තෙල් සහ ගෑස් යළි පරණ මිලට අඩු වෙයි ද?


ඉරාන යුද්ධය අප වැනි රටවලට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ තෙල් සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස ඉහළ යාම තුළිනි. මේ නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වී ඇති අතර ජනතාවගේ එදිනෙදා වියදම් වැඩි වීමෙන් ද සැලකිය යුතු පීඩනයකට මුහුණ දීමට සිදුව තිබේ. මේ නිසා යුද්ධය අවසන් වී ඉහත කී භාණ්ඩවල මිල ගණන් කලින් පැවති මට්ටමට ළඟා වී ආර්ථික සහනයක් ලැබෙනු දකින්නට අප රටවල මිනිසුන් ද සිටින්නේ දැඩි නොඉවසිල්ලකිනි.

යුද්ධය ආරම්භ වීමට පෙර ලංකාවේ පෙට්‍රල් (92 ) ලීටරයක මිල පැවතියේ රු. 292 ක් වැනි අගයක ය. ඩීසල් ලීටරයක් රු. 277 ක් පමණ විය. නමුත් අප්‍රේල් 18 වැනි දින මෙම සටහන ලියන අවස්ථාව වනවිට පෙට්‍රල් (92) ලීටරයක මිල රු. 398 ක් තරම් ඉහළ අගයක පැවති අතර ඩීසල් ලීටරයක් රු. 382 ක් විය.

මෙම මිල ගණන් කලින් පැවති තත්වයට නැවත පැමිණේවි ද ? කව්රුත් බලා සිටින මේ කාරණය තීරණය වන්නේ යුද්ධය කවරාකාරයෙන් විසඳේවිද යන කාරණය මත බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙම මිල ගණන් කලින් පැවති තත්වයට නැවත පැමිණේවි ද ? කව්රුත් බලා සිටින මේ කාරණය තීරණය වන්නේ යුද්ධය කවරාකාරයෙන් විසඳේවිද යන කාරණය මත බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අබ්බාස් අරාග්චි

මේ වනවිට යුද ගැටුම යම් දුරකට සමනය වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. එම තත්වය ඇති වූයේ පසුගිය අප්‍රේල් 8 වැනි දින ඇමරිකා- ඉරාන දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ආරම්භ වීමත් සමග ය. එය දෙසතියක කාලයකට බලපාන සටන් විරාමයකි. මෙම සටන් විරාමය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනි දින යි.

ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉහත කී සටන් විරාමයේ එක් අරමුණක් වූයේ කල් පවත්නා සාමයක් ඇති කර ගැනීම ඉලක්ක කරගත් සාම සාකච්ඡා ක්‍රියාදාමයක් ආරම්භ කිරීම උදෙසා පසුබිම සකස් කර ගැනීම යි. මෙවැනි සාම ක්‍රියාදාමයක් ඇති කර ගැනීම සඳහා පාකිස්තානය වැනි රටවල් විශාල මැදිහත් වීමක් කරමින් සිටිනු දැකිය හැකි වේ.

මේ අනුව සටන් විරාමය ආරම්භ වී දින 3 කට පසු අප්‍රේල් 11 වැනි දින ඇමරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී සාම සාකච්ඡා වටයක් ආරම්භ විය. ඇමරිකාව නියෝජනය කරමින් මීට උප ජනාධිපති ජේ ඩී වාන්ස්, මැද පෙරදිග කලාපය පිලිබඳ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජෙයාඩ් කුෂ්නර් වැනි අය ද, ඉරානය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් ගලිබාෆ්, විදේශ ඇමති අබ්බාස් අරාග්චි වැනි අය ද සහභාගි වූහ.

නමුත් පැය 20 කට ආසන්න කාලයක් පුරා පැවති මෙම පළමු සාකච්ඡා වටයේ දී කිසිදු එකඟතාවක් ඇති කරගැනීමට දෙපාර්ශ්වයට හැකි වූයේ නැත. සාකච්ඡාවලින් පසු ප්‍රකාශයක් කරමින් වාන්ස් පැවසුවේ ඇමරිකාවේ ඇතැම් කොන්දේසිවලට ඉරානය එකඟතාවක් නොදැක්වීම නිසා සාකච්ඡා නතර වූ බව යි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, හෝමුස් සමුද්‍ර සන්ධියේ අයිතිය , ඉරානයට එරෙහිව පනවා ඇති ඇමරිකානු සම්බාධක ආදිය මෙම සාම කතාවල දී සාකච්ඡාවට ගැනුණු ප්‍රධාන කාරණා විය.

ඉරානය සිය කොන්දේසිවලට එකඟ කරගැනීම සඳහා ඔවුන් මත තවදුරටත් පීඩනයක් ඇති කරනු පිණිස ඇමරිකාව ඊළඟට අලුත් උපායක් අනුගමනය කළේය. එනම් ඉරාන වරායන් අවහිර කිරීමේ පියවරකි. ඒ අනුව ඉරානයේ වරායන් වෙත එන සහ එම වරායන්වලින් පිට වෙන නැව් අවහිර කිරීමේ පියවරක් ඇමරිකාව විසින් ක්‍රියාවට නගනු ලැබිණි. එරට නාවුක හමුදාවේ මූලිකත්වයෙන් මෙම අවහිර කිරීම සිදු වූයේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්න කලාපයේ බව සඳහන් විය.

ඒ වනවිට ඉරානය ද හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය අවහිර කර තිබූ බව රහසක් නොවේ. නමුත් ඉරානයේ වරායන් වෙත එන සහ එම වරායන් වෙතින් පිටත්වන නෞකාවලටත්, චීනය, රුසියාව වැනි ඔවුන්ගේ මිත්‍ර රටවල නෞකාවලටත් ඒ වෙද්දී ලොකු ගැටලුවක් තිබුණේ නැත. ඒ නිසා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු බොහෝ දුරට අවහිරයකින් තොරව සිදුවෙමින් තිබිණි.

නමුත් ඇමරිකාව ක්‍රියාත්මක කළ අවහිර කිරීම නිසා මේ කටයුතුවලට බාධා එල්ල වූ අතර එය ඉරානයේ ආර්ථිකය මත තව දුරටත් දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය. චීනය වැනි ඉරානයෙන් විශාල වශයෙන් තෙල් ආනයනය කරන රටවලට ද මෙයින් දැඩි බලපෑමක් එල්ල විය.

මෙවැනි තත්වයක් වර්ධනය වෙද්දී ඉරානය පසුගිය 17 වැනි දින වැදගත් ප්‍රකාශයක් කළේය. ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චි පැවසුවේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා නැවත විවෘත කරන බව යි. කෙසේ වෙතත් එය විවෘත කෙරෙන්නේ සති දෙකක ඇමරිකා- ඉරාන සටන් විරාම කාලයට අදාලව පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට හේතු වූ තවත් කාරණාවක් තිබිණි. එනම් ඒ වනවිට තවත් සටනක පැටලී සිටි ඊශ්‍රායලය සහ ලෙබනනය ද දින 10 ක සටන් විරාමයකට එකඟ වීම යි.
ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන, ඉරානයේ මිත්‍ර පාර්ශ්වයක් වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඒ වනවිට දරුණු ගැටුමක් ඉදිරියට යමින් තිබිණි. ඉරානය ඇමරිකාව සමග සටන් විරාමයට එළැඹෙද්දී ඉරානයේ කොන්දේසියක් වූයේ එම සටන් විරාමය ලෙබනනයට ද අදාල විය යුතු බව යි. නමුත් ඇමරිකාව සහ ඊශ්‍රායලය මුලින් ඊට එකඟතාවක් දැක්වූයේ නැත. කෙසේ හෝ වේවා පසුගිය 16 වැනි දින ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ද දින 10 ක සටන් විරාමයක් ඇති විය.

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බව නිවේදනය කරමින් ඉරානය 17 වැනි දින පැවසුවේ ඇමරිකාව ද ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටි අවහිර කිරීම අවසන් කළ යුතු බව යි.

නමුත් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් එයට එකඟ වූයේ නැත. ඔහු සඳහන් කළේ ඇමරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඇති කරගන්නා තෙක් එම අවහිර කිරීම ක්‍රියාත්මක වනු ඇති බවකි.

ට්‍රම්ප්ගේ මෙම දැඩි ස්ථාවරය ඉරානයේ සතුටට හේතු නොවූ බව පෙනිණි. එම තත්වය තුළ 18 වැනි දින ඔවුහු නැවතත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කළෝය.

කෙසේ හෝ වේවා 17 වැනි දින ඉරානය සමුද්‍ර සන්ධිය විවෘත කරන බව පැවසීමත් සමග ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල යළිත් සැලකිය යුතු මට්ටමකින් පහළ ගියේය. 18 වැනි දින වනවිට බොරතෙල් බැරලයක මිල ඇ. ඩොලර් 88 ක් පමණ දක්වා අඩු වී තිබිණි. ඊට පෙර දිනවල එම මිල පැවතියේ ඇ.ඩොලර් 98 ආසන්නයේ ය.

කෙසේ හෝ වේවා 17 වැනි දින ඉරානය සමුද්‍ර සන්ධිය විවෘත කරන බව පැවසීමත් සමග ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල යළිත් සැලකිය යුතු මට්ටමකින් පහළ ගියේය. 18 වැනි දින වනවිට බොරතෙල් බැරලයක මිල ඇ. ඩොලර් 88 ක් පමණ දක්වා අඩු වී තිබිණි. ඊට පෙර දිනවල එම මිල පැවතියේ ඇ.ඩොලර් 98 ආසන්නයේ ය. (ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර බොරතෙල් බැරලයක මිල ඇ. ඩොලර් 70-72 අතර අගයක පැවතිණි.)

18 වැනි දින ඉරානය නැවතත් සමුද්‍ර සන්ධිය වසා දමන බව පැවසීමත් සමග තෙල් මිල යළිත් ඉහළ යා හැකි පසුබිමක් නිර්මාණය වී තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර