කෝටි 3,700 කට කිට්ටු මුදලක් වැය කර පැවැත් වූ ඉන්දියාවේ සුපිරි විවාහ උත්සවයක්

රුපියල් කෝටි 3,700 කට සමාන මුදලක් වැය කර පවත්වන ලද විවාහ උත්සවයක් ගැන කිවහොත් එය බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට අමාරු කාරණයක් විය හැකිය. නමුත් මේ කතාව සත්‍යයකි. මෙම ඇදහිය නොහැකි විවාහ උත්සවය පවත්වනු ලැබ තිබුණේ ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුල විසිනි.

මෙය විවාහ උත්සවයක්ම නොව ඊට කලින් පවත්වනු ලබන පූර්ව විවාහ (Pre Wedding) උත්සවයකි. එහි ‘මනාලයා’ වූයේ මුකේෂ් අම්බානි ගේ බාල පුතා වන අනන්ත් අම්බානි ය. ‘මනාලිය’ වූයේ රාධිකා මර්චන්ට් නැමැති තරුණිය යි. ඔවුන්ගේ පූර්ව විවාහ උත්සවය දින තුනක් තිස්සේ පැවැත්වුණු අතර ඒ මාර්තු 1 වැනි දා සිට 3 වැනිදා දක්වා ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට ඒ සඳහා වැය කර තිබූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120 කට (ලංකා රුපියල් කෝටි 3,700 කට) ආසන්න ය.

ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ජාම්නගර් නැමැති ප්‍රදේශයේ පිහිටි අක්කර 3,000 ක පමණ විශාල වතුයායක පවත්වන ලද මෙම උත්සවයට 1,200 ක පමණ ආරාධිතයන් පිරිසක් ඇරයුම් ලබා සිටි බව පැවසේ. ඒ අතර ලෝකයේ ප්‍රසිද්ධම පුද්ගලයෝ රැසක් ද සිටියහ. බිල් ගේට්ස්, මාක් සකර්බර්ග්, හිලරි ක්ලින්ටන්, ඉවන්කා ට්‍රම්ප් වැනි අය ද, ඉන්දියාවෙන් අමිතාභ් බච්චන්, ෂාරුක් ඛාන්, සචින් තෙන්දුල්කාර්, මහේන්‍ද්‍ර සිං දෝනි වැනි අය ද මෙම උත්සවයට සහභාගි වූහ. මෙය තමා සහභාගි වූ පළමු ඉන්දියානු විවාහ උත්සවය බව බිල් ගේට්ස් සිනාමුසු මුහුණින් යුතුව පවසා තිබිණි. මෙම සංචාරය අතර ඔහු අගමැති නරේන්‍ද්‍ර මෝදි ද හමු වී සාකච්ඡා කළ බව සඳහන් විය.

ප්‍රධාන උත්සවයට කලින් මෙම ප්‍රදේශයේ වැසියන් 50,000 ක් වෙනුවෙන් සුවිශේෂී භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබූ අතර මුකේෂ් අම්බානි, අනන්ත් සහ රාධිකා පෞද්ගලිකවම ඊට සහභාගි වී සිටියහ. මෙම පූර්ව විවාහ උත්සවය සඳහා ආහාර පිලියෙල කිරීමට කෝකියන් 21 දෙනෙකුගේ කණ්ඩායමක් සම්බන්ධ වූ බව ද පැවසේ.

ලෝකයේ ජනප්‍රියම ගායිකාවන වන රියානා ද මෙහි ගී ගැයීමට ඇරයුම් ලබා සිටියාය. ඇයට ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5 කට (ලංකා රුපියල් කෝටි 153 කට) ආසන්න බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මෙම වාර්තාවල තවදුරටත් සඳහන් වූයේ ඇය සංගීත ප්‍රසංගයක්ම පවත්වා ඇති බවයි. ඊට ගීත 19 ක් ඇතුළත් වූ බව ද පැවසිණි.

“මා අද මෙහි පැමිණ සිටින්නේ අනන්ත් සහ රාධිකා වෙනුවෙනු යි. මට ආරාධනා කිරීම ගැන ස්තුතියි. ඔබ දෙදෙනාගේ මේ එක් වීමට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ! සියලු දේ සාර්ථක වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මගේ සුබ පැතුම් !” යයි එම ප්‍රසංගය අතර ඇය පවසා තිබුණාය. මුකේෂ් අම්බානි, අනන්ත්, රාධිකා ඇතුළු පවුලේ බොහෝ දෙනෙකු ද ඇයගේ සංගීත වේදිකාවට නැග ප්‍රීති වන අයුරු දැක්වෙන ඡායාරූප ද මාධ්‍ය තුළ පළ වී තිබිණි.

අම්බානි පවුල මෙතරම් දැවැන්ත පූර්ව විවාහ උත්සවයක් පැවැත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2018 වසරේ මුකේෂ්- නීතා යුවළගේ දියණිය ඊෂා අම්බානි ගේ පූර්ව විවාහ උත්සවය වෙනුවෙන් ද ඇමරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් වැය කර තිබිණි. එම අවස්ථාවේ ගී ගැයීම සඳහා තවත් සුපිරි ගායිකාවක වන බියොන්සේ ද පැමිණියාය. ඇයට ද විශාල මුදලක් ගෙවන ලද බව සඳහන් විය.

අනන්ත් අම්බානි මුකේෂ් අම්බානිගේ බාලම පුත්‍රයා යි. මුකේෂ් අම්බානිට දරුවෝ තුන් දෙනෙක් වෙති. වැඩිමල් දෙදෙනා ආකාශ් සහ ඊෂා ය. ඔවුන් දෙදෙනා නිවුන්නුන් වීම ද විශේෂත්වයකි. මුකේෂ් අම්බානි විවාහ වී සිටින්නේ නීතා අම්බානි සමග යි.

28 වැනි වියේ පසුවන අනන්ත් සමග විවාහ වීමට සිටින රාධිකා මර්චන්ට් ද ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික පවුලක සාමාජිකාවකි. ඔවුන් ගේ පවුල ඖෂධ නිශ්පාදනයට සම්බන්ධ බව සඳහන් වේ. 29 හැවිරිදි රාධිකා නර්තනයට ද දස්කම් දක්වන්නියකි.

අනන්ත් සහ රාධිකා දෙදෙනා ගේ පූර්ව විවාහ උත්සවය පසුගිය දා පැවැත්වුණත් විවාහ උත්සවය පැවැත්වෙන්නේ තව මාස කිහිපයකින් බව සඳහන් වේ. මාධ්‍ය වාර්තාවල සඳහන් වන අන්දමට එය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුලි මස 12 වැනි දින යි. එම උත්සවය පැවැත්වෙන ස්ථානයක් ගැන තවම සඳහන් නොවේ.

මේ වනවිට ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ වත්කම ඇ.ඩොලර් බිලියන 113 කට ආසන්න වේ. බලශක්ති, රෙදිපිලි, විදුලි සංදේශ වැනි ව්‍යාපාරවල ඔහුගේ රෙලයන්ස් ඉන්ඩස්ටී්‍රස් සමාගම නිරත වෙයි. මේ වනවිට 66 වැනි වියෙහි පසුවන ඔහු ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ පසු වෙයි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්