ඇත්තටම ඇඟේ ලේ අඩු වෙනවද?

vinivida

අපේ ශරීරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තිබෙන දෙය රුධිරයයි. රුධිරය මගින් සිදුවන්නේ කුමක්ද ? එය අපට වැදගත් වන්නේ ඇයි ?
ශරීරය පුරාම රුධිරය තිබුණත් ඒවා පවතින්නේ නහර පද්ධතියක් තුළ ය. අපේ මුළු ශරීරය පුරාම තිබෙන රුධිර ප්‍රමාණය ගැන සැලකුවහොත් එය සාමාන්‍යයෙන් ලීටර් පහකි.
හෘදය වස්තුවෙන් රුධිරය තල්ලු කරන විට මහා ධමනියෙන් පිටවන රුධිරය ඉන්පසු නහර දිගේ ගොස් ගසක අතු බෙදෙන ආකාරයට බෙදී යන කුඩා නහරවලට ගමන් කරයි. එතැනින් තවත් ඉතා සියුම් කේශනාලිකාවලටද ගමන් කරන අතර මේ අයුරින් ශරීරයේ අස්සක් මුල්ලක් නෑරම රුධිරය ගමන් කරනු ඇත. අපගේ පියවි ඇසටවත් නොපෙනෙන මෙවැනි ඉතා සියුම් වූ කේශ නාලිකා කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් අපේ ශරීරය තුළ පවතී. මෙලෙස ශරීරය පුරා ගමන් කරන රුධිරය නැවත ආපසු හෘදය කරා පැමිණෙන්නේ එතරම් ශක්තිමත් නොවූ ශිරා නමින් හඳුන්වන නහර පද්ධතියක් මගිනි. රුධිරය ආපසු මෙලෙස හෘදයවස්තුව කරා පැමිණීමේදී මස්පිඬු උපකාරී වේ. අපේ සමට යටින් නිල් පැහැයෙන් දිස්වන්නේ මේ ශිරා ය. නහර ගැටගැසීම යනු ශිරා ගැට ගැසීමයි. අප ක්‍රියාකාරී නොවී එකම තැන සිටියොත් ශිරාවල ලේ කැටියක් සෑදීමේ අවදානමක් ඇත. එක දිගට පැය ගණනක් වාඩිවී සිටින විට දෙපා ඉදිමෙන්නේ මේ ශිරාවල ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ය.
රතු රුධිරාණු සහ සුදු රුධිරාණු නම් සෛල වර්ගවලට අමතරව රුධිරයෙහි පට්ටිකා, විවිධ ප්‍රෝටීන් වර්ග, ලුණු, සීනි, ජලය, යකඩ, කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම්, කොපර් ආදී ඛණිජ ලවණ, විටමින්, හෝමෝන, අප ගන්නා ඖෂධ ආදී වූ බොහෝ දේවල් යම් යම් ප්‍රමාණවලින් දියවී පවතී. මේවායේ අඩුවීමක් හෝ වැඩිවීමක් පැවතියහොත් එය කිසියම් රෝග තත්ත්වයක් මත සිදුවන්නකි.
රුධිරය මෙලෙස අපේ ශරීරය පුරා ගමන් කරන්නේ නිකන්ම නොවේ. ඒ සමඟින් විවිධ දේවල් ශරීරය පුරා ගෙන යනු ලබයි. එසේ කරන්නේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය තැන්වලට අවශ්‍ය දේ සැපයීම සඳහා ය. නිදසුනක් ලෙස අප ගන්නා ආහාර ශරීරයට අවශ්‍ය වන ආකාරයට ආමාශය සහ කුඩා බඩවැල් තුළ සකස් කරනු ලබයි. ඉන්පසු ඒවා ශරීරයේ පෝෂණය සඳහා මොළය ඇතුළු සියලු ඉන්ද්‍රියයන්ට බෙදා හරින්නේ රුධිරයයි.

ආහාරයෙන් නිපදවන ග්ලූකෝස් රුධිරය විසින් සෛලවලට ලබා දුන් පසු එහිදී නැවත සකස් කිරීමක් සිදුවේ. ආහාර සකස් කිරීමට අපට ඉන්ධන අවශ්‍ය වන පරිදි සෛලවලටද මෙම ආහාර සකස් කිරීම සඳහා ඔක්සිජන් නැමැති ඉන්ධනය අවශ්‍ය වේ. මෙලෙස ඔක්සිජන් යොදා ගනිමින් සෛලවලින් සාදනු ලබන ආහාරය වන්නේ ශක්තියයි. මෙසේ ශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය ඔක්සිජන් මුළු ශරීරය පුරාම ගෙනයන්නේ රුධිරයයි.
ශරීරය වර්ධනය කිරීමට අවශ්‍ය වන හෝමෝන වර්ග කිහිපයක් ඇති අතර එම හෝමෝන නිපදවන ග්‍රන්ථි ශරීරයේ විවිධ ස්ථානවල පිහිටා ඇත. එම ග්‍රන්ථිවලින් නිපදවන හෝමෝන ශරීරයේ සෛලවලට ගෙනයන්නේ ද රුධිරයයි.
මෙලෙසින් සෛලවලින් අවශ්‍ය ලෙස ආහාර සකස් කරගෙන ඉතිරිවන කොටස් අපද්‍රව්‍ය ලෙස ඉවත දමනු ලබයි. එම අපද්‍රව්‍ය වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව සහ යූරියා නැමැති කුඩු විශේෂයකි. කාබන්ඩයොක්සයිඩ් වායුව ප්‍රශ්වාස වාතය ලෙස ශරීරයෙන් පිට කිරීම සඳහා පෙනහලු කරා රැගෙන යන්නේත් යූරියා මුත්‍රා ලෙසින් පිටවීම සඳහා වකුගඩුවලට ගෙනයන්නේත් රුධිරයයි.
රුධිරය මගින් කෙරෙන කාර්යයන් මෙපමණක් නොවේ. නමුත් අප ඊළඟට කතා කරන්නේ ශරීරයේ රුධිරය අඩුවන හේතු පිළිබඳවයි.
ඔබ රෝගාතුර වී වෛද්‍යවරයකු වෙත ගිය ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරයා ඔබේ දෑස යට සම මඳක් පහතට කර ඇස් යට පරීක්ෂා කළ අවස්ථා පිළිබඳ ඔබට කොතෙකුත් අත්දැකීම් තිබෙන්නට පුළුවන. වෛද්‍යවරුන් එසේ කරන්නේ ඔබේ ශරීරයේ ලේ අඩු ද යන්න දැන ගැනීමට ය.
” ශරීරයේ ලේ අඩු යි” යන්නෙහි අරුත ඔබට ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට ඔබේ ශරීරයේ රුධිරය නැති බවක් නොවේ. ශරීරයේ ලේ අඩු වීම යනුවෙන් අදහස් කරන්නේ රුධිරයේ රතු සෛලවල හිමොග්ලොබින් අඩු වීමයි.

එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව කුමක්ද ?
ශරීරයේ රුධිරය අඩුවීමට විවිධ හේතු තිබේ. එය මේ අයුරින් කොටස් තුනකට බෙදා දැක්වීමට පුළුවන.

1. ලේ ගැලීම
ඔසප් වීමේදී රුධිරය වැඩියෙන් පිටවීම , අර්ශස් රෝගය, කොකු පණු රෝගය වැනි තත්ත්වයන්වලදී එසේ ලේ ගැලීම සිදු විය හැකිය.

2. ශරීරයේ ලේ නිපදවීම අඩුවීම
යකඩ සහ විටමින් බී පෝෂණ ඌනතා, විවිධ විෂබීජ සහ රසායන වර්ග නිසා ඇතිවන විෂ වර්ග, ජාන සම්බන්ධ රෝග, ලියුකීමියා වැනි ඇටමිදුළුවල හටගන්නා විවිධාකාර රෝග ආදිය නිසා ශරීරයේ ලේ නිපදවීම අඩු වනු ඇත.

3. රුධිර සෛල බිඳීයාම
මෙසේ වීමට හේතු රැසක් බලපායි . ඒවා අතරින් කිහිපයක් මෙසේය.
* රතු රුධිරාණුවල හැඩය වෙනස්වීම
* රතු රුධිරාණු සෛලවල එන්සයිම නැති වීම
* වැරදි හිමොග්ලොබින් වර්ග රුධිරයේ නිෂ්පාදනය වීම හෙවත් තැලසීමියා රෝගය
* මැලේරියා රෝගය
* ආචාර පෙළපාලිවල පැය ගණන් නියුතු වන විට දෙපා තදින් පොළොවේ ගැසීමේදී යටිපතුල්වල සෛල බිඳීයාම
* හෘදය තුළ වෑල් නරක් වන විට යකඩවලින් සෑදූ අලුත් වෑල් ඇතුළු කිරීම
* විෂබීජවලට විරුද්ධව ශරීරයේ නිපදවන ප්‍රතිදේහවලින් ශරීරයේම ඇති රතු සෛලවලට පහර දීම නිසා රතු සෛල බිඳී යාම
මේ සියලුම හේතු අතරින් රුධිරයේ රතු සෛලවල හිමොග්ලොබින් අඩු වීමේ තත්ත්වය ඇතිවීමට බහුල ලෙසම හේතු වන්නේ පෝෂණ ඌනතාවය සහ ඔසප් වීමේදී අධිකව රුධිර පිටවීම යි. මේ හැරුණු විට කොකු පණු රෝගය සහ අර්ශස් රෝගය ද දැක්විය හැකිය .මේ කරුණු හතරම නිසි ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කළ හැකි ඒවා ය.

රුධිරය නිපදවීමේ අඩුකම ඇතිවීම සඳහා ඇටමිදුළුවල රෝග සහ ජාන සම්බන්ධ රෝග ද බලපාන බව ඉහත සඳහන් කළෙමු. මෙම රෝග යථා තත්ත්වයට පත් කිරීම බොහෝ විට අසීරු වෙයි.
විෂබීජ සහ සමහර රසායන ද්‍රව්‍යවලින් ඇතිවන විෂ වර්ග වළක්වා ගත හැකි ඒවාය.
තුන්වන හේතුව ලෙස මෙහි දැක්වූයේ රුධිරයේ රතු සෛල කැඩීයාමේ තත්ත්වයයි. මෙහිදී රතු සෛලවල හැඩය වෙනස් වීම, එනම් බෝල හැඩයක් ගැනීමේ තත්ත්වය සුව කරන්නට ශරීරයේ ප්ලීහාව සැත්කමක් මගින් ඉවත් කළ හැකිය. නමුත් ඉන්පසු ප්ලීහාවෙන් කරනු ලබන කාර්යයන් නතර වන නිසා ජීවිත කාලය පුරා ඒ වෙනුවෙන් ඖෂධ ප්‍රතිකාර ගන්නට සිදු වෙයි.
රුධිරයේ නිපදවෙන ප්‍රතිදේහ මගින්ම රතු සෛලවලට පහර දීම ද ප්‍රතිකාර මගින් පාලනය කිරීමට පුළුවන. එය සුලභ රෝග තත්ත්වයකි. නමුත් රුධිරයේ සෛල කැඩී යාමට බලපාන මෙහි දැක්වූ අනිකුත් හේතු විරල ඒවා වේ.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

සැකසුම – ඉන්දු පෙ⁣රේරා

විනිවිද සායනය