගන්නා නිත්‍ය අකර්මණ්‍යතා ජ්‍යොතීර්වේදයේ සඳහන් වනුයේ ද ‘මාරක’ වශයෙනි.එහෙත්, අද අප සමාජයේ සාමාන්‍ය ජනතාව සේම ඇතැම් ජ්‍යොතීර්වේදීහු ද මාරකය යනු හුදෙක් මරණයම බව විශ්වාස කරති.
ජ්‍යොතීර්වේදයේ සඳහන් මාරක පිළිබඳ ගණනය කෙරෙනුයේ දසාවන් අනුව ය.එහෙත්, ඒවා ද අන්තිම තත්පරයට, විනාඩියට, පැයට, දිනයට ආදී වශයෙන් කිව නොහැක.අති මහත් ප්‍රඥා සම්භාරයක් හිමි සෘෂීන් විසින් ලියන ලද සූර්ය සිද්ධාන්ත, බ්‍රහ්ම සිද්ධාන්ත ආදී ජ්‍යොතිෂ සිද්ධාන්ත කෘතිවල පවා ග්‍රහ චාරයන් පිළිබඳ එකි`නෙකට වෙනස් ගණිත චක්‍ර පෙන්වා දී තිබීමෙන් අපට වටහා ගත හැකි වැදගත් දෙයක් තිබේ. එනම් ජ්‍යොතීර්වේදී අනාවැකි යනු සාධාරණ අනුමානයන් මිස කිසිසේත්ම ඒකායන නියතයන් නොවන බවකි.

එමෙන්ම ඉහත සඳහන් ව්‍යාපාරිකයාගේ මිතුරාගේ අකල් මරණයට හේතුව ඔහුගේ ග්‍රහ චාරය හා සම්බන්ධ මාරක දසාවන් එළැඹීම නිසා වන්නට පුළුවන එහෙත් ග්‍රහචාරයේ මාරක දශා නොමැතිව වුව ද යමෙකුට අකල් මරණයක් වැනි විපතක් සිදු වීමෙ පැහැදිලි සම්භාවිතාවක් තිබේ. ජ්‍යොතීර්වේදී සිද්ධාන්තවලට ද අනුරූප එය පසුගිය කාලය තුළ ඉස්මතු වූ ජනප්‍රිය ජ්‍යොතිෂ රැල්ලෙන් මතු වූ ජ්‍යොතීර්වේදීන් වැදගත් සත්‍යය යටපත් කොට ජ්‍යොතිෂය යනු සියයට සියයක්ම නොවරදින අනාවැකි කිව හැකි ශාස්ත්‍රයක් ද යන පරම මිථ්‍යාව සමාජගත කොට තිබේ.
එහෙත්, මා හමුවට පැමිණි ව්‍යාපාරිකයාට එම සිද්ධාන්තමය පසුබිම එලෙසින්ම විස්තර නොකළ මම ඔහුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට බලා තමන් තුළ තමනට සේම අනුන්ට ද යහපතක් මිස අයහපතක් නොකිරීමේ චේතනාව පදනම් කර ගනිමින් අධ්‍යාත්මික ශක්තීන් පුබුදුවා ගත් තරමට මාරක ඇතුලු සියලු ග්‍රහ අපල අවප්‍රමාණ සහ දුරුකර ගත හැකි බව පහදා දුන්නෙමි.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට