19 හැවිරිදි සුලේමාන් ටයිටන් සබ්මැරීනයේ ගිහින් තිබුණේ ලෝක වාර්තාවකුත් පිහිටුවන්නයි

අඳුරු සාගර පත්ලේ සැතපුම් දෙකකටත් වැඩි ගැඹුරක තැන්පත්ව ඇති ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් සහ ගවේෂකයන් පස් දෙනෙකු රැගෙන යමින් සිටි ටයිටන් සබ්මැරීනය මුහුණ දුන් අනතුර පිලිබඳ කතාබහ තවමත් අවසන්ව නැත. මෙයට අදාළ විවිධ තොරතුරු දිගින් දිගටම මාධ්‍ය වාර්තා කරමින් සිටියි.

මේ අතරින් කාගේත් අවධානය දිනාගත්තක් වූයේ ටයිටන් සබ්මැරීනයේ ගමන් කර ජීවිතක්‍ෂයට පත් වූ 19 හැවිරිදි සුලේමාන් ඩාවුඩ්ගේ මව වන ක්‍රිස්ටීන් ඩාවුඩ් මාධ්‍යයට හෙලි කර තිබූ තොරතුරු ය.
ක්‍රිස්ටීන්ගේ සැමියා වූ ෂාහ්සදා ඩාවුඩ් ද මෙම අනතුරෙන් මරණයට පත් විය. ඔහු පාකිස්තාන ජාතික බිලියනපතියෙකි.

ක්‍රිස්ටීන් පවසන ආකාරයට සුලේමාන් මෙම ගමන ගොස් තිබුණේ රූබික් කැටයක් ද අරගෙන ය. ඒ මහ මුහුද යට දී ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමේ බලාපොරොත්තුවෙනි. ඔහු රූබික් කැට විශාරදයකු බව සඳහන් වේ. තත්ත්පර 12 කින් රූබික් ප්‍රහේළිකාව විස`ඳීමේ හැකියාවක් ඔහුට තිබූ බවත්, යන යන තැන රූබික් කැටයක් රැගෙන යමින් තම හිතමිතුරන් විස්මයට පත් කිරීමට ඔහු පුරුදුව සිටි බවත් ක්‍රිස්ටීන් පවසයි. සාගරයේ මීටර 3,700 ක් තරම් ගැඹුරේ දී රූබික් ප්‍රහේළිකාව විසඳීමෙන් ඉහත කී ලෝක වාර්තාව පිහිටුවීමට සුලේමාන් අදහස් කරගෙන සිටි බව ද ඇය පවසා තිබිණි. ‘මම මීටර් 3,700 ක් ගැඹුරේ දී සහ ටයිටැනික් නැව ආසන්නයේ දී රූබික් ප්‍රහේළිකාව විසඳන්නයි යන්නේ’ සුලේමාන් පවසා තිබුණේ මහත් උද්දාමයෙනි. එම අවස්ථාව රූපගත කිරීම සඳහා ඔහුගේ පියා කැමරාවක් ද රැගෙන ගොස් තිබූ බව ක්‍රිස්ටීන් තවදුරටත් කියා තිබුණාය.

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා යාමට ෂාහ්සදා මුලින් සැලසුම් කර තිබී ඇත්තේ මෙයට වසර කිහිපයකට පෙර ය. එවර ඔහු සමග යාමට සිටියේ ක්‍රිස්ටීන් ය. නමුත් කොවිඩ් වසංගතය නිසා ඔවුන්ට එම ගමන යාමට ලැබී තිබුණේ නැත. මෙවර ඇය ගමනෙන් ඉවත්ව එම අවස්ථාව සුලේමාන්ට ලබා දී තිබුණාය. ඒ ඔහු මෙම චාරිකාව යාමට දැඩි ආශාවකින් පසු වූ බැවිනි. ‘මම ඔවුන් දෙදෙනා යන එක ගැන හුඟක් සතුටු වුණා. මොකද ඒක දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් තුළ තිබූ සිහිනයක් නිසා’ ක්‍රිස්ටීන් සඳහන් කරයි. නමුත් මෙතරම් ආශාවකින් ගිය ගමන මෙවන් බිහිසුණු ඛේදවාචකයකින් කෙළවර වනු ඇතැයි ඔවුන් කිසි විටෙකත් නොසිතන්නට ඇත.

ක්‍රිස්ටීන් ඉහත කී මාධ්‍ය සාකච්ඡාවේ දී ඇයගේ ආදරණීය සැමියා ගැන ද කතා කර තිබිණි. තමා අවට ලෝකය ගැන දැනගන්නට ඔහු තුළ පුදුමාකාර කුතුහලයක් තිබූ බව ඇය පවසයි. ඒ සඳහා ඔහු පවුලේ සෙසු අය ද උනන්දු කර තිබිණි. බොහෝ දිනවල රාත්‍රි ආහාර ගැනීමෙන් පසු ඔහු පවුලේ අයත් සමග වාඩි වී වාර්තා වැඩසටහන් නරඹන්නට පුරුදුව සිට ඇත. ‘ඔහු මේවායින් සතුටට පත් වුණේ හරියට පොඩි ළමයෙක් වගෙයි’ යයි ද ක්‍රිස්ටීන් සඳහන් කර තිබුණාය.

ඇය පවසන ආකාරයට ෂාහ්සදා ඉතා යහපත් ගතිගුණවලින් යුතු වූ කෙනෙකි. කාටත් උදව් පදව් කිරීම ඔහුගේ පුරුද්දක් වූ බව ද ඇය කියයි. ‘ඔහුගේ එම සද්ක්‍රියාව දිගටම ඉදිරියට ගෙන යාමට මට අවශ්‍යයි. මට වගේම අපේ දියණියටත් එය වැදගත් කටයුත්තක්”. ක්‍රිස්ටීන් සහ ෂාහ්සදා දෙදෙනාට 17 හැවිරිදි දියණියක ද සිටියි. ඇයගේ නම ඇලීනා ය.

පසුගිය 18 වැනි දින අනතුරට පත් ටයිටන් සබ්මැරීනය ගමන් ආරම්භ කළේ කැනඩාවේ නැගෙනහිර දෙසින් පිහිටි නිව්ෆවුන්ඩ්ලන්ඩ් දූපතේ සිට කි.මී. 740 ක් පමණ දුරින් පිහිටි ස්ථානයකිනි. එම ස්ථානය දක්වා සබ්මැරිනය ඇදගෙන ගොස් තිබුණේ Polar Prince නැමැති නෞකාවක් විසිනි. සබ්මැරීනයේ ගමන් කළ අයගේ පවුල්වල සමහරුන් ද එම නෞකාවේ සිටි බව සඳහන් ය. අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රිස්ටීන් සහ ඇලීනා ද සිට ඇත්තේ Polar Prince නෞකාවේ යි. පැය 96 සීමාව ඉක්ම ගිය පසු තමාගේ සියලු බලාපොරොත්තු බිඳ වැටුණු බව ක්‍රිස්ටීන් පවසා තිබිණි. සබ්මැරීනය තුළ ඔක්සිජන් තිබුණේ පැය 96 ක (දින හතරක) කාලයක් සඳහා පමණි.

මෙම බිහිසුණු අනතුර සිදු වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඇමරිකානු වෙරළාරක්‍ෂක ආයතනයේ මූලිකත්වයෙන් මේ වනවිට විමර්ශණයක් ආරම්භ වී තිබේ. මෙම විමර්ශණයට කැනඩාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය යන රටවල කණ්ඩායම් ද සම්බන්ධ වන බැව් සඳහන් ය. මුහුදු පත්ලේ විසිර ඇති ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩට ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇත. සබ්මැරීනයේ කැබලි පහක් මේ වනවිට හඳුනාගෙන තිබේ. මිනිස් සිරුරුවල සුන්බුන් ඇත් ද යන්න ගැන ද තමුන් විශේෂ අවධානයක් යොමු කරන බව විමර්ශකයන් පවසා තිබිණි.

මෙම අනතුරට වගකිව යුතු පාර්ශ්ව ඇත් ද යන්න සොයා බැලීමත්, ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුත්තේ කවරාකාරයෙන් ද යන්න තීරණය කිරීමත් මෙම විමර්ශණයේ තවත් ප්‍රධාන අරමුණකි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර