සුපිරි නළු ෂාරුක්ගේ සුපිරි ගතිගුණ ගැන විජේ සේතුපති කියන කතාව

ෂාරුක් ඛාන් මේ දිනවල නැවතත් බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන රංගවේදියා බවට පත්ව ඇතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එයට වඩාත්ම හේතු වී ඇත්තේ පසුගිය දා තිරගත වූ ඔහුගේ ‘පතාන්’ සිනමාපටය ලැබූ සුවිසල් සාර්ථකත්වය යයි කිව හැකිය. ‘පතාන්’ මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු සිනමාපටය ලෙස මේ වනවිට වාර්තාවක් පිහිටුවා තිබේ.

දැන් ඔහුගේ ඊළඟ සිනමාපටය ගැන ද විශාල උනන්දුවක් සිනමා රසික රසිකාවියන් තුළ මෝදු වෙමින් ඇති අයුරු දැකිය හැකි වේ. ‘ජවාන්” නැමැති මෙම සිනමාපටය ලබන සැප්තැම්බර් 7 වැනි දින ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත ය. එය මේ වසරේ තිරගත වන ෂාරුක්ගේ දෙවැනි සිනමාපටය යි. ‘පතාන්’ මෙන්ම මෙය ද ආදායම් වාර්තා පිහිටුවමින්, සිනමාලෝලීන් කුල්මත් කරමින් තිරගත වනු ඇති බවට මේ වනවිටත් අනාවැකි පළවෙමින් තිබේ. ඒ මෙයට ටික දිනකට පෙර නිකුත් වූ ‘ජවාන්’ හි පූර්ව ප්‍රචාරක පටයක් ප්‍රේක්‍ෂකයන් තුළ උන්මාදයක් ඇති කිරීමට සමත්ව තිබීමත් සමග ය. ඉතා උද්වේගකර ක්‍රියාදාම ජවනිකාවලින් පිරි මෙම ප්‍රචාරක පටය පළමු පැය 24 තුළ මිලියන 112 ක රසික පිරිසක් විසින් නරඹනු ලැබ තිබිණි. සාමාන්‍ය සිනමා ප්‍රේක්‍ෂකයන් මෙන්ම මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ද එය ඉහළින් වර්ණනා කර තිබෙනු දැකිය හැකි විය.

ෂාරුක් ඛාන් චරිත දෙකක් රඟපාන ‘ජවාන්’ කලින් තිරගත වීමට නියමිතව තිබුණේ ජුනි මාසයේ යි. නමුත් නිශ්පාදන කටයුතුවල ප්‍රමාදයක් නිසා එය කල් දැමීමට සිදු විය.

මෙම සිනමාපටයේ ෂාරුක්ට අමතරව තවත් ඉතාම ජනප්‍රිය සහ දක්‍ෂ නළු නිළියෝ කිහිප දෙනෙක් රඟපාති. දකුණු ඉන්දියානු සිනමාවේ විශිෂ්ට නළුවකු වන විජේ සේතුපති ද ඒ අතර වේ. විජේ සහ ෂාරුක් එකට රඟපාන පළමු සිනමාපටය ‘ජවාන්’ ය. එය ද සිනමා රසිකයන්ට අලුත් අත්දැකීමක් වනු ඇත. ෂාරුක් සමග මෙම සිනමාපටයේ රඟපාද්දී ලැබූ අත්දැකීම් ගැන පසුගිය දිනවල විජේ නිතර මාධ්‍ය තුළ කතාබහ කර තිබිණි. ඔහු ෂාරුක් හඳුන්වා තිබුණේ කිසිදු අහංකාරකමකින් තොර, පොලෙවේ පය ගසා ජීවත්වන, ඉතා හොඳ මහත්මයෙකු ලෙසිනි. සිනමාවේ දැවැන්තයකු වන ෂාරුක් සමග රඟපාන්නට සූදානම් වෙද්දී තමාගේ සිත නොසන්සුන් වූ බව ද විජේ සඳහන් කර තිබිණි.

‘ෂාරුක් කියන්නේ සුපිරි නළුවෙක්. ඔහු දැවැන්ත චරිතයක් නිසාම මා ‘ජවාන්’ හි රඟපාන්න ගිය පළමු දවසේ ටිකක් නොසන්සුන්වයි හිටියේ. නමුත් මගේ ඒ අපහසුතාව තේරුම් ගනිමින් ඔහු එය සමනය කරන්න පියවර ගත්තා. ඇත්තටම එදා ඔහුට රඟපාන්න දර්ශණ කිසිවක් තිබුණෙත් නැහැ. ඔහු පැමිණ තිබුණේ මාව පහසුවට පත් කිරීම සඳහාමයි. ෂාරුක් සර් කිසිවිටෙක තමා සුපිරි නළුවෙක්ය යන හැඟීමෙන් හැසිරෙන කෙනෙක් නෙවෙයි. ඔහු පොලොවේ පයා ගසා ජීවත්වන ඉතා නිහතමානි කෙනෙක්.

‘චිත්‍රපටයේ දර්ශණයක් ගැන සාකච්ඡා කරන්න වුවමනා වූ විට මා ඔහු වෙත යනවා. ඔහු ඕනෑම වෙලාවක ඊට සූදානම්. මම සමහර වෙලාවට කියනවා “ඔබේ කටයුතුවලට බාධා කළා නම් සමාවෙන්න” කියලා. ඔහු ඒ වෙලාවට කියනවා “නැහැ විජේ, ඕනෑම වෙලාවක සාකච්ඡා කරන්න එන්න” කියලා’.

ෂාරුක් සමග වැඩ කළ කාලය ඉතා රසවත් කාලයක් වූ බව ද විජේ පවසා තිබිණි. තමා ඔහුට දෙමළ ටිකක් කියා දුන් බවත්, ඔහු තමාට හින්දි ටිකක් කියා දුන් බවත් විජේ තවදුරටත් සඳහන් කර තිබෙනු දැකිය හැකි විය. විජේ ෂාරුක්ට දකුණු ඉන්දියානු ආහාරවලින් සංග්‍රහ කර තිබූ බවක් ද පෙනේ. එම ආහාර ඉතා රසවත් වූ බව ෂාරුක් ඔහුගේ සමාජ මාධ්‍ය සටහනක ලියා තිබිණි. විජේ සමග රඟපාන්නට ලැබිම තමා ආඩම්බරයක් ලෙස සලකන බව ද ෂාරුක් පවසා තිබේ. ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ ‘ජවාන්’ හි විජේගේ රඟපෑම් ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

චිත්‍රපටවල සාමාන්‍යයෙන් ෂාරුක්ගේ දක්නට නොලැබෙන ආකාරයේ ස්වරූපයක් ‘ජවාන්’ හි දැකිය හැකි බව ද වාර්තා වේ. ඒ ඔහු සම්පූර්ණයෙන් හිස මුඩු කර සිටින ආකාරයකි. මෙම සිනමාපටයෙහි ෂාරුක්ගේ එකිනෙකට වෙනස් ස්වරූප කිහිපයක්ම දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන් ය. පිලිස්සුම් තුවාල නිසා මුළු සිරුරම වෙළුම්පටිවලින් වෙලා ගෙන සිටින ආකාරයක් ද සමහර ජවනිකාවල දක්නට ලැබේ. ෂාරුක් මේ ආකාරයෙන් එකිනෙකට වෙනස් ස්වරූපවලින් දකින්නට ලැබීම ද ඔහුගේ රසික රසිකාවියන්ට තවත් අපූරු අත්දැකීමක් වනු ඇති බව නිසැකය.

‘ජවාන්’ සිනමාපටයෙන් පසු මේ වසර තුළම ෂාරුක්ගේ තවත් චිත්‍රපටයක් ද ප්‍රදර්ශණය වීමට නියමිතව තිබේ. ‘දුන්කි’ නැමැති එම චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේ යි.

නිහාල් පීරිස්

රසගඟුල