ඇමරිකානු සමාගම් පිඹුරු ග්‍රහණයට නතු වූ යුගදනවි මුව පොව්වාට කුමක් වේද?

ඇමරිකානු සමාගම් කටට වැටුණු යුගදනවි මුව පොව්වාට කුමක් වේද?කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ හිමිකාරීත්වයෙන් 40% ක් ඇමරිකාවේ ෆෝට්රස් එනර්ජි සමාගමට අලෙවි කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ එම විදුලි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු 50% ක කොටස් අයිතියෙන් 40% කි.

2007 වසරේ ඉදිකිරීම් ඇරඹූ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් මෙරට ජාතික පද්ධතියට විදුලිය එක් කෙරුණේ 2008 වසරේ දෙසැම්බර් මස 08 දා සිට ය. දැවිතෙල් මගින් විදුලිය ජනනය කෙරෙන අතර බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන ධාරිතාවය මෙගාවොට් 300 කි. නමුත් තවත් මෙගාවොට් 300 ක බලාගාරයක් දෙවෙන අදියර ලෙස ඉදිකිරීමට නියමිතව පැවැති අතර එය ගල් අගුරු බලාගාරයක් ලෙස ඉදිකිරීමට යෝජනා කර තිබුණි.

බලාගාරයේ දෙවෙන අදියර මුලින් ගල් අඟුරු බලාගාරයක් විය යුතු බවට යෝජනා කෙරුණ ද පසුව එය ස්වභාවික වායු මගින් විදුලිය ජනනය කරන බලාගාරයක් විය යුතු බවට තීන්දු කෙරිණි. දෙවෙනි අදියරේ මෙගාවොට් 300 ඉදිකිරීමෙන් පසුව තාප බලාගාරය ද ස්වභාවික වායු බලාගාරයක් ලෙස පරිවර්තනය කිරීමට නියමිත ය.

යුගදනවි විදුලි බලාගාරයේ පළමු අදියරේ කොටස් හිමිකාරිත්වයෙන් 50% ක් මහාභාණ්ඩාගාරයටත්, 27% ක් සේවක අර්ථසාධක අරමුදලටත්, 18% ක් ලංකා විදුලි සමාගම හෙවත් ලෙකෝ ආයතනයටත්, අයත් වූ අතර 5% ක් LNG HOLDINGS දේශීය ආයතනය සතු විය.

විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ යුගදනවි බලාගාරය ඉදිරිකිරීම් සදහා ලබාගත් ණය මුදලේ සියලු ආපසු ගෙවීම් ගිය වසරේදී නිමා වූ අතර බලාගාරයේ උපයන ආදායම්වල පූර්ණ ප්‍රතිලාභ ගබාගත හැකිව තිබියදී එහි කොටස් විකුණා දැමූ බව ය.

අදාළ කොටස් අත්පත් කර ගත් ඇමරිකානු සමාගම අදාළ කොටස් අත්පත් කර ගත් බවට පළමුවරට පසුගිය බදාදා (22) නිවේදනය කළ අතර එළැඹි ගිවිසුමේ කොටසක් වශයෙන් කෙරවලපිටිය විදුලි බලාගාර සංකීර්ණයට ගෑස් සැපයීමේ හිමිකම තම සමාගමට ලැබෙන බවත්, තවත් මෙගාවොට් 700 ක අතිරේක බලාගාරයක් ස්ථාපිත කරමින් එහි මෙහෙයුම් කටයුතු 2023 වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ සදහන් ය.

මහාභාණ්ඩාගාරය සතු කොටස්වලින් අලෙවි කළ 40% ක කොටස් විකිණීම මගින් ඩොලර් මිලියන 250 ක මුදලක් රජයට හිමි වන අතර රජය පවසන්නේ තවමත් රජයට මෙහි වැඩි කොටස් ප්‍රමාණයක් හිමිවන බව ය.

මේ අතර කොටස් විකිණීමත් සමග රටේ විදුලි පද්ධතියේ සුරක්ෂාව බිද වැටෙන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ ය. විදුලි බලාගාරයක් පෞද්ගලික සමාගමකට හිමිවූවද වැදගත්ම දේ එම බලාගාරයෙන් විදුලිය මිලදි ගැනීම සම්බන්ධයෙන් අත්සන් කරනු ලබන ගිවිසුම් ය. විදුලි ඉංජිනේරු කුමාරවඩු කියා සිටින්නේ අත්සන් කරනා ගිවිසුම ප්‍රකාරව බලාගාරයෙන් විදුලිය මිලදී ගත්ත ද නැති ද මුදල් ගෙවීමට සිදුවන බව ය.

තාප විදුලි බලාගාර මගින් විදුලිය නිපදවීමේදී විශාල මුදලක් වැය වීමත් තාප විදුලි බලාගාරයක විදුලී ඒකකයක මිල රුපියල් 25 ත් 40 ත් අතර සංඛ්‍යාවක් වීමත් යන කාරණා මත ස්වභාවික වායු හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට ශ්‍රී ලංකා රජය ද ලෝකයේ බොහෝ රටවල් මෙන් පියවර ගැනිණි.ඉන් එක් පියවරක් වන්නේ මන්නාරමේ ඉදිකළ සුළං විදුලි බලාගාරය ය.

නමුත් තාප විදුලි බලාගාර තරම් නොවුන ද ස්වභාවික වායු බලාගාරවලින් විදුලිය නිපදවීමේදි ද වැය වන වියදම අධික ය. එම නිසා පුනර්ජනනීය බලශක්තියන්ගෙන් විදුලිය නිපදවන තරම් එහි විදුලිය නිපදවීම ලාබදායක නොවේ.

මෙරට තිබෙන ලාබදායීම විදුලි නිෂ්පාදන ප්‍රභවය වන්නේ ජල විදුලි බලාගාරයන් ය. එහිදී විදුලි ඒකකයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ගෙවන්නේ රුපියල් 3 ක පමණ මුදලකි. ජල විදුලිය උත්පාදනය නොවන අවස්ථාවන්හීදි මුලින්ම ගල් අගුරු බලාගාර වෙත අවධානය යොමු වන අතර එය ද ප්‍රමාණවත් නෙවන විට තාප විදුලි බලාගාර වෙත යොමුවේ. එය ඉතා මිල අධික ය. හොඳ වර්ෂාපතනයක් ඇති මෙම කාලයේදී තාප විදුලි බලාගාරවලින් විදුලිය නිපදවීමක් නොවෙන්නේ ජල විදුලිය ඇති තරම් පවතින බැවිනි.

යුගදනවි බලාගාරය විකිණීමේ ගැටළුව මතු වන්නේ මේ අව්සථාවේදී ය. මන්ද ශ්‍රී ලංකා රජය මෙම බලාගාරය ස්වභාවික වායු බලාගාරයක් බවට පරිවර්තනය කිරීමෙන් පසු එහි නිෂ්පාදනය කරන විදුලියෙන් 70% ක් මිලදී ගත යුතු ය. විදුලිය ලබා නොගත්ත ද විදුලි නිෂ්පාදනයෙන් 70% ක් වෙනුවෙන් මුදල් ගෙවිය යුතු ය.

එක් වසරකදී විදුලි මිල දී නොගෙන සිටියහොත් ලබන වසරේදී එය දෙගුණයක් වී ගෙවිය යුතු වේ. යුගදනවි බලාගාරය විකිණීමෙන් ඩොලර් මිලියන 250 ක් ලැබුණ ද ඩොලර් මිලියන 1000 ක පමණ පාඩුවක් බලාගාරය ඉදිකිරීමෙන් පසුව ශ්‍රී ලංකා රජයට අත්වන බව ය. තවත් තාප විදුලි බලාගාරයක් වන කැළණිතිස්ස බලාගාරය ද ස්වභාවික වායූ බලාගාරයක් ලෙස පරිවර්තනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

යුගදනවි බලාගාරය හා එහි නල පද්ධතිය සකස් කිරීමේ බලය ඇමරිකානු සමාගමට පවරද්දී ස්වභාවික වායු ඒකාධිකාරය ද මෙම බලාගාරයට ස්වභාවික පවරා තිබේ. ඒ අනුව කැලණිතිස්ස බලාගාරයට ද ස්වභාවික වායු නල එලන්නේ මෙම සමාගම මගිනි. මුදල් නොගෙවන ඕනෑම අවස්ථාවක මෙන්ම තමන්ට අවශ්‍ය දේ නොවන ඕනෑම අවස්ථාවක ස්වභාවික වායු සැපයීම නවත් දැමීමේ බලය ඇමරිකාව සතු වන්නේ නිතැතිනි.

රජය සතු ඩොලර් අර්බුදය හේතුවෙන් රට නැටවීමේ බලය වෙනත් රාජ්‍යයන්ට පැවරෙන්නේ නිතැතිනි. ජාතික විදුලිබල පද්ධතිය අනතුරේ හෙළීමෙන්ම රටට දැඩි පාඩුවක් කෙරෙන මෙම ගිවිසුමට එරෙහිව වෘත්තීය සංගම් සිය විරෝධය පළකරමින් සටනකට සුදානම් වෙයි
රටේ ජාතික සම්පත් විකුණනවාය කියා බලය පැමිණි මේ රජය තුළ ජාතික සම්පත් රැක ගැනීම වෙනුවෙන් එදා කෑ කොස්සන් ගැසූ පිරිසක් සිටිති. ඔවුන් දැන් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රටට පැමිණි පසු සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බව ය.

විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් එකතු වී ඇති ආණ්ඩුවේ සුළු පක්ෂ පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂ හමුවී මේ ගැන කතා කර තිබුණ ද එය සාර්ථක නොවූ බව ඔවුන් ජනාධිපතිවරයා හමුවී මේ ගැන කතා කරන බව පැවසීමෙන්ම පෙනී යයි.

ඇමරිකානු සමාගමක් සමග ගිවිසුම අත්සන් කර හමාර බැවින් දැන් එය වෙනස් කළ හැකි ද යන්න ගැටළු සහගත ය.සම්පූර්ණයෙන් ගිල අවසන් ද කියා හරි හැටි කීමට නොහැකි මුත් දැන් යුගදනවි මුව පොව්වා ඇමරිකානු සමාගම් පිඹුරු ග්‍රහණයට නතු වී අවසන් ය. නමුත් අවසානයේ මෙම පිරිස කුමක් හෝ කාරණයක් කියා අතපිස දා ගන්නවා නොඅනුමාන ය.

මන්ද යත් රජයෙන් ඉවතට පැනීමෙන් තම දේශපාලන ඉදිරි ගමනට”මාරක දසාවක්” එළඹෙන බව ඔවුන් හොඳාකාරවම දන්නා බැවිනි. ඔවුන්ගේ සටන එසේ දියාරු වුවද වෘත්තීය සංගම් හි සටන එසේ දියාරු නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

මන්ද වරාය නැගෙනහිර ජැටිය විකිණිමේ සටන ද ඔවුන් සාර්ථකව නිමකළ බැවිනි.

සටන ජයගත නොහැකි වුවහොත් එය රටේ අවාසනාව තව තවත් තීව්‍ර වනවා හැර අනෙකක් නොවනු ඇත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර