මෙරට වනාන්තර පද්ධතිය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන “වනස්පති” ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.හෙක්ටයාර් 9,538කට අධික භූමි ප්‍රදේශයක් ආවරණය වන මෙම වනාන්තර නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වවුනියාව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පිහිටා තිබේ.අදාළ ගැසට් නිවේදනය එළිදැක්වීම ඊයේ (26) නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා වන විද්‍යායතනයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහිදී සඳතැන්න වන විද්‍යාලයේ ස්ථාපිත කර ඇති කෞතුකාගාරය ද අමාත්‍යවරයා විසින් නිල වශයෙන් විවෘත කර තිබේ. මෙම නව වනාන්තර 20 ද ඇතුළත් වීමත් සමඟ “වනස්පති” වැඩසටහන යටතේ මේ වන විට රක්ෂිත ලෙස ගැසට් කර ඇති වනාන්තර සංඛ්‍යාව 113ක් දක්වා ඉහළ යන අතර, එම රක්ෂිතවල සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 65,000කට ආසන්න වන බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි. 2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව ආරම්භ කළ “වනස්පති” වැඩසටහනේ අරමුණ වන්නේ රටේ වනාන්තර සම්පත සංරක්ෂණය කරමින් ඒවා අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීමයි. නව රක්ෂිත අතර වවුනියාව නැඩුන්කේණි වන්නිවිලාන්කුලම් 02 වනාන්තරය හෙක්ටයාර් 922.49කින්ද, අනුරාධපුර තඹුත්තේගම හබරවත්ත, කඳුලේගම, මැදවච්චිය, මුස්නව සහ නෑගම යන වනාන්තර ඇතුළු ප්‍රදේශ ගණනාවක්ද ඇතුළත් වේ.