නරුමයන්ට වැඩි උරුමය හිමි අරුම පුදුම සමාජයක්


මේ දිනවල අපේ රට බරපතල ආර්ථික අවපාතයකට මුහුණ පා තිබේ. මෙම තත්වය දිගින් දිගටම පැවතීම බරපතල අහිතකර විපාක ඇති කරවන්නකි. මෙවන් ආර්ථික අවපාතයන් හි බලපෑම කෙමෙන් සමාජ දේහයේ සෑම “රෝම කූපයක්” කෙරෙහිම අහිතකර ලෙස බලපාන අන්දම ලොව පුරා ආර්ථික විද්‍යාඥයන් සේම සමාජ මානව විද්‍යාඥයන් විසින් දස දහස් වරක් ප්‍රත්‍යක්ෂ කරගෙන හිඳින සත්‍යයකි.

නමුදු ඒ සම්බන්ධයෙන් අප සමාජය තුළ විද්‍යාත්මක කතිකාවක් ගොඩනැඟී තිබේ නම් ඒ ඉතා අල්ප වශයෙනි.

වර්තමානයේ සෑම සමාජයකම යහපැවැත්ම ආර්ථිකමය සාධක මත රඳා පවතී. යම් සමාජයක බිඳ වැටීමත් සමඟ එහි ජනතාවට මූලික අවශ්‍යතා, අනෙකුත් අවශ්‍යතා සහ අරමුණු ඉටු කරගැනීමේ නොහැකියාවත් පවතී.

මෙලොව ජීවත් වන සත්වයන්ට ජීවත් වීම විෂයෙහි අම්ලකර වායුව අවශ්‍ය වන්නේ යම් සේ ද ‘ආර්ථික ජීවීන්’ ලෙස හඳුන්වන මිනිසාට ජීවත් වීම විෂයෙහි ආර්ථිකය එපමණකට ම වැදගත් වෙයි. මෙහි දී ජීවත්වීම යනුවෙන් අදහස් කරනුයේ නොමැරී සිටීම පමණක් නොවේ.

තමන් ජීවත් වන සමාජය තුළ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික යහපැවැත්ම තහවුරු කරගැනීම ය. තමන් හට ජීවිතයේ හුරු පුරුදු මෙම සමාජ ආර්ථික සංස්කෘතික පසුබිමින් බැහැර වන්නට මිනිසාට නොහැක. මක් නිසා ද ඔහු ආර්ථික, සමාජගත සහ සංස්කෘතික සත්වයකු බැවිනි.

වර්තමානයේ අප රටේ සියලු භාණ්ඩ සහ සේවා මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබේ.

හෙට අනිද්දා වන විට ඉන්ධන මිල ද ඉහළ නැංවීමට නියමිත බැවින් එම තත්වය වඩාත් උග්‍ර වනු ඇත. මෙම තත්වය යටතේ අප සමාජයේ බොහෝ දෙනකුට තමන් ගේ සුපුරුදු පවුල්, ප්‍රජා සමාජගත ජීවිත එලෙසින්ම පවත්වාගෙන යාමේ බරපතල අසීරුවකට, අමාරුවකට මුහුණ දීමට සිදුවනු ඇත.

විවිධ නිෂ්පාදන සහ අලෙවි ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධ වූවන්ට සේම රාජ්‍ය සහ පෞද්ගලික සේවා නියුක්තිකයන්ට මෙම තත්වය විවිධ විෂමතා සහිතව වුවද යම් යම් ආකාරවලින් බලපානු ඇත. එහි දී එම අහිතකර තත්වයෙන් හැකිතාක් දුරට අත් මිදීමේ ස්වභාවික අවශ්‍යතාවයක් මිනිසා තුළ පැන නඟින අතර ඔහු ඒ සඳහා කිනම් හෝ උත්සාහයක් දැරීම පුදුමයක් නොවේ. මෙම සමාජ අර්බුදයට මුල පිරෙන්නේ එතැනිනි.

පසුගිය දිනයෙක ගෑස්මිල ඉහළ නැංවීමත් සමඟ ආපන ශාලාවල සියලු ආහාර පානවල මිල ඉහළ යාමක් දක්නට ලැබිණ. නමුදු එම මිල වැඩිවීම ‘ගෑස් මිල’ වැඩිවීම මත පදනම් ව සිදුකරන බව එම වෙළඳුන් පවසා සිටිය ද ඔවුන් එසේ භාවිතා කළ ගෑස් සිලින්ඩර් මිල වැඩිවීමට පෙර මිලට ගත් ඒවා බව රහසක් නොවේ.

එමෙන්ම ඉන්ධන මිල යම් ප්‍රතිශතයකින් ඉහළ නැංවෙන විට ඊට වඩා ඉහළ ප්‍රතිශතයකින් පොදු ප්‍රවාහන සේවා ගාස්තු වැඩි විය යුතු බවට බස් හිමියෝ යෝජනා කරති. රජයේ කිසිදු නියාමනයක් නොමැති ත්‍රිරෝද රථ සේවාවේ මිල ද එපරිද්දෙන් ම වැඩි කෙරේ. බැලූ බැල්මට මෙය පාරිභෝගිකයන් සහ මගීන් ගසා කෑමක් සේ පෙනේ.

එහෙත්, එහි ඇත්ත කතාව වනුයේ එම ව්‍යාපාරිකයන් සහ ත්‍රිරෝද රථ හිමියන් සහ රියැදුරන් ද මෙම ආර්ථික අවපාතය හමුවේ තමන්ට මුහුණ පෑමට සිදුවන අනාගත අවිනිශ්චිත බව දුරු කරගැනීමට කෙසේ හෝ උත්සාහ කිරීම ය.

ඉහත ම’විසින් සඳහන් කරන ලද්දේ ඒ සම්බන්ධ ඉතා සරල නිදසුන් පමණි. නමුදු මෙම තත්වය යටතේ සමස්ත වෙළෙඳපල යාන්ත්‍රණයම නීති සහ සදාචාර ධර්ම උල්ලංඝනය කරමින් මෙම ආකාරයට හැසිරීම වලක්වා ගත නොහැක.

කලින් බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවූ භූමිතෙල් උදුන් වලට මෙවර ගෑස් මිල ඉහළ නැංවීමත් සමඟ අතිවිශාල ඉල්ලුමක් ලැබී තිබිණ.

තම පවුලට අවශ්‍ය ආහාර පිස ගැනීම පිණිස ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමට විශාල මුදලක් වැය වන බැවින් එය දරා ගත නොහැකි යැයි සිතන බොහෝ දෙනෙක් භූමිතෙල් උදුන් මිලට ගැනීම සම්බන්ධයෙන් උනන්දු වන්නට ඇත.

ඒ භූමිතෙල් බෝතලයක් හෝ භාගයක් මිලට ගෙන ඉන් ආහාර වේලක් දෙකක් පිස ගැනීමට ඇති හැකියාව සලකමිනි.

එහෙත්, ඊට සාපේක්‍ෂව එම භූමිතෙල් උදුන් සඳහා ඇති වූ හදිසි ඉල්ලුම සැලකිල්ලට ගත් ඇතැම් වෙළෙන්දෝ දැනට වෙළඳ පලේ ඇති භූමිතෙල් උදුන් වල මිල සියයට සියය තෙක් වැඩි කළහ. තම අනාගත යහපැවැත්ම සම්බන්ධයෙන් ඔවුන් තුළ පැවැති අනියත බිය ද ඊට හේතු වන්නට ඇත.

මෙම සරල නිදසුන් කිහිපයෙන් පසු අපි මෙම තත්වය මීට වඩා ගැඹුරු තලයකට පිවිසෙන අන්දම විමසා බලමු. වත්මන් සමාජයේ ජීවත් වන සෑම අයකු තුළම මූලික අවශ්‍යතා සහ අනෙකුත් අවශ්‍යතා වලට අමතර අරමුණු තිබේ.

ඒ සෑම අරමුණක් තුළම පාහේ ආර්ථික පසුබිමක් ද තිබේ. එහෙත්, දැනට පවත්නා ආර්ථික විෂමකාරී පසුබිම තුළ තමන් ගේ එම අරමුණු ඉටු කරගත නොහැකි බොහෝ දෙනෙක් විධිමත් නොවූ ආකාරවලින් ධනෝපානය කිරීම කෙරෙහි අවධානය යොමු කරති.

හොර මැරකම් වංචා, අල්ලස්, දූෂණ, අක්‍රමිකතා ආදී වශයෙන් පුළුල්ව පැතිර යන මෙම තත්වය සමාජ ව්‍යසනයක් කෙරෙහි නියත සහ සෘජු බලපෑමක් ඇති කිරීම කිසිවකුටත් වැලකිය නොහැක. මේ අතර තවත් සමහරෙක් දැනට තමන් සතුව පවත්නා ආර්ථික ශක්තිය මතින් එම අරමුණු ඉටු කරගැනීමට, ඉලක්ක හඹා යාමට ඇති නොහැකියාව මුල් කොට ඒවායින් ඉවත් වෙති.

එහෙත්, ඒ ඔස්සේ පැන නඟින මානසික පසුබැස්ම, ආතතිය දරා ගැනීම ද ඔවුනට නොපුළුවන. එවිට ඔවුන් සිදුකරනුයේ නාස්තිකාර, වියහියදම් සුරා සූදු ආදී විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වීම ය.

හුදු නිසරු විනෝදාංශ ද ඒ අතරට ගත හැක. නොවිධිමත් ධනෝපායන මාර්ග කෙරෙහි ඉව ඇල්ලීමට ඇති ජනතා උද්යෝගය අනුව මෙම ආර්ථික අවපාතය යටතේ මෙරට ලොතරැයි අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන අතර අපල, අන-වින, හදි, හූනියම් ආදිය සම්බන්ධ ගුප්ත විශ්වාස ද සමාජය පුරා වේගවත් ව ඉහළ නැංවෙනු ඇත.

ඊට හේතුව මෙම යථාර්ථය විද්‍යාත්මකව වටහා ගැනීමට වඩා ඒවාට ගුප්ත ආරෝපණයන් ලබා දීම පහසු බැවිනි. එනිසාම අප සමාජයේ ගුප්ත ශාස්ත්‍ර පදනම් කරගනිමින් ජනතාව ගසා කන්නවුන් සංඛ්‍යාත්මකව ඉහළ නැංවෙන අතර නව මාදිලියේ එවන් වෘත්තිකයන් ද බිහි වනු ඇත.

මෙම සමාජමය කැළඹිලි බව හමුවේ සම්මත සදාචාර මට්ටම වේගවත්ව අවප්‍රමාණ වන අතර සමාජමය සාරධර්ම ද වේගයෙන් කෙළෙසී යනු ඇත.

මෙහි වඩාත්ම බරපතල තත්වයක් ද තිබේ. එනම් මෙම නොවිධිමත් අස්ථායි සමාජ ආර්ථිකය තුළින් බිහි වන නරුම පැලැන්තියක් ප්‍රභූන් සේ මෙම සමාජයෙන් ඉස්මතු වීම ය.

අවිචාරවත්ව හා සාරධර්ම සුනුවිසුණු කොට කම්සැපයෙහි ඇලී ගැලී ජීවත් වීමේ මෙම තත්වය බුදු දහමෙන් උපමා කෙරෙන්නේ ගවර වළක වැතිරෙමින් දඟලමින් ඉන්ම ආස්වාදය ලබන සූකරයන් ගේ තත්වයකට ය. (තිත්ත සූකර පටිපදා) එසේ ඉස්මතු වන ඔවුන් මෙරට සමාජ, ආර්ථික, දේශපාලන සමාජ යාන්ත්‍රණය මෙහෙය වීමේ වගකීම භාර ගත් විට අපගේ සමාජ යහපැවැත්මට කුමකින් කුමක් සිදුවේ ද? මීට පිළිතුරු සෙවීම ඔබට භාර කොට මම නිහඬ වෙමි.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර