ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස ඒකමතිකව පිළිගැනෙන බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තය, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 89 හැවිරිදි විය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය (Cricket West Indies) ඊයේ (17) නිල වශයෙන් මේ ශෝකජනක පුවත නිවේදනය කළේය. 1936 ජූලි 28 වන දින බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි උපත ලැබූ ගාර්ෆීල්ඩ් සෙන්ට් ඕබ්රන් සෝබර්ස්, වයස අවුරුදු 17 දී, එනම් 1954 දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් පිටියට පිවිස, වසර 20 ක අතිදැවැන්ත ක්‍රිකට් දිවියක් ගොඩනැගීය. ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ද 1974 දී එංගලන්තයට එරෙහිවම විය. ටෙස්ට් තරග 93 කදී ලකුණු 8,032 ක් රැස්කර ඇති අතර, ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 57.78 කි. ඊට ශතක 26 ක් ඇතුළත් වේ. කඩුලු 235 ක් දවාගෙන ඇති ඔහු, වමත් වේග පන්දු, දඟ පන්දු සහ චයිනමන් යන ත්‍රිවිධ පන්දු යැවීමේ හැකියාවකින් යුතු වූ දුර්ලභ ගණයේ පන්දු යවන්නෙකි. 1958 දී වයස අවුරුදු 21 දී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 365 ක් රැස්කරමින්, එවකට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පුද්ගලික ලකුණු වාර්තාව පිහිටුවීය. එම වාර්තාව වසර 36 ක් නොබිඳී පැවතුණි. 1968 දී නොටින්හැම්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින්, ග්ලැමෝගන් හි මැල්කම් නැෂ්ගේ එක් පන්දුවාරයකදී හයේ පහර 6 ක් එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඔහු පත්විය. ඔහු එක් එක්දින ජාත්‍යන්තර තරගයක් (ODI) ද ක්‍රීඩා කර ඇත.1975 දී බ්‍රිතාන්‍ය මහරැජිණ විසින් ඔහුට නයිට් පදවිය පිරිනමන ලද අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වසරේ විශිෂ්ටතම පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන කුසලානය “සර් ගාෆීල්ඩ් සෝබර්ස් ට්‍රොෆි” (Sir Garfield Sobers Trophy) ලෙස නම්කර ඇත්තේ ඔහුට ගෞරවයක් වශයෙනි.ඔහුගේ අභාවය පිළිබඳව ලොව පුරා ක්‍රිකට් ක්ෂේත්රයම ශෝකය පළ කරයි. ICC, BCCI, නොටින්හැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය ඇතුළු බොහෝ ආයතන මේ වන විටත් නිවේදන නිකුත් කර ඇත.BCCI නිවේදනය කර ඇත්තේ, “සෝබර්ස් ක්‍රීඩාවේ සැබෑ නිරූපකයක් සහ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ අසාමාන්‍ය ජයග්‍රහණ සහ ගෝලීය ක්‍රීඩාවට කළ දායකත්වය පරම්පරා ගණනාවක් ප්‍රබෝධමත් කරනු ඇත” යනුවෙනි.සෞරව් ගංගුලි, ජේ ෂා, විවීඑස් ලක්ෂ්මන්, විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං ඇතුළු බොහෝ ක්‍රිකට් වීරයෝ මෙය “ක්‍රිකට් ලෝකයට ආපසු හැරවිය නොහැකි පාඩුවක්” ලෙස හඳුන්වා දී ඇත.අමතර ඇඟිල්ලක් ද සහිතව උපත ලැබූ දරුවෙකු ලෙස ජීවිතය ආරම්භ කර, ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීයයෙකු ලෙස දිවිය අවසන් කළ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, හුදෙක් ලකුණු සහ කඩුලු වලට වඩා, ක්‍රීඩාව ක්‍රීඩා කළ යුතු ආකාරය, විනෝදය සහ අභිමානය පිළිබඳ වටිනා පාඩමක් ලොවට ඉතිරිකර ගොස් ඇත.