තායිවානයේ ප්‍රබලම භූමිකම්පාවකින් පසුත් මරණ සංඛ්‍යාව අවම වීමේ රහස

පසුගිය බදාදා (03) තායිවානයේ සිදු වූ ඒකක 7.4 ක ප්‍රබලත්වයකින් යුතු වූ භූමිකම්පාව සැලකෙන්නේ වසර 25 කට පසු එහි සිදු වූ ප්‍රබලම භූමිකම්පාව ලෙසිනි. මෙයට පෙර තායිවානයේ මෙවැනි ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබුණේ 1999 වසරේ යි.

බදාදා භූමිකම්පාව ඉතා ප්‍රබල එකක් වුවත් මේ වනවිටත් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 10 ක් ලෙසිනි. එය බොහෝ දෙනෙකු විමතියට පත් කරන්නක් වූයේය. භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් බව ද සඳහන් විය. එවැනි ජනාකීර්ණ ප්‍රදේශයක මෙතරම් ප්‍රබල භූමිකම්පාවකින් පසු මරණ සංඛ්‍යාව අවම තත්ත්වයක පැවතීම සැබැවින්ම කුතුහලය දනවන්නකි.

මේ පිලිබඳ විශේෂඥයන් පවසන්නේ තායිවානය භූමිකම්පා සඳහා කෙතරම් සූදානමකින් පසුවන්නේ ද යන්න මෙයින් පැහැදිලි වන බවයි. තායිවාන දූපත පිහිටා ඇත්තේ භූමිකම්පා බහුලව සිදුවන කලාපයක ය. ඒ නිසා එවැනි ආපදාවන් සඳහා සූදානමින් සිටීමේ වැදගත්කම ඔවුහු අවබෝධ කරගෙන සිටිති. ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා තිබේ. විශේෂයෙන් ගොඩනැගිලි ඉදි කිරීමේ දී අනුගමනය කළ යුතු දැඩි කොන්දේසි තායිවානයේ ක්‍රියාත්මක වන බව සඳහන් වේ. මෙවර භූමිකම්පාවේදී ද උස් ගොඩනැගිලි ඇල වී යම් හානි සිදුව තිබෙනු දැකිය හැකි වුවත් ඒවා බිමට සමතලා වී තිබෙන ආකාරයේ දසුන් දකින්නට ලැබුණේ නැත. මේ තත්ත්වය නිසා ගොඩනැගිලිවලට යට වී මිය ගිය පිරිස බෙහෙවින් අඩු විය. බොහෝ රටවල ජනාකීර්ණ ප්‍රදේශවල සිදුවන භූමිකම්පාවල දී විශාල පිරිසක් මිය යන්නේ කඩා වැටෙන ගොඩනැගිලිවල සුන්බුන්වලට යට වීමෙනි.

භූමිකම්පාවක් සිදු වු පසු අනුගමනය කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ඉතා හොඳින් සැලසුම් කර ඇති බව ද සඳහන් වේ. හානියට පත් ගොඩනැගිලිවලින් ආරක්‍ෂිතව මිනිසුන් පිටතට ගැනීම, එයින් පසු ඔවුන් ආරක්‍ෂිතව රඳවා තැබීම වැනි කටයුතු මේ ආකාරයෙන් විධිමත්ව සැලසුම් කර තිබේ.

1999 වසරේ සිදු වූ භූමිකම්පාවෙන් 2,400 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් විය. 11,000 ක් පමණ තුවාල ලැබූහ. ඇතැම් වාර්තාවලට අනුව නිවාස සහ වෙනත් ගොඩනැගිලි 50,000 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව තිබිණි. එම භූමිකම්පාව සැලකෙන්නේ තායිවානයේ සිදු වූ දෙවැනි දරුණුම භූමිකම්පාව ලෙසයි. තායිවානය මෙම භූමිකම්පාවෙන් බොහෝ පාඩම් ඉගෙන ගෙන ඇති බව පෙනේ. භුමිකම්පාවලින් සිදුවන ජීවිත හා දේපල හානි අවම කිරීම සඳහා තායිවානය විශාල වශයෙන් ආයෝජනය කරන්නට පටන් ගත්තේ මෙයින් පසුව බව සඳහන් වේ.

කෙසේ හෝ වේවා, භූමිකම්පාවෙන් පසු පසෙකට ඇල වී තිබෙන ගොඩනැගිලිවලට කුමක් කරනු ඇත්ද යන්න ද කුතුහලය දනවන කාරණයකි. නමුත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර පිලිබඳ විස්තරයක් තවමත් සඳහන් නොවේ.

බදාදා සිදු වූ භූමිකම්පාවෙන් තුවාල ලැබූ ගණන මේ වනවිට 1,000 ඉක්මවා ඇත. මේ වෙද්දී වඩාත්ම කණගාටුදායක සිදුවීම වී ඇත්තේ 80 කට ආසන්න පිරිසක් ප්‍රධාන අධිවේගී මාර්ගයක බිම්ගෙවල් දෙකක් තුළ සිර වී සිටීම යි. තායිවානයේ නැගෙනහිර ප්‍රදේශයේ කඳු වැටි අතරින් දිවෙන සුහා නැමැති අධිවේගී මාර්ගයේ බිම්ගෙවල් දෙකක් තුළ ඔවුන් සිර වී සිටින බව වාර්තා වේ. භූමිකම්පාවත් සමග ඇති වූ නාය යාම් සහ කඳු කඩා වැටීම් නිසා මෙම බිම්ගෙවල් ඇහිරී ඇති බව සඳහන් ය. බිම්ගෙවල් ආසන්නයේ මාර්ගය පදාස පිටින් නාය ගොස් ඇති ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය තුළ පළ වී තිබේ.

මෙම බිම්ගෙවල් තුළ සිර වී සිටින පුද්ගලයන් මුහුණ දී සිටින්නේ ඉතා බියකරු අත්දැකීමකට බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් මේ වනවිට ජීවත් වන්නේ නැවත ලෝකයේ එළිය දකින්නට හැකි වේවි ද යන්න පිලිබඳ දැඩි අවිනිශ්චිත බවකිනි. එමෙන්ම ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආහාර, ජලය ආදිය තිබෙනවාද යන්න ද පැහැදිලි නැත. මෙවැනි බිම්ගෙවල් තුළ දුරකතන සංඥා ආදිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා ඔවුන්ට පිටස්තර ලෝකය සමග සබඳතා පැවැත්වීම ද අපහසු වී තිබෙනවා විය හැකිය.

තායිවානයේ සිදු වූ දරුණුම භූමිකම්පාව ලෙස සැලකෙන්නේ 1935 අප්‍රේල් 21 වැනි දින ෂින්චිකු නැමැති ප්‍රදේශයේ සිදු වූ භූමිකම්පාවකි. ඒකක 7.1 ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූමිකම්පාවෙන් 3,200 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූහ. 12,000 ක් පමණ තුවාල ලැබූ බව ද සඳහන් විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර