“ආගමික පොප් ගී” ගයන ඉන්දීය පුංචි කෝකිලාවිය

ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසරන්නෙක් නම් YouTube අඩවිය ඔස්සේ මේ පවසන්නට යන තරුණිය දැක තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉස්ලාමීය තරුණියක වන ඇය නමින් නේහා නාස් ය. 2001 වසරේ උපන්, දැනට 23 හැවිරිදි වියෙහි පසු වන ඇය ඉස්ලාමීය ආගමික ගීත විශේෂයක් වන ‘ක්වාලි’ ගායනයට පුදුමාකාර හැකියාවකින් යුක්තය. එමෙන්ම ක්වාලි ගී ගායනයට එක් වූ ලාබාලතම තරුණියක් අතරින් එක් අයකු ලෙස ද ඇය පිළිබඳ සඳහන් කළ හැකිය.

සාමාන්‍යයෙන් ඉස්ලාමීය කාන්තාවන් කරළියට පැමිණීම සාපේක්ෂ වශයෙන් දකින්නට හැක්කේ ඉතා අවම මට්ටමකය. එයට හේතුව අප දන්නා පරිදි ඉස්ලාම් දහම තුළ කාන්තාවන් දැඩි පාලනයකට ලක් කර සිටීම වන්නට පුළුවන. නමුත් මේ සීමා මායිම් බිඳ දමා ඉදිරියට පැමිණිය කාන්තාවන් නැත්තේම නොවේ. ඇතැම් කාන්තාවන් ඉස්ලාම් සම්ප්‍රදායයන් අතික්‍රමණය කරමින් තමාට රිසි අයුරින් ලෝකය ඉදිරියේ පෙනී සිටි අතර ඇතැමුන් ඉස්ලාමීය සම්ප්‍රදාය තුළ සිටිමින් ලෝකය හමුවට පැමිණ තිබේ. මේ අතරින් නෙහා නාස් අයත් වන්නේ දෙවැනි කාණ්ඩයටය. භක්තිමක් ඉස්ලාමීය තරුණයක වන ඇය සිය සම්ප්‍රදාය තුළ සිටිමින් ගායන ලෝකය දිග්විජය කරමින් සිටිනු දකින්නට හැකිය.

ඉස්ලාමීය සම්ප්‍රදාය තුළ පවා කාන්තාවක් ඉදිරියට පැමිණෙන්නේ නම් එයට ශක්තියක් ලෙස සියලු අභියෝගවලට මුහුණ දෙන කිසිවකු හෝ එකී කාන්තාව පසුපස සිටිය යුතුය. නේහා නාස් පසුපස සිටින්නේ ඇගේ පියා ය. නේහා නාස් ගීත ගායනට යම් දක්ෂතාවක් පෙන්නුම් කරන බව කුඩා කාලයේ දී පටන් පෙන්නුම් කළ බැවින් ව්‍යාපාරිකයකු වූ ඇගේ පියා ඇයව සංගීත ක්ෂේත්‍රය වෙත යොමු කළ බව පෙනේ.

ඉස්ලාමීය ආගමික ගී සම්ප්‍රදායයක් වන ක්වාලි 20 වැනි සියවසේ අග භාගයේ දී පමණ බිහි වූ සංගීත සම්ප්‍රදායයක් ලෙස සැලකේ. සුෆි සම්ප්‍රදායට අයත් සංගීත ශෛලියක් වන මෙය පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ආදී රටවල්වල උර්දු බසින් ගායනා කෙරේ. සෑම ගීතයක්ම අඩංගු වන්නේ ඉස්ලාමීය ආගම පසසා ගැයෙන ගැයුම්ය. සාමාන්‍යයෙන් ආගමික ගීත බොහොමයක් තුළ ඇත්තේ නීරස බවක් වුව ද එම බාධකය බිඳලීමේ අරමුණින් ක්වාලි ලොවට බිහි වූවා වන්නට ද පුළුවන. හින්දි බසින් ගැයෙන ආගමික භක්තිය දනවන ගී විශේෂයක් වූ ගසල්වල ආභාෂය ද මෙයට ලැබී තිබෙන බවක් පෙනේ. එමෙන්ම ක්වාලි හඳුන්වනු ලබන්නේ ‘ආගමික පොප්’ යන අන්වර්ථ නමිනි. මෙහි ‘පොප්’ යන්න සඳහන් කර ඇත්තේ ‘ජනප්‍රිය’ යන්න හැඟවීම සඳහාය. එනම් එහි අරුත ‘ජනප්‍රිය ආගමික ගීත‘ යන්නය. නේහා නාස් ද සිය ගායන හැකියාව වෙනත් ශෛලියකට යොමු නොකොට භක්තිය උදෙසාම යොමු කළ බව පෙනෙන්නට තිබේ. ඇතැම් විට තරුණියක ලෙසින් ගායන ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්නට එය ඇයට ඉස්ලාමීය සම්ප්‍රදාය තුළින් ලැබුණු නිල අවසරයක් ලෙසින් ද සඳහන් කළ හැකිය.

ක්වාලි ගීත ගායනයේ දී එය තුළින් ප්‍රසංගාත්මක බවක් ද ගීත ගායනය නරඹන්නාට මෙන්ම ගීත අසන්නාට ද හැඟිය යුතුය. නොඑසේ නම් එය ක්වාලි ගීතයක් වන්නේ නැත. ඉස්ලාම් භක්තිකයාට එම ගීතය දැනෙන්නට පටන් ගන්නේ එවිටය. නේහා නාස් මේ අපූරු හැකියාව මැනවින් හිමි කර ගත් ගායන ශිල්පිනියකි. ඇය සිය ගීත ගායන තුළදී වේදිකාව මත යම් ආකාරයක රංගනීය ස්වභාවයක් ද විදහා දක්වයි. ක්වාලී ගීත ක්ෂේත්‍රය තුළ ඇය මහත් සේ ජනප්‍රියව ඇත්තේ මේ නිසාම විය යුතුය. ඇගේ YouTube නාලිකාවේ අඩංගු ඇගේ ගායනයන් සම්බන්ධව අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක් මේ කරණය ඉස්මතු කර දක්වයි.

ක්වාලි ගීත ක්ෂේත්‍රයේ පුරෝගාමීන් අතර ප්‍රකට නමක් දිනාගෙන ඇති. මොහොමඩ් අසිස් සහ ෆාටේ අලි ඛාන් ඇයට අවශ්‍ය සංගීත දැනුම දායාද කළ ගුරුවරුන් අතර සුවිශේෂී තැනක පසුවෙයි. නේහා නාස් පවසන්නේ සිය ගායනාවන්ගේ මූලික අරමුණ වන්නේ දෙවියන් සමග ආධ්‍යාත්මික සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට මග විවර කර ගැනීම බවය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

රසගඟුල