ඉන්දීය සංස්කෘතික අධිරාජ්‍යයේ කිරුළු දරන රාම කුමරු සිනමා මාධ්‍යයෙන් ගෝලීය ආක්‍රමණයක; රාවණාගේ ලංකා පුරයටත් දැඩි බලපෑම් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය


වසර 130කට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා නිර්මාණය ලෙස විචාරකයන් හඳුන්වන, නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කරන “රාමායණය” චිත්‍රපට ද්විත්වය පිළිබඳව ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද සුවිසල් කතාබහක් පවතී. මෙය සාමාන්‍ය වහරින් කියන තවත් එක් “බයිස්කෝප්” එකක් නොවේ. එය වසර දහස් ගණනක් පැරණි භාරතීය සංස්කෘතික අධිරාජ්‍යයේ ආධ්‍යාත්මික ප්‍රතාපය ලෝකය පුරා ගෙන යාමේ ඓතිහාසික යෝධ ප්‍රයත්නයකි.

මෙය පෞද්ගලික ආයෝජනයක් වශයෙන් ක්‍රියාත්මක වුව ද, එය ඉන්දියාවේ ජාතික සැලසුමකට අනුව ගොඩනැඟී ඇති බව පැහැදිලි ය. වත්මන් තොරතුරු අනුව මෙය 2026 දීපාවලි සහ 2027 දීපාවලි සමයන්හිදී කොටස් දෙකක් ලෙස තිරගත වීමට නියමිත පෑන්-ඉන්ඩියා (Pan-India) ව්‍යාපෘතියකි. පෑන්-ඉන්ඩියා යනු මුළු ඉන්දියාව පුරාම විසිරී පවතින හෝ මුළු රටම ආවරණය කරමින් ක්‍රියාත්මක වන යම් ව්‍යාපෘතියක්, සේවාවක් හෝ සංකල්පයක් හැඳින්වීමට යොදාගන්නා ව්‍යාපාරික යෙදුමකි. මෙහි පළමු කොටස 2026 නොවැම්බර් 06 වන දින ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනයක් සහිතව අයිමැක්ස් (IMAX) ඇතුළු සිනමා ජාලයන් ඔස්සේ තිරගත වීමට නියමිත බව සඳහන් වේ.

ඉන්දීය සිනමාව ගෝලීය මට්ටමින් යම් තරමකට අසාර්ථක වූයේ තාක්ෂණයෙනි. විශේෂයෙන් ම එහි දේව කතාවලට අවශ්‍ය දෘශ්‍ය ප්‍රාතිහාර්යයන් නිර්මාණය කිරීමට නොහැකි වීම නිසා බොහෝ නිර්මාණ වත්මන් පරපුරේ හාස්‍යයට ලක් විය. “රාමායණය” එම අඩුපාඩුව ද මකා දමා තිබේ.

“රාමායණය” හුදෙක් තවත් බොලිවුඩ් චිත්‍රපටයක් නොවේ. රාම ලෙස උතුරු ඉන්දීය ප්‍රසිද්ධ “කපූර්” පරම්පරාවෙන් පැවත එන රන්බීර් කපූර්, සීතා ලෙස දකුණු ඉන්දීය සම්භවයක් ඇති සායි පල්ලවී, රාවණා හෙවත් ලංකේෂ් ලෙස කන්නඩ සිනමාවේ කේ.ජී.එෆ්. (KGF) නිර්මාණ හරහා දකුණු ඉන්දියාවේ සුපිරි තරුව බවට පත්, දකුණු ඉන්දීය කර්නාටක ප්‍රාන්තයට අයත් යෂ් සහ හනුමන් ලෙස සීක් (Sikh) පසුබිමක් සහිත සනී ඩියෝල් රංගනයේ යෙදෙති. ඒ අතර උතුරු ඉන්දියානු බ්‍රාහ්මණ වංශික රවී දුබේ ලක්ෂ්මණ ලෙස ද එක් වීමෙන් මෙය සැබෑ පෑන්-ඉන්ඩියා සංකලනයක් වී ඇත.

ඉන්සෙප්ෂන් (Inception), ඉන්ටර්ස්ටෙලර් (Interstellar), ඩූන් (Dune) වැනි හොලිවුඩ් වීර කාව්‍යයන්හි පරිගණක තාක්ෂණික අංග (VFX) නිර්මාණය කළ, ඔස්කාර් සම්මානලාභී ඩීනෙග් (DNEG) ආයතනයේ ප්‍රධානී නමීත් මල්හෝත්‍රාම මෙම නිර්මාණයේ නිෂ්පාදකවරයා වීම විශේෂත්වයකි. සංගීතය ඒ. ආර්. රහ්මාන් සහ හොලිවුඩයේ හැන්ස් සිමර් (Hans Zimmer) එක්ව නිර්මාණය කිරීම තවත් ඓතිහාසික සුසංයෝගයකි.

මෙහි පිරිවැය පිළිබඳව ද විවිධ වාර්තා පවතී. නමුත් රාමායණය සිනමා කෘතීන් යුගලය සඳහා ඉන්දීය රුපියල් බිලියන 8.35ක් ඉක්මවන පිරිවැයක් ද සඳහන් වේ. කෙසේ වුව ද මෙය ඉන්දියාවේ මිල අධිකම චිත්‍රපට ව්‍යාපෘතිය බව නිසැක ය. මෙය චීනය ඇතුළු විශාලතම විදේශීය වෙළෙඳපොළවල් ඉලක්ක කරමින්, ඒඅයි (කෘත්‍රිම බුද්ධි) තාක්ෂණයෙන් ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ජපන් ඇතුළු භාෂාවලට හඬ කවා තිරගත කිරීමට සැලසුම් කර ඇත. නිෂ්පාදකවරයාම පවසා ඇත්තේ “බටහිරයන්ට මෙම චිත්‍රපටය නොදැනුණොත් එය අසාර්ථක වනු ඇතැ”යි කියා ය. එය ඔවුන්ගේ සැබෑ අභිලාෂය ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීමක් බව පෙනේ. දීපාවලිය යනු රාමායණයේ රාම කුමරුන් වසර 14ක වනවාසයෙන් පසු අයෝධ්‍යාවට පැමිණි දිනයයි. එබැවින් දීපාවලියේදී රාමායණය මුදා හැරීම හුදෙක් ව්‍යාපාරික උපාය මාර්ගයක් නොව සංස්කෘතික හා ආධ්‍යාත්මික තීරණයකි.

රාමායණය කාණ්ඩ 07ක් සහ සර්ග 645ක් පුරා දිගහැරෙන මහා වීර කාව්‍යයකි. එසේ වුව ද, එහි යටි පෙළ කියවීමේදී එය හුදෙක් රාම-රාවණා පුද්ගල ගැටුමක් නොවේ. එය මානව ඉතිහාසයේ අති ප්‍රබල සංස්කෘතික ප්‍රවාහයන් දෙකක ගැටුමකි. එක් පසෙක වෛදික සාරධර්ම හා වර්ණාශ්‍රම ක්‍රමය නියෝජනය කරන ආර්ය සංස්කෘතියේ රාම හිඳින අතර, අනෙක් පස අනාර්ය, යක්ෂ, නාග, අසුර යනුවෙන් ආර්ය සාහිත්‍යයේ හඳුන්වන ලද දකුණු දිග ජන කණ්ඩායම්වල දියුණු තාක්ෂණය, නාගරිකත්වය සහ දර්ශනය මුසු වූ අනන්‍ය සංස්කෘතිය නියෝජනය කරන, ලංකා පුරයට අධිපති රාවණා සිටී. නමුත් මානවරූපී ලෙස ඉදිරිපත් කොට ඇති එම චරිත, මානව විද්‍යාත්මක සංසිද්ධීන් සංකේතානුසාරයෙන් දැක්වීමක් බව පොදු විද්වත් පිළිගැනීමය. ඒ හැරුණු කොට මේ වන විට පවත්නා ජනප්‍රිය මතවාදවලින් පැවසෙන පරිදි රාම, සීතා, රාවණා හෝ හනුමාන් යනු හුදෙක් පුද්ගල චරිත නොවේ.

ක්‍රි.පූ. තුන් වන සියවසේ සිදු වූ මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාව බුදු සමය පමණක් නොව, පාලි හා සංස්කෘත භාෂාවන් මුල් කරගත් උතුරු ඉන්දීය ආර්ය සංස්කෘතික අධිරාජ්‍යයේ දෘෂ්ටිවාදී අනසකට ද යටත් විය. නමුදු ඒ ඉන්දියානු වෛදික සංස්කෘතික අධිරාජ්‍යයෙන් බාහිරව පැන නැඟි, ධර්මාශෝක නිරිඳුන් බෞද්ධ සදාචාරය මත පදනම්ව ගොඩනැඟූ නවමු ආර්ය සංස්කෘතික අධිරාජ්‍යයක් බව ද විශේෂයෙන් කිව යුතු ය. එවක ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට ධර්ම යාත්‍රා මඟින් බලය පැතිරවූ එම දැහැමි සංස්කෘතික අධිරාජ්‍යයට අවනත වූ, මහාවංශය හා දීපවංශය රචනා කළ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා සිංහල ජාතියට ආර්ය සම්භවයක් ආරෝපණය කිරීමට උත්සාහ කළහ. විජයාවතරණ පුරාවෘත්තය මඟින් අප බංගාලයේ සිංහපුරයෙන් පැමිණි ආර්යයන්ගේ පරපුරක් ලෙස හුවා දැක්වීම මත අපි ස්වභාවයෙන්ම රාමගේ පක්ෂය ගත යුතු වූ අතර, අපේම දේශයේ රජෙකු බව පැවසෙන රාවණා දුෂ්ටයෙකු ලෙස හැඳින්වීමට පුරුදු වීමු.

නමුත් අනුරාධපුරයේ පුරාවිද්‍යා කැණීම් මත පදනම් වූ කාබන්-14 පරීක්ෂණ අනුව ක්‍රි.පූ. 900 තරම් ඈතට දිවෙන නාගරික ජනාවාස තිබූ බව සනාථ වීම අපේ මානව වංශය පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් අනාවරණය කිරීමට සමත් විය. ක්‍රි.පූ. 30,000 යුගයට අයත් බලංගොඩ මානවයාගෙන් ඇරඹෙන මානව පරිණාමය, මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් පෙන්වා දුන් පරිදි සිංහල භාෂාවේ ඇති “ප්‍රාග්-සිංහල” දේශීය වචන කොටස්, තියඩෝර් ජී. පෙරේරා පියතුමන්ගේ “The Evolution of the Sinhalese Language” කෘතියෙන් ඉදිරිපත් කළ ද්‍රවිඩ හා ඕස්ට්‍රෝ-ඒෂියාටික් (Austroasiatic) සම්බන්ධය ආදී ශාස්ත්‍රීය කරුණු මත අපගේ මානව වංශය සතුව ආර්ය නොවන එහෙත් දියුණු ශිෂ්ටාචාරගත උරුමයක් ඇති බව අනාවරණය වී තිබේ.

වාල්මීකීගේ රාමායණය ශ්‍රී ලාංකිකයන්ට නුපුරුදු කතාවක් නොවේ. වසර සිය ගණනක් තිස්සේ එහි විවිධ පද්‍ය පරිවර්තන, ගද්‍ය අනුවර්තන සහ ජනකතා ප්‍රභේද සිංහල සාහිත්‍යයට හා ජනශ්‍රැතියට එක්වී තිබේ. මෙරට නූතන වේදිකා නාට්‍ය කලාවේ පුරෝගාමියකු වූ නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් විසින් රචිත පළමු නාට්‍යය වන ‘රාමායණය’ නාට්‍යය මුල්වරට වේදිකාගත කරනු ලැබුවේ 1886 මැයි 27 වන දින පිටකොටුව මල්වත්ත පාරේ පිහිටි ෆ්ලෝරල් හෝල් (Floral Hall) රඟහලේදී ය.

එකල බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය හමුවේ බටහිර සංස්කෘතියට නතුවෙමින් තිබූ සිංහල ජน සමාජය යළි පෙරදිග ශිෂ්ටාචාරයේ අභිමානය වෙත යොමු කිරීම ජෝන් ද සිල්වාගේ අරමුණ විය. ඒ සඳහා ඔහු පෙරදිග මහා වීර කාව්‍යයක් වන වාල්මීකී රාමායණයේ මුල් හරයට කිසිදු හානියක් නොවන සේ ඇසුරු කොට ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස එම නාට්‍යයේදී උතුම් වීරයා ලෙස රාමගේ චරිතයත්, දුෂ්ට පාලකයා ලෙස රාවණාගේ චරිතයත් සාම්ප්‍රදායික වාල්මීකී දෘෂ්ටි කෝණයෙන්ම නිරූපණය විය.

මෙම පසුබිම තුළ 1940 දශකයේ මුනිදාස කුමාරතුංග පඬිතුමන්ගේ පුරෝගාමීත්වයෙන් යුතු හෙළ හවුල ව්‍යාපාරය හරහා “හෙළ” අනන්‍යතාවය කරළියට පැමිණියේය. ඒ අනුව බලි, තරු, රවි, යක්ෂ, නාග වැනි සූර්ය-චන්ද්‍ර වන්දනාව මුල් කරගත් ස්වදේශීය පාලකවරු, විමාන තාක්ෂණය, රසවාදය, වෛද්‍ය ක්‍රම ආදියේ ප්‍රවීණයෝ වූහ. රාවණාගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි ලෙස නොයෙක් පුරාවෘත්ත, ග්‍රාම සහ ස්ථාන නාම අද පවා දක්නට පුළුවන. නමුත් මෙම රාමායණයෙන් හැරුණු කොට කිසිදු දේශීය මූලාශ්‍රයකින් ‘රාවණා’ යන නාමය හෝ එවැනි රජකු මෙහි රජකම් කළ බවක් දැක්වෙන කිසිදු පිළිගත හැකි ඓතිහාසික සාධකයක් හමු වී නැත. කෙසේ වුව ද, අප සමාජය පුරා පැතිර ගිය ආර්ය සිංහල මතවාදය අනුව විසිවන සියවසේ දී අසහාය වීරත්වයක් හිමිකර දෙන තෙක් රාවණා අප සමාජයට පවිටු දුෂ්ටයෙක්ම විය. ඒ අනුව යටත් විජිත සමයේ ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ආර්ය සිංහල හා හෙළ යනුවෙන් සමාජ මතවාද දෙකක් පැවතිය ද එම දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වූ බවක් සඳහන් ව නැත.

නමුත් 1983 වසරේ සිට ආරම්භ වූ උතුරේ ඊළාම් යුද්ධය කෙමෙන් දරුණු අතට හැරෙන අතරේ සිංහල ජනයාට එම සටනේ ජය පතා මානසික උත්තේජනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් පැන නැඟිණි. ලක් ඉතිහාසයේ ජනසම්මත අසමසම රණවිරුවා වන දුටුගැමුණු නාමය හුදු ලෞකිකත්වය මත පදනම් වන්නක් නිසා සිය මානසික පන්නරය සඳහා ඉන් ඔබ්බට ගිය අතිමානුෂීය යුද පරමාදර්ශයක් ද අවශ්‍ය විය. ඒ සඳහා වූ සමාජයීය මනෝ රික්තය පුරවන්නට රාවණා තිතටම ගැලපුණි. රාවණා සම්බන්ධ නූතන වරනැඟුමේ ඇරඹුම එයයි.

මුනිදාස කුමාරතුංගයන්ගේ “හෙළ හවුල” ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙකු වූ අරීසෙන් අහුබුදුවන් විසින් රචිත “සක්විති රාවණ” (1988) වේදිකාගත වූයේ ඒ අතරේ ය. “සක්විති රාවණ” යනු ලාංකීය වේදිකා නාට්‍ය සහ සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඉන්දියානු “රාමායණය” මහා කාව්‍යය තුළ දුෂ්ට, රාක්ෂස චරිතයක් ලෙස නිරූපණය කර තිබූ රාවණ චරිතය මුළුමනින්ම උඩුයටිකුරු කරමින්, ඔහුව සාධාරණ, ශිෂ්ටසම්පන්න සහ වීරෝදාර හෙළ රජෙකු ලෙස සමාජගත කිරීමට මෙම නිර්මාණය මුල් විය. අරීසෙන් අහුබුදුවන්, භාරතීය හෝ වෙනත් බාහිර සංස්කෘතික බලපෑම්වලින් තොර නිදහස්, ප්‍රෞඪ හෙළ ඉතිහාසයක් සමාජගත කිරීමට දැරූ උත්සාහයේ උපරිම ඵලය මෙම “සක්විති රාවණ” නාට්‍යයයි. ඉන් පසුව අප ජන සමාජයේ ඇති වූ “රාවණ පුනරුදය”ට හෝ රාවණ උප සංස්කෘතියට මූලිකම පදනම වැටීම පිණිස මෙම නිර්මාණයෙන් ද සැලකිය යුතු පිටිවහලක් ලැබුණි. ඒ අනුව අද වන විට අප සමාජය තුළ මෙම රාවණ සංකල්පය කෙතරම් ජනාදරයට පත්ව තිබේ ද යත්, රාවණා නමින් යුතු දේවාල, සංවිධාන පමණක් නොව සම්බාහන මධ්‍යස්ථාන පවා ඇතැයි කියනු ලැබේ. එමෙන්ම තමන් රාවණාගේ නැඟණිය බව පවසමින් අසරණයන්ගේ ඉහමොළ සූරා කන කපටි ශාස්ත්‍රකාරියක පිළිබඳව ද පසුගිය සමයේ අපට අසන්නට ලැබිණි.

ඒ කෙසේ හෝ නිතේෂ් තිවාරිගේ “රාමායණය” සිනමා කෘතිය ඉන්දියාව ලෝකයට තම මෘදු බලය (Soft Power) ප්‍රදර්ශනය කිරීමේ නවීනතම අවිය බව පෙනේ. ඇමෙරිකාව මාවල් , සුපර්මෑන්, බැට්මෑන් ආදී තම කල්පිත වීරයන් ලෝකයට දුන්නා සේ, ඉන්දියාව තම දහස් වසරක් පැරණි පුරාවෘත්ත වීරයන් ලෝක සිනමාවේ උසස්ම තාක්ෂණයෙන් ඔප දමා ඉදිරිපත් කිරීම, ස්වකීය සංස්කෘතික අධිරාජ්‍යය ලොව පුරා පැතිරවීමට දරන වෑයමකි. ඒ කෙසේ වුව ද, මේ වන විට ආණ්ඩු බලය හිමි කරගෙන හිඳින ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන් සිය දේශපාලන පන්ති පහේ තුන් වන පන්තියේ දී කියා දුන් ‘ඉන්දීය ව්‍යාප්තවාදය’ නම් වන සංකල්පය 1987 වසරේ ජූලි 29 වන දා අත්සන් තැබූ ඉන්දු – ලංකා සාම ගිවිසුමත් සමඟ ඔවුන් විසින් සන්නද්ධ ස්වරූපයෙන් පවා මුදා හරින ලදි. එහෙත් එය ඔවුන් විසින්ම නූතන දේශපාලනයේ කුණු මුල්ලට දමා ඇති බව පැහැදිලි ය. එවන් පසුබිමක් තුළ ලොව දැවැන්තම සිනමා කෘතියක ස්වරූපයෙන් මේ වසරේ දී ඉන්දීය සංස්කෘතික අධිරාජ්‍යය විසින් මුදා හරින, ගෝලීය ව්‍යාප්තියක් සහිත ඓතිහාසික සිනමා කෘතියකින් රාවණාගේ ලංකා පුරය ආක්‍රමණය කරන රාම කුමරුන් නිසා ශ්‍රී ලංකාවට එල්ල වන ඉටු හෝ අනිටු ඵල කෙබඳු වේදැයි කාටවත්ම කිව නොහැකි ය.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

 

එතෙර - මෙතෙර