බෞද්ධ භික්ෂුව ශ්‍රමණයකු මිස පූජකයකු නොවිය යුතු ය  

වර්තමාන ශ්‍රී ලාංකේය භික්ෂු  සමාජයේ නව ප්‍රවණතා අගතිගාමී ලෙස ඉස්මතු වී ඇති බවක් පෙනෙයි.

එහෙත්, ඒ සම්බන්ධයෙන් ගිහි හෝ පැවිදි සමාජයෙන් ඒ සම්බන්ධ ධර්මානුකූල මත විමසුමක් ඉදිරිපත් වන බවක් නොපෙනේ.

ඒ පිළිබඳව අදහස් පළ කරන බොහෝ දෙනකුගේ මතය වනුයේ වත්මන් සමාජයේ භික්ෂු ආකල්ප දේශීය මුහුණුවරකින් හා කාලානුරූපී ලෙස හැඩ ගැසී සකස් වී ඇති බව ය.

එහෙත්, මෙම දේශීය හා කාලානුරූපී යන්න හුදෙක් සමාජ සංස්කෘතික දේශපාලනමය පසුබිමක් සහිත මැදිහත් වීම් බව පෙනෙයි.එහෙත්, එවැනි ඉදිරිපත්වීම් හුදෙක් දේශීය අර්ථ කතනයන් මිස භික්ෂුවක සතු එවන් උරුමයක් හෝ වගකීමක් සම්බන්ධ කිසිදු කරුණක් බුද්ධ දේශනාව තුළ නැත.

එනිසාම තම පැවිදි බවේ මූලික අභිලාෂයන්ගෙන් පරිබාහිර වූ තමන්ට ශාසනික වශයෙන් දායාද නොවූ වෙනත් කටයුතු වල භික්ෂුත්වයේ නාමයෙන් ඉදිරිපත් වීමේ දෝෂ සහගත බවක් තිබේ.

මක් නිසාද යත් භික්ෂුව යනු ගිහියන් මෙන් නොව බුදුන් විසින් අනු දැන වදාළ විනයානුකූල ප්‍රතිපත්ති ආරක්ෂා කරන බවටත් ඒවා උල්ලංඝනය නොකරන බවටත් ප්‍රතිඥාව දුන් කෙනෙකු බැවිනි.

කිතුණු හින්දු හා ඉස්ලාම් ආගම් වල පැවිද්දන් දක්නට නොලැබෙන අතරේ ඔවුන් හැඳින්වනුයේ පූජකයන්,පූජක උතුමන් ලෙසිනි.යමකු ගිහිගෙයින් නික්මුණු පමණින් පැවිද්දෙක් නොවේ.ඒ සඳහා හෙතෙම ගිහියන්ට අනුගමනය කළ නොහැකි වෙනම ශික්ෂා මාර්ගයකට පිවිසිය යුතුම ය.

පූජකයෝ ද ගිහි සහ පැවිදි යනුවෙන් කොටස් දෙකකි.බුද්ධ කාලීන භාරත පූජකත්වය පදනම් කර ගත් ආගමික සම්ප්‍රදායේ නව පෙරැලියක් ඇති විය.ඒ එතෙක් මුල් බැස ගත් බ්‍රාහ්මණ පූජක ආධිපත්‍යය බිඳ දමමින් ආරම්භ වී තිබූ  ශ්‍රමණ සම්ප්‍රදාය මනා පරිනත බවකට පත් වීම ය. ‘ශ්‍රමණ’ යනු යහ සම්ප්‍රදායේ උත්සාහ දරන්නා, පරිශ්‍රමයේ යෙදෙන්නා යනුවෙන් අර්ථ දක්වා ඇත.

එම සම්ප්‍රදායේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ලෞකිකත්වය ඉක්මවා ගොස් අධ්‍යාත්මික පරමාදර්ශයන් ශාක්ෂාත් කර ගැනීම ය. මේ නිසාම ශ්‍රමණයෝ ලෞකික සැප සම්පත් අතහැර ආධ්‍යාත්මික කටයුතු වලට මුල් තැන දෙමින්  සිය සම්ප්‍රදාය පවත්වාගෙන ගිය හ.

එකල භාරතය පුරා මුල් බැසගෙන තිබූ බ්‍රාහ්මණ පූජක සම්ප්‍රදාය විසින් අත්පත් කරගෙන තිබූ ආගමික සේම දේශපාලනික ඒකාධිකාරයට සෛද්ධාන්තිකව පටහැනි ලෙස ක්‍රියාත්මක වීම මෙම ශ්‍රමණ සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණයකි.යාග හෝම ඇතුළු ලෞකික පූජාවන්ට ජනතාව මෙහෙය වූ බ්‍රාහ්මණ පූජක වරුන් එමඟින් රාජකීයන් ගේ උපදේශකත්වයට පත් ව අනියම් ලෙස රාජ්‍ය බලය ද සිය`තට ගත් අවස්ථා දුලබ නොවීය.

නමුත්, ආගම යන හැඳින්වීම යටතේ විස්තර කෙරුණු බමුණු සම්ප්‍රදායේ ඉගැන්වීම් හා එකඟ නොවූ ශ්‍රමණයෝ සතත්වයා හා ලෝකය විශ්ව නිර්මාණික බ්‍රහ්මයකුගේ මැවීමක් යැයි පෙන්වා දුන් බ්‍රාහ්මණ ඉගැන්වීමත්, වේදය, යාගය ආදී නිසරු වත් පිළිවෙතුත් ඉඳුරාම ප්‍රතික්ෂේප කළහ. විවිධ නම්වලින් හැඳින්වුණු ශ්‍රමණ කණ්ඩායම් ඒ අතර සිටියහ.

බුදුරදුන් ජීවමාන කාලයේදී ජීවත් වූ ශ්‍රමණ කණ්ඩායම් දහයක් පිළිබඳ අංගුත්තර නිකායේ සඳහන් වේ. නිගණ්ඨ, ආජීවක, පරිබ්‍රාජක, අචේලක, ජටිල ආදී ශ්‍රමණ කණ්ඩායම් ඒ අතර කැපී පෙනුණහ.ලෞකික සැප සම්පත් කෙරෙන් ඉවත්ව ඉතා සරල,චාම් දිවි පැවැත්මක් යටතේ  තම ආධ්‍යාත්මික ඉලක්කය වෙත් යොමු ව සිටි මොවුහු සාමාන්‍ය ජන සමාජයේ ද ගෞරව බහුමානයට පත් වූ බව පෙනේ.එදා මෙදා තුර බෞද්ධ භික්ෂුව අයත් වන්නේ ද මේ ශ්‍රමණ සම්ප්‍රදායටම ය.

ගිහියන් ජීවත් වන සමාජයේම ජීවත් වුව ද භික්ෂුව ගිහියන් ගෙන් වෙන් කරවන කරුණු කිහිපයක් තිබේ. ධනවත් කම ගිහි සැපයට හා ගෞරවයට වන මුත් ධනය නොමැති කම භික්ෂුව ගේ සැපයයි. මන්දිර වල වාසය කිරීම ගිහියන් ගේ සැපයට හා ගෞරවයට හේතු වන මුත් චාම් ගොඩනැඟිලි තුළ වැඩ විසීම භික්ෂුව ගේ සැපයට හා ගෞරවයට හේතුවෙයි.

අද බෞද්ධ විහාරාරාම හැඳින්වීම පිණිස යොදන ‘පන්සල’ යන්නෙහි පාලි ස්වරූපය පන්න සාලා වන අතර එහි අරුත වනුයේ අතු පැල යන්න ය. භික්ෂුන් ගේ සිව් පසයට අයත් වන ආරාම හෙවත් සේනාසන පිළිබඳ විවරණ වලදී ද භාවනානුයෝගීව වැඩ විසීම සඳහා ආරන්‍ය හෙවත් වන උයන්, රුක්ඛ මූල හෙවත් දැවැන්ත වෘක්ෂ මූල ශූන්‍යාගාර හෙවත් ජන ශූන්‍ය ස්ථාන ආදිය සම්බන්ධයෙන් බුදුන් විසින් කරන විස්තර කිරීම් කච්චායන ගොත්ත ආදී සූත්‍ර දේශනා මගින් අනාවරණය කර ගත හැක.

පිරිස් බලය ගිහියාට සැපයක් හා ගෞරවයක් ලෙස සැළකුණ ද භික්ෂුවගේ සැපය වනුයේ හුදකලාව ය. කාර්ය බහුලත්වය ගිහියා ගේ සැපයට හා ගෞරවයට හේතුවකි.

එහෙත්, භික්ෂුව ගේ සැපයට හා ගෞරවයට හේතු වනුයේ විවේක බුද්ධියයි. විචිත්‍රත්වය යනු ගිහියන් ගේ සැපයට හා ගෞරවයට හේතුවන මුත් භික්ෂුව ගේ සැපයට හා ගෞරවයට හේතු වනුයේ සරල හා චාම් බව ය.

නගර වාසය ගිහියන්ගේ සැපයට හා ගෞරවයට ඉවහල් වන්නකි. නමුත්, භික්ෂුන් ගේ සැපයට හා ගෞරවයට හේතු වනුයේ ග්‍රාම වාසය හෝ වන වාසයයි.ඒ අනුව ගිහි ජීවිතයෙන් ශ්‍රමණ ජීවිතයකට පත් වීම යනු ලෝකයකින් තවත් ලෝකයකට මාරු වීමක් බව පැහැදිලිවම කිව හැකි ය.

ගිහි ජීවිතයෙන් ශ්‍රමණ ජීවිතයට මාරුවන භික්ෂුව බොහෝ විට තම ගිහි නම පවා වෙනස්කර ගනු ලබනුයේ පැවිදි ජීවිතයේ නවතාවය භුක්ති විඳිනු පිණිස ය. ඉන්පසුව භික්ෂුවට තම ඥාති මිත්‍රාදීන් සමඟ පෙර පැවැති සබඳතා එලෙසින්ම පවත්වා ගෙන යාමේ ශාසනික අවසරයක් නැත.

පැවිදි වීමෙන් පසු නිතර ගම් බිම් බලා යාම භික්ෂුව පිවිස හිඳින ශ්‍රමණ සම්ප්‍රදායට අයත් නොවේ. ඒ සඳහා බෞද්ධ සාහිත්‍යයෙන් උකහා ගත හැකි හොඳම නිදසුනක් වනුයේ සැරියුත් මහ රහතන් වහන්සේ ය.

උන් වහන්සේ පැවිදි වීමෙන් පසු තම මෑණියන් වෙසෙන නිවසට වැඩම කළේ පිරිනිවන් පානා දිනයේ පමණි. නමුදු, යම් භික්ෂුවකගේ දෙමාපියන් වියපත් ව අබල දුබලව අසරණව වෙසේ නම් තමන්ට ලැබෙන පිණ්ඩපාතයෙන් ඒ දෙමාපියන් පෝෂණය කිරීමේ විශේෂ අවසරයක් බුදුන් වහන්සේ විසින් භික්ෂුන්ට ප්‍රදානය කොට තිබේ.

භික්ෂුව යන වදනේ සම්භවය ‘භික්ෂා’ යන්න පදනම් ව ඇති වූ බවක් පෙනෙයි.මෙහි ‘භික්ෂා’ යන්නෙහි සිංහල අරුත සිඟමන යන්න ය. එහෙත්, මෙය අප ව්‍යවහාරයේ එන ‘යාචක’ යන සිඟමන් යදින්නන් හැඟවෙන වදන නොවේ.එය බෞද්ධ අබෞද්ධ සෑම දහමකටම පොදු ශ්‍රමණ වෘතයකි.

භික්ෂුව ගිහියන්ගෙන් යැපිය යුතු මුත් ඒ සම්බන්ධ කිසිවක් ඉල්ලා සිටීමට භික්ෂුවට ශාසනික අවසරයක් නැත.කෙටියෙන් කිවහොත් චීවර,පිණ්ඩපාත, සේනාසන ගිලානප්‍රත්‍ය යන සිව්පසය උදෙසා ගිහියන්ට බලපෑම් කිරීමට භික්ෂුවට ශාසනික අවසරයක් නැත. එමෙන්ම තමන් සතුව ඇතැයි පැවසෙන උතුම් බව හුවා දක්වමින් භික්ෂාවේ යෙදෙන භික්ෂුව ‘පාරාජිකා’ නම් වන බරපල ශාසනික වරදට නතු වෙයි. බෞද්ධ අටුවා ග්‍රන්ථවල දැක්වෙන අන්දමට හිස නොමැති මිනිසකුට ජීවත් විය නොහැකි ලෙසින් පාරාජිකා වූ භික්ෂුවට ශාසනික පැවැත්මක් නොමැත.

මෙහිදී යම් භික්ෂුවකට තමන් වැඩ වෙසෙන ආරාමයට දාන මානාදිය නොලැබුණහොත් ඒ උදෙසා පින්ඩපාතයේ යාමට සිදු වනු ඇත.එමෙන්ම එහි දී භික්ෂුව ගිහි සමාජය හමුවේ කෙසේ නම් හැසිරිය යුතු ද යන්න පිළිබඳව සංයුක්ත නිකායේ චන්දෝපම සූත්‍රයේ  දක්වා තිබේ.එහි දී බුදුන් ගිහියන් හමුවේ භික්ෂු චර්යාවන් පායන සඳකට උපමා කොට තිබේ.ඒ මෙලෙසිනි.

“මහණෙනි,ගිහියන්ගේ නිවාස වලට යන විට සඳක් මෙන් යා යුතු වෙයි. ඔවුන් ගෙන් කය ඉවත් කරගෙනම , ඔවුන්ගෙන් සිත ඉවත් කරගෙනම යා යුතු වෙයි..දායකයන් හා කුළුපගකම් ශේෂ කොට තබා නොගෙන.

නිරතුරුවම ආගන්තුක වෙසින්ම යා යුතු වෙයි.යම් පුරුෂයෙකු ඉවුරු කඩා වැටුණු ලිඳක් සමීපයට හෝ භයානක කඳු ප්‍රපාතයක් සමීපයට හෝ  ඉවුරු සිඳී ගිය නදියක් සමීපයට ගොස්  කය ඈත් කරගෙනම ඒ වෙතට එබී බලන්නේ යම් සේ ද. ඔබ ද ගිහියන්ගේ නිවෙස් වලට යන විට  පිළිපැදිය යුත්තේ ඒ ආකාරයටම ය” බුදුහු පැහැදිලිවම වදාරති.

ඒ අනුව ගිහි සමාජය හා පවත්වන සකල විධ ඇලීම් ගැටීම් භික්ෂුවට සපුරා තහනම් කොට තිබේ.ඒ තත්වය යටතේ  තමන් ගේ යැපීමට ආහාර ප්‍රමාණවත්ව නොලද හොත් ඒ ගමින් වෙනත් ගමක වැඩ වාසය කිරීමට යාමට ඒ භික්ෂුවට සිදුවනු ඇත. චීවර හෙවත් සිවුරු පිරිකර ද එලෙස දායක කාරකාදීන් වෙතින් නොලැබුණ හොත් ඒ වෙනුවට පාංශු කූලික චීවර සපයා ගැනීමට භික්ෂුව උත්සුක විය යුතු ය. මෙහි පාංශූකූලික යනු ‘පස් තැවරුණු’ යන්න ය.

මේ සම්බන්ධයෙන් අප සමාජයේ බොහෝ දෙනකු දරන අදහස වනුයේ මෙම පාංශුකුලික චීවර යනු අමු සොහොන් වල මළ සිරුරු ඔතා තිබෙන වස්ත්‍ර බව ය. නමුදු, ඒ සම්බන්ධ විනයානුකූල කරුණු විමැසීමේදී එසේ අමු සොහොන් වල මළ සිරුරු ඔතා දමා ඒවා නරක් වීමෙන් පසු පස් නොවූ දළ රෙදි මෙලෙස පාංශූකුලික යනුවෙන් හැඳින්වෙන බව ය.

ශ්‍රමණ සම්ප්‍රදායට අයත් භික්ෂුවකට විහාරාරාම වශයෙන් හෝ දේපල වල හිමිකාරත්වයක් දැරීමට අවකාශයක් නොමැත.  “විලෙන් විල හැරයන හංසයකු මෙන් භික්ෂුව සිවුරු බර පමණක් සහිතව ආරාමයෙන් ආරාමයට යා යුතු ය” යන බුදු ඔවදන මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතුව තිබේ.

ඒ අනුව භික්ෂූන්ට හිමි වන විහාර දේපල වල නීත්‍යානුකූල භාරකාරත්වය බුදුන් ගේ මඟට පරිබාහිර බව ද ඉඳුරාම කිව යුතු ය.

ගිලන්පස යනු රෝගාබාධ ආදියේ දී භික්ෂුන් විසින් ගත යුතු ඖෂධයන්ය. මෙම ඖෂධ අතුරින් ප්‍රාථමික ඖෂධ තමන්ටම තනා ගැනීමේ උපදෙස් බෞද්ධ විනය පිටකයේ භේසජ්ජඛන්ධකය නම් කොටස මගින් ලැබේ.

එහෙත්, ඒවායින් සුවපත් නොවන බරපතල රෝගාබාධ වලදී දායකයන්ගේ ඇප උපකාර මගින් ඒ රෝගවලින් අත්මිදීමට භික්ෂුන්ට පුළුවන. නමුත්, ඒ උදෙසා වුව ගිහියන්ට ආයාචනා කිරීමේ ශාසනික හිමිකමක් භික්ෂුවට නොමැත.

ඒ වෙනුවට කළ හැක්කේ ඒ සඳහා අවකාශයක් ඇති ගමකට වැඩම වීම පමණි.

ගිහියන්ට ධර්මය දේශනා කිරීම භික්ෂුවක ගේ යුතුකමකි. නමුත් භික්ෂුව ගිහියන්ට දම් දෙසිය යුතුමය කියා බුදුන් විසින් කිසිදු විනය ප්‍රඥප්තියක් පනවා නැත. ඊට හේතු වී ඇත්තේ සෑම භික්ෂුවක තුළම ඒ සඳහා වන ධර්ම ඥානය නොතිබීමේ ස්වභාවික අවකාශය බුදුන් වහන්සේ දැන පිළිගෙන තිබීම නිසා ය.

තත්වය එසේ වුව ද ගිහියන් උදෙසා ධර්ම දේශනා කරන භික්ෂුන් දිරිමත් කරවීමක් බුදුන් විසින් සිදු කළ සේම ධර්ම දේශනා කළ යුතු ආකාරය දැක්වෙන ශික්ෂා පද සමුදායක් පැනවීම තුළින් භික්ෂුන් ගේ ධර්ම දේශනා සම්බන්ධයෙන් ශික්ෂා මාර්ගයක් පැනවීමට බුදුන් උත්සුක වී තිබේ.

භික්ෂුන් විසින් ගීත ස්වරයෙන් යම් ලාලිත්‍යයකට අනුව එසේත් නැතිනම් කවි හා ගීත වශයෙන් ‘ඇද පැද’ ධර්මය දේශනා නොකළ යුතු බව ඉන් එක් පැනවීමකි. එමෙන්ම මෙම සියළු ධර්ම දේශනාවල දී එය අසන්නාට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ආකාරයට ඉදිරිපත් කළ යුතු අතර එය තමන් විසින් ප්‍රත්‍යක්ෂ කර ගත් හා පිළිපදින කරුණු මුල් කොට සිදු කරන්නක් ද විය යුතුය.

චන්දූපම සූත්‍ර දේශනාවට අනුව බුදුන් වහන්සේ විශිෂ්ඨතම ධර්ම දේශනා ආදර්ශකයක් ලෙස මහා කාශ්‍යප හිමියන්ගේ දම් දෙසුම් පෙන්වා දී ඇත. මේ අනුව වර්තමානයේ ධර්ම දේශනා  වශයෙන් ඉදිරිපත් වන බොහෝ දෑ නියම ධර්ම දේශනා බවක් නොහැඟෙයි.එමෙන්ම ධර්ම දේශනාව අවසානයේ භික්ෂුන් හට ලැබෙන පිරිකර හෙවත් දහම් පඬුර පිළිබඳ කිසිදු බුද්ධ භාෂිතයක් නොමැති අතර එය ද  පසුකාලීනව ගොඩ නඟාගත් ජන සම්ප්‍රදායක් බව කිව යුතු ය.

පූජක යන වදනේ ප්‍රධානතම නිරුක්තියක් වනුයේ පූජා පවත්වන්නා යන්නය.එහෙත්, භික්ෂුව හඳුන්වන “පූජ්‍ය” යන්නෙහි අරුත ඊට ඉඳුරාම වෙනස් ය.එහි අරුත වනුයේ පිදුම් ලබන්නා යන්න ය.නමුදු අද අප රටේ බොහෝ භික්ෂූන් වහන්සේ ලා අනේක විධ වූ පූජා පවත්වත්.ඒ අතර ස්ථූප වලට සිවුරු ඇන්දවීම,යම් යම් ද්‍රව්‍ය ලක්ෂ ගණනින් දාගැබ් විෂයෙහි පූජා කිරීම ශීඝ්‍රයෙන් වර්ධනය වන බවක් දක්නට ලැබේ.

ඒ අතරේ අධිෂ්ඨාන පූජා,ආශීර්වාද ආදී නරුම නම් වලින් හැඳින්වෙන මිනිසාගේ ලෞකික අරමුණු ශාක්ෂාත් කෙරෙන ශ්වේතාභිචාර හෙවත් ශාන්ති කර්ම සිදු කිරීම කෙරෙහි ද වත්මන් භික්ෂු සමාජය තුළ විශේෂ නැඹුරුවක් පවතින බව පෙනේ.

ආර්ථිකමය වශයෙන් ඉමහත් වාසි සැළසෙන බව පෙනෙන මෙම නරුම සම්ප්‍රදායන් පිළිබඳව මූලික බුදු සමයේ කිසිවක් සඳහන් නොවේ.

නමුදු පසු කාලීන ව ගොඩ නැඟුණු බෞද්ධ සාහිත්‍යයෙන් උපුටා ගැනුණු ඇතැම් කරුණු අනවශ්‍ය ලෙස හුවා දක්වමින් හා විපරීත කරමින් සිදුවන මෙම ක්‍රියා පූජකයන්ගේ නෛසර්ගික උරුමයන් වන අතර ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ඒවාට භික්ෂූන් ඒවාට නතු වීම බුදු දහමේ විශිෂ්ඨත්වයට බරපතල අයුරින් හානි සිදු කිරීමක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.

කදුරුපොකුණේ සුමංගල හිමි

එතෙර - මෙතෙර