මුහුදු තණ බිම් රකින්න මුහුද යට උද්ඝෝෂණ කරන තරුණිය; ෂාමා සන්දූයා

shama

මෙහි දැක්වෙන්නේ මේ වසරේ බොහෝ පරිසරවේදීන්ගේ, පරිසරයට ආදරය කරන්නන්ගේ සහ ලෝක දේශපාලනඥයන්ගේ දැඩි අවධානයට ලක් වූ ඡායාරූපයකි.

එහි දැක්වෙන්නේ මුහුද යට පුවරුවක් ප්‍රදර්ශනය කරනා තරුණියකි. ‍ Youth strike for cllmate ‘කාලගුණය වෙනුවෙන් තරුණ උද්ඝෝෂණය’ යන්න ඇය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරයි.

මේ තරුණිය කවුරුන්ද යන්න බොහෝ දෙනා තුළ කුකුසක් ඇති කළ කාරණයක් විය. පරිසරය රැකගැනීම වෙනුවෙන් ලෝකයේයේ පළමුවරට මුහුද යට උද්ඝෝෂණයක් පැවැත් වූ ඇය නමින් ෂාමා සන්දූයා ය.

මොරිෂස් හෙවත් මුරුසි දූපතේ වැසියකු වන 24 හැවිරිදි ඇය ලෝක දේශගුණය සහ කාලගුණය පිළිබඳ දැඩි උනන්දුවකින් ක්‍රියා කරන, සාගර විද්‍යාඥවරියකි. 2014 අප්‍රිකානු තරුණ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ඇය ගැහැනු පිහිනුම් තරඟවලින් රිදී සහ ලෝකඩ පදක්කම් ද දිනා ගත්තාය.

youth

ඇය වැඩි වශයෙන් අවධානය යොමුකොට ඇත්තේ මුහුදු තණබිම් ආරක්ෂා කිරීම පිළිබඳව ය. මුහුදේ ඇති තණබිම් පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නා අතර එවැනි කාරණා පිළිබඳ අවධානයක් යොමු කරන්නේ ද නැත.

විශේෂයෙන් පරිසරය සම්බන්ධ මුග්ධ අදහස් දක්වන දේශපාලඥයන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් සිටින අප වැනි රටකට මුහුදු තණබිම් පිළිබඳ කිසිදු අදහසක් නැතිවා විය හැකිය.

මුහුදු තණබිම් යනු මුහුද යට ඇති තණකොළ වැනි, දිගු සිහින් පත්‍රවලින් යුක්ත ශාක ප්‍රජාවන්ගේ එකතුවකි. ගොඩබිම ඇති තණබිම් මෙන් මේවා ද අතිවිශාල ප්‍රදේශයක් පුරා පැතිරී පවතී. ලෝකයේ පැවැත්මට අවශ්‍ය ඔක්සිජන්වලින් වැඩි ප්‍රතිශතයක් නිපදවන්නේ මුහුදු තණබිම් බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයකි.

එමෙන්ම නිවර්තන වැසි වනාන්තරවලට වඩා 35 ගුණයකින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ හැකියාව ද මුහුදු තණබිම්වලට තිබේ. මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කට වඩා ඉහළ යාම වැලැක්වීමට නම් මුහුදු තණබිම් ආරක්ෂාකර ගත යුතුව තිබේ. සාමා සන්දූයා උද්ඝෝෂණය කරන්නේ මේ වෙනුවෙනි.

සිය මව් රට වන මුරුසියේ සිට කිලෝමීටර් 735 ක් ඈතින් පිහිටි අතිවිශාල මුහුදු තණබිමක් වූ ‘සායා ඩි මාහා ඉවුර’ රැකගැනීම සඳහා ඇය ජාත්‍යන්තර පරිසර සංවිධානයක් වන ‘ග්‍රීන් පීස්’ සමග එක්ව කටයුතු කරයි.

මෙය ගොඩබිම් ප්‍රදේශවල සිට බොහෝ ඈතින් පිහිටා ඇති බැවින් මෙතෙක් කලක් ආරක්ෂා වී පැවතිණි. නමුත් මෑත කාලයේ මුහුදු ගමනාගමනය ඉහළ යාම නිසා නෞකාවලින් නික්මෙන ඉන්ධන සහ වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් මේ තණබිම් යම් අනතුරකට මුහුණපාමින් තිබේ.

ෂාමා සන්දූයා පවසන්නේ තමාගේ මේ උද්ඝෝෂණය මේ මහා මුහුදු තණබිම ආරක්ෂා කරගැනීම සඳහා ලෝක දේශපාලඥයන්ගේ සහ පරිසරවේදීන්ගේ අවධානයට ලක්වනු ඇති බව ය.

මෑතකදී සිය මව්බිම ආසන්නයෙන් සිදු වූ නෞකා අනතුරකින් පසුව කොරල්පර සහිත කලාපයක් පුරා තෙල් තට්ටවුක් පැතිරීයාම පිළිබඳව ද ඇය ලෝකයේ අවධානයට ලක් කළා ය.

සිය මුහුදු පරිසරය ආරක්ෂාකරගැනීමේ වගකීම ඇය දිගින් දිගටම කතා කරයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

හරිත දනව්ව