දකුණු ඉන්දියාවේ තීරණාත්මක දේශපාලන කේන්ද්‍රස්ථානයක් වන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, ඉන්දීය සුපිරි නළු විජේ ප්‍රමුඛ ‘තමිලග වෙට්‍රි කලගම්’ පක්ෂය කැපී පෙනෙන පෙරමුණක් ගෙන තිබේ. ප්‍රාන්තයේ මුළු කොට්ඨාස 234න් පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ දත්තවලට අනුව, විජේගේ පක්ෂය කොට්ඨාස 102ක ජයග්‍රහණය තහවුරු කර ගනිමින් ප්‍රභල ආරම්භයක් ලබා ඇත. අවසන් වාර්තාවලට අනුව එම අගය තවදුරටත් ඉහළ යමින් කොට්ඨාස 107ක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.
මෙවර මැතිවරණ සටනේ දෙවන ස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පක්ෂය සමඟ සන්ධානගත වූ AIADMK සන්ධානයට හිමිව ඇති අතර, ඔවුන් මේ වන විට ආසන 75ක් ජයග්‍රහණය කර ඇත. කෙසේ වෙතත්, මින් පෙර ප්‍රාන්ත බලය හොබවමින් සිටි එම්. කේ. ස්ටාලින් මහතාගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානයට මෙවර දැඩි පසුබෑමකට ලක්වීමට සිදු වූ අතර, ඔවුන්ට ලබා ගැනීමට හැකිව ඇත්තේ කොට්ඨාස 52ක ජයක් පමණි. පසුගිය මැතිවරණයේදී DMK සන්ධානය ආසන 159ක් දිනා ගනිමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ ද, මෙවර එම බලය ගිලිහී යන ලකුණු පෙන්නුම් කරයි.
ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා ඕනෑම දේශපාලන කණ්ඩායමක් අවම වශයෙන් ආසන 118ක බහුතරයක් ලබා ගත යුතුය. තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ප්‍රාන්තය වීම හේතුවෙන්, මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉන්දීය මධ්‍යම රජයේ ඉදිරි ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට සෘජුවම බලපානු ඇත. එසේම, ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි ද මෙම නව දේශපාලන සංයුතිය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.