22 වැනි සංශෝධන පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීමට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) ප්‍රතික්ෂේප කළේය.අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අතර, එම මඬුල්ලට විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරු ඇතුළත් වෙති.නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාග කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, දැනට පත් කර ඇති පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේම පෙත්සම් විභාගය අඛණ්ඩව සිදුකරන බවත්ය.පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් කරන ලෙස ප්‍රධාන ඉල්ලීම ඉදිරිපත් කළේය. යෝජිත සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය හා විශ්‍රාම වයස සම්බන්ධයෙන් බලපෑම් ඇති කරන බැවින්, එවැනි කරුණක් සියලුම වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීම සුදුසු බව ඔහු ඇතුළු නීතිඥවරුන් පෙන්වා දුන්හ.මෙම ඉල්ලීමට ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් ද සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ඇතුළු තවත් නීතිඥවරුන් ද සහාය පළ කළ බව වාර්තා වේ.ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් නඩුවක් විභාග කරන විනිසුරු මඬුල්ලේ සංයුතිය සහ විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බවයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ එම බලය අගවිනිසුරුවරයා සතු වන බැවින්, විනිසුරු මඬුල්ලක සංයුතිය සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයකට මැදිහත් වීමට හැකියාවක් නොමැති බව ද සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥවරුන් ද විනිසුරු මඬුල්ලක සංයුතිය තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතුවන බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළහ.
මෙම කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ගේ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඬුල්ල පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, දැනට පත් කර ඇති පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේම පෙත්සම් විභාගය පවත්වාගෙන යාමට නියෝග කළේය.මේ අතර, පෙත්සම් විභාගය ආරම්භ කිරීමේදී නඩුවට අදාළව අධිකරණ ශාලාව තුළ පැවති අධික තදබදය හේතුවෙන් නඩු විභාගය 502 වැනි අධිකරණ ශාලාවේ සිට වඩා විශාල 501 වැනි අධිකරණ ශාලාව වෙත මාරු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති ඉහළ මහජන උනන්දුව හේතුවෙන් විශාල පිරිසක් අධිකරණයට පැමිණ සිටීම ඊට හේතුව විය.රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ තීරණ පෙත්සම් 67ක් ගොනු කර ඇති අතර, ඒවා අතරින් 41ක් අන්තර්ජාලය ඔස්සේ ගොනු කර තිබේ. මෙම සංඛ්‍යාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙතෙක් ගොනු වූ ඉහළම පෙත්සම් සංඛ්‍යාව ලෙස වාර්තා වේ.පෙත්සම්වල මූලික කරුණු අතර යෝජිත සංශෝධනය මඟින් අධිකරණ ස්වාධීනත්වයට ඇති විය හැකි බලපෑම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සහ එම කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය හා අධිකරණ බලය සම්බන්ධ විධිවිධාන සමඟ ගැටෙන්නේද යන්න පිළිබඳ ප්‍රශ්න ඇතුළත් වේ.ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් කිහිපදෙනකු පෙන්වා දී ඇත්තේ යෝජිත සංශෝධනය මඟින් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් ඇති වන්නේ නම්, එය ජනතා පරමාධිපත්‍යය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවලට බලපාන බැවින් ජනමත විචාරණයක අවශ්‍යතාවක් ද ඇති විය හැකි බවයි.මේ අතර ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, යෝජිත සංශෝධනය මඟින් අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවිය හැකි බවට කරුණු දක්වමින්, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර පවතින බල තුලනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ බව වාර්තා වේ.ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ තවදුරටත් පැවැත්වීමට නියමිතය.

කාලීන පුවත්