මුතුරාජවෙල පල්ලි හතරක් ඇතුලට බෝම්බ බයක් ගෙනාවේ ඇයි?

බෝපිටිය කතෝලික දේවස්ථානය ඇතුළු පල්ලි හතරකට ඉකුත් සතියේ පැමිණි නාවුක හමුදා නිලධාරීන් කියා සිටියේ ඒවාට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවය.

එම නිසා නාඳුනන කිසිවෙකුත් පල්ලියට ඇතුළත් කර නොගන්නා ලෙසද එම පණිවුඩයෙන් කියැවිණි.නාවුක හමුදා නිලධාරීන් පල්ලියට පැමිණෙන අවස්ථාවේ බෝපිටිය කතෝලික දේවස්ථාන භාරකාර නිමල් ජයන්ත පියතුමන් නොසිටි බැවින් පණිවුඩය දී තිබුණේ එහි සිටි පිරිසකට ය.

නාවුක හමුදා නිලධාරින් බෝපිටිය පල්ලිය වෙත පැමිණ කියුදේ ගැන නිමල් ජයන්ත පියතුමන් එම නිලධාරීන්ගෙන් දුරකතනයෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ සිය බුද්ධි අංශ වෙත මෙම තොරතුර තහවුරුවී ඇති බවය. මාධ්‍ය මගින් මෙම කාරණය ගැන තොරතුරු හුවමාරු වෙද්දී පළමුව මේ ගැන ප්‍රකාශයක් කළේ මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකරය. ඔහු පළමුව කියා සිටියේ එම තොරතුර අසත්‍යයක් කියාය.

දෙවනුව ඔහු නාවුක හමුදා නිලධාරීන් දැනුම් දිය යුතු පණිවුඩයට වඩා වැඩියෙන් යමක් කියා ඇති බව සදහන් කළේය. තුන්වෙනුව ඔහු කිවේ මෙය ආරක්ෂක අභ්‍යාසයක කොටසක් බවය.

මෙවැනි ආරක්ෂක අභ්‍යාස හමුදා නිලධාරින් විසින් සිදුකරන බවද ඔහු කියා සිටියේය.මෙහි දී වගකිවයුතු ඇමතිවරයෙකුට එසේ කිවහැකි ද යන පැනය මුලින්ම මතුවේ. හමුදා නිලධාරින් ආරක්ෂක අභ්‍යාසයක් කරන්නේ නම් එය කරනුයේ ජනතාව බිය වද්දා නොවේ. එය හමුදා ආචාර ධර්මවලට පටහැනිය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ද මේ ගැන නිවේදනයක් නිකුත් කර තිබුණි.එම නිවේදනයෙන් ඔහු කියා තිබුණේ නාවුක හමුදා නිලධාරීන්ට ලැබුණු තොරතුර නිසි විශ්ලේෂණයකින් තොරව ප්‍රකාශ කොට ඇති බවය. බුද්ධි තොරතුරක් ලද පමණින් එය විශ්වාස කරන්නේ නැත. මේ පිළිබඳව පසුවිපරම් තුන හතරක් කරනු ලබයි.

එසේ විමර්ශණය කිරීමෙන් පසුව අදාළ තොරතුර මුලින්ම සිය සේවාවේ බුද්ධි ප්‍රධානියා වෙත යොමු කරති.බුද්ධි ප්‍රධානියා එය තමන්ගේ සේවයේ හමුදාපතිවරයා වෙත දැනුම් දෙයි.

හමුදාපතිවරයා එය ආරක්ෂක ලේකම්ට දැනුම් දීමෙන් පසු ඔහු විසින් එය ජනාධිපතිවරයා වෙත යොමු කර පසුව ආරක්ෂක මණ්ඩලය රැස්වී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කෙරේ.. සාමාන්‍ය සම්ප්‍රදාය එයවුවත් මෙතැන එවැනි දෙයක් නොවූ බවට ඇමතිවරුන්හා ආරක්ෂක ලේකම් කරන ප්‍රකාශවලින් මොනවට පැහැදිලිවේ.

එසේනම් මෙවැනි කටයුත්තක් වූවේ මන්ද?යන පැනය සැමටම ඇතිවේ. එහිදි කාරණා දෙකක් ගැන සැක සංකා මතුවේ. මෙහි පළමු කාරණය වන්නේ ප්‍රහාරය එල්ලවන බවට තොරතුරු ලද දේවස්ථාන හතරය. එකක් බෝපිටිය පල්ලියය. දෙවැන්න වැලිගම්පිටිය පල්ලිය ය. තුන්වැන්න පමණුගම පල්ලිය වන අතර සතර වැන්න වත්තල පල්ලියයි.

මෙම පල්ලි හතරෙන් තුනක්ම මුතුරාජවෙල තෙත් බිම හා සම්බන්ධය.වැලිගම්පිටිය පල්ලිය ද මුතුරාජවෙලට නොදුරින් පිහිටා තිබේ. මෙම දිනවල මුතුරාජවෙල අභයභූමිය නොයෙක් පිරිස් විසින් නිති විරෝධීව අත්පත් කරගනිමින් සිටිති.ඇමරිකන් හස්තයන් ද ඒ පසුපස තිබේ.

නිල නොවන රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන මෙම පරිසර විනාශයට එරෙහිව හඬ නැගීමට මූලික වන්නේ බෝපිටිය මීසමේ පාලක නිමල් ජයන්ත පියතුමා විසිනි. කොළඹ රදගුරු වසමේ පල්ලියක් බැවින් කාදිනල්තුමෝ ද සම්බන්ධව සිටිති.එසේනම් මුතුරාජවෙල පරිසර විනාශයට එරෙහිව නගන හඬ මැඩපැවැත්වීම වෙනුවෙන් වූ බිගැන්වීමක් ද යන සැකය ප්‍රදේශයේ ජනතාව තුළ හටගෙන තිබේ.                                                                                                                                                                                                                                          දෙවැන්න නම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරන ලෙස ඉල්ලා කාදිනල්තුමන් ප්‍රමුඛ කතෝලික ප්‍රජාව නගන හඬය. වසර දෙකක් ගත වුවද තවමත් මහමොළකරු සොයා ගෙන නැතැයි ඔවුහු සෘජුව ආණ්ඩුවට චෝදනා කරති.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය දා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය මෙන් තවත් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවය. ඥානසාර හිමියන් කීවේ තමන්වහන්සේ පාස්කු ප්‍රහාරයට පෙර පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කාදිනල්තුමන් දැනුවත් කළද එතුමන් එය ගණනකට නොගත් බවය.එහෙත් තමන්ට ඒ තොරතුර ලැබුණු ආකාරය ඥානසාර හිමියන් ද හෙළි කොට නැත.

එවැනි කතාවන් සමාජයේ පවතිද්දී බෝපිටිය ඇතුළු පල්ලි හතරකට එල්ලවිය හැකි ප්‍රහාරයක් ගැන මෙලෙස වාර්තාවේ. එසේනම් මෙය කතෝලික ප්‍රජාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනා කතිකාව නවතා දැමූමට වන අනියම් බිය ගැන්වීමක් ද යන පැනය ද නිතැතින් මතුවේ.
එම සැක සංකා දෙකෙන් සත්‍යය කුමක්දැයි ඉදිරියේදි හෙළිවනු නොඅනුමානය. එතෙක් බලා සිටිමු.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර