හෙද ආචාර්යවරියක දුටු අමුතු අයුරක නැවුම් පෙමක්!

“නැවුම් පෙම” කියන වදන ඇසුණු සැනින් අපි කාගේත් මනැසට නැංවෙන්නේ යොවුන් ප්‍රේමයක් .ඒත්,ප්‍රේමයක් නැවුම් ලෙස අර්ථ ගන්වා ගැනීමට වයස් සීමාවක් බල නොපාන බව පෙන්වා දෙන මේ අපූරු පද්‍ය සංකල්පනය අපි මෙවර Wall සරසන්න තෝරා ගත්තා.”උඹේ හිනා මල් අහුර”යනුවෙන් තම වයෝවෘද්ධ බිරිඳගේ සිනාව පිළිබඳ අපූරු අර්ථ විග්‍රහයක යෙදෙන වයෝවෘද්ධ සැමියකුගේ ද්‍රෂ්ඨි කෝණයෙන් ලියැවුණු මෙම පද්‍ය රචනය මඟින් ඔවුන්ගේ යොවුන් ප්‍රේමයේ විචිත්‍රත්වය වගේම යුග දිවියේ අතිශය අප්‍රසන්න අද්දැකීමක් ද අපූරුවට විස්තර කෙරෙනවා.ඒ සඳහා කිවිඳිය යොදා ගන්නා “විඩෙන් විඩේ ඇවිදින් මගේ පපු කුහරේ හාරන උදළු තලයක්” කියන යෙදුමින් කිවිඳියගේ ප්‍රතිභාව මැනැවින් නිරූපණය වෙනවා.” දත් කෙස් මම දන් දුන්නේ මගෙම ලේන් පැටවුන්ටයි” ආදී ප්‍රබලතම සංවේදිතාවන් කාව්‍යාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත මෙම කිවිඳිය ඉරේෂා මෙලෝඩිකා රණවීර.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ, විශේෂ ශ්‍රේණියේ හෙද ආචාර්යවරියක ලෙස කටයුතු කරන ඉරේෂා කොළඹ විශාකා විද්‍යාලයේ ආදි සිසුවියක්.පාසලේ නිවේදන කටයුතු කළ ඇය සමස්ත ලංකා කථික, පද්‍ය රචනා, ගද්‍ය රචනා, කෙටිකතා තරඟ කිහිපයකින්ම ජය ගෙන තිබෙනවා.ඒ වගේම ඇය පාසල් විවාද කණ්ඩායමේ මුල් පෙළ සාමාජිකාවක්. විශාකා විද්‍යාලයට වසර 75 පිරීම වෙනුවෙන් නිකුත් කරන ලද ලද “ලියක මහිම” ප්‍රකාශනයේ සංස්කාරක මණ්ඩල සාමාජිකාවක් වුණු ඉරේෂා රූපවාහිනී මුතුහර වැඩසටහන් ද ඉදිරිපත් කොට තිබෙනවා. එසේ ලබා ගත් ජවය හා පන්නරය මඟින් මේ වන විට හෙද සේවයේ රාජ්‍ය උත්සව හා නිල උත්සවවල නිවේදිකාව ලෙස කටයුතු කරන ඇය ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය ඉදිරිපත් කරන “අලුමඩල” වැඩසටහන මෙහෙයවනවා.තමන්ගේ ළමා වියේ සිහිනය වී තිබුණේ නිවේදිකාවක් වීම වුවද ඒ වෙත යන මාර්ගයක් නොදැන සිටි නිසා හෙද සේවයට අවතීර්ණ වුව ද මේ වන විට තමන් එමඟින් උපරිම තෘප්තියක් ලබන බව ද ඉරේෂා පවසනවා.මේ වන විට විද්‍යාවේදී( BSc)මූලික උපාධියක් හිමි කරගෙන විද්‍යාපති( MSc ) උපාධියේ අවසන් අදියරේ හිඳින ඉරේෂා විවාහක දෙදරු මවක්.දැන් අපි ඉරේෂා තමන්ටම ආවේණික ද්‍රෂ්ඨියක් යොමු කළ නැවුම් පෙම වෙත හිස පොවා බලමු.

නැවුම් පෙම

මිනිපිරිගේ පවුඩර් පෙට්ටිය
හලලා ගත් තලියක්
කම්මුල උඩ වරා මලක්
වගෙ තවරලා
මෙහෙට වරෙන් ලතෝ
ඩිංගිත්තක් පිහ දාන්න
අද නැහැ මං ළග
සුවඳ කවපු ලේන්සුවක්

දත් කෙස් උඹ දන් දුන්නේ
මගෙ ම ලේන් පැටවුන්ටයි
මට නැහැ ඕවායේ ගනිච්චියක්
විඩෙන් විඩේ ඇවිදින්
මගේ පපු කූහරෙ හාරන
උදළු තලයක් තියෙනවා
ඒ එදා මගේ සැර පහරකින්
උඹෙන් බිම වැටුණු දතමයි නේද

එදා නො දැකපු
උඹේ හිනා මල් අහුරම
ඒක දන්ත හිනාවේ හංගලා
අදයි මට හරිහැටි ම පෙනෙන්නේ
මගේ ඇස් කෙවෙණි වයසට ගිහින්
නැහැ කියලමයි හිතෙන්නේ

ඉරේෂා මෙලෝඩිකා රණවීර

wall එක