ඇමති ලාල්කාන්තගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් CID හමුවට

කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටියේය.අමාත්‍යවරයාට අයත් යැයි කියනු ලබන ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අනුරාධ තෙන්නකෝන් මහතා විසින් මීට පෙර සිදුකරන ලද ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානි සිදුව ඇති බවට අමාත්‍යවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදු කර තිබුණි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය කිහිපයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේ තමන් හෙළිදරව් කළ කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරනවා වෙනුවට රජය “පණිවිඩකරුට වෙඩි තැබීමේ” ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මට ලැබුණු තොරතුරු මත මම කළ හෙළිදරව්වකට අදාළව කට උත්තරයක් දෙන්න තමයි අද මාව කැඳෙව්වේ. මාව කැඳවන්න තිබුණු හදිසිය පුදුම සහගතයි. මහා පරිමාණ පොලිටනල් වංචාව ගැන ප්‍රධාන පැමිණිලිකරු විදියට මම සාක්ෂි දීලා අවුරුද්දක් වෙන්න ආවත් ඒ ගැන තවම පරීක්ෂණයක් නෑ. කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවල සිදුවන මුදල් අවභාවිතාවන් ගැන අපි අල්ලස් කොමිසමටයි CID එකටයි පැමිණිලි කළත් ඒවා යටගහලා තියෙනවා.”
දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ තොරතුරු හෙළි කරන පුද්ගලයන් බිය ගැන්වීමට කටයුතු නොකර, අදාළ චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පරීක්ෂණ පවත්වන ලෙස තමන් රජයට බලකර සිටින බවද තෙන්නකෝන් මහතා මෙහිදී අවධාරණය කළේය. “අපිත් 88-89 කාලේ දේශපාලනය කරපු අය. ඒ නිසා CID දාලා, හිරේ දාලා අපිව මට්ටු කරන්න ලෑස්ති වෙන්න එපා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්