මෙවර හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මාන දිනූ මිචෙල් යෝහ් බෞද්ධ කාන්තාවක්

පසුගිය දා පැවැති ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ මිචෙල් යෝහ් මේ වනවිට කාගේත් අවධානයට, කතාබහට ලක්ව සිටින ශිල්පිනියකි. ඇයට මෙම සම්මානය හිමි වූයේ Everything Everywhere All at Once නැමැති අපූරු සිනමාපටයේ ඇය කළ රංගනය වෙනුවෙනි. මෙහි ඇය රඟපාන්නේ එකිනෙකට සමාන්තර විශ්වයන් කිහිපයක එකවර හැසිරෙන කාන්තාවකගේ චරිතයකි. එක් විශ්වයක ඇය ලොන්ඩි්‍රයක හිමිකාරියකි. තවත් විශ්වයක නර්තන ශිල්පිනියකි. තවත් විශ්වයක ඇය ගැවසෙන්නේ අවන්හල් සේවිකාවක ලෙසිනි. තවෙකක ඇය සිනමා නිළියක වන අතර තවත් එකක සටන් ශිල්පිනියකි. මිචෙල් යෝහ් මෙම සංකීර්ණ චරිත සියල්ල ඉතා අපූරුවට නිරූපනය කරයි. මේ නිසා ඇයට ඔස්කාර් සම්මානය හිමිවීම ගැන කිසිදු මතභේදයක් නොවූ අතර ඒ ගැන ලොව සිනමා ලොලීන්, විචාරකයන් වැනි කව්රුත් මහත් සතුටට පත්ව සිටිනු පෙනේ.

මිචෙල් යෝහ් මෙවර හොඳම නිළිය සම්මානය දිනා ගැනීම හරහා ඔස්කාර් සම්මාන ඉතිහාසයේ වාර්තාවක් ද පිහිටුවූවාය. ඒ එම සම්මානය දිනාගත් පළමු ආසියානු නිළිය වශයෙනි. මැලේසියානු ජාතික නිළියක වන ඇය බෞද්ධ කාන්තාවක බව ද සඳහන් වේ. තමා බුදු දහමට අනුව ජීවිතය පවත්වා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙකු බව ද ඇය වරක් පවසා තිබුණාය. පොලොවේ පය ගසා ජීවත් වීමට බුදු දහමෙන් මනා ශික්‍ෂණයක් ලැබෙන බව ද මිචෙල් පවසයි.

මිචෙල් යෝහ් මෙයට වසර කිහිපයකට පෙර කියා තිබූ කතාවක් නිසා මේ දිනවල ඉන්දියානු සිනමා රසිකයන් ද මහත් උද්දාමයට පත්ව සිටිනු දැකිය හැකි වේ. වරක් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා තිබුණේ තමා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු ආමීර් ඛාන්ගේ හොඳ රසිකාවියක බවයි.

මිචෙල් සහ ආමීර් දෙදෙනාම විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වන්නන් ය. ඔවුන් දෙදෙනාම කලක් Live to Love නැමැති රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වී වැඩ කර තිබිණි. මෙම සංවිධානය පරිසරය රැක ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන සංවිධානයකි. මෙහි කටයුතු කිරීම නිසා මිචෙල් සහ ආමීර් අතර දැන හැඳිනුම්කමක් ඇතිව තිබිණි.

ඉහත කී මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු මේ දෙදෙනාගේ මෙම දැනහැඳිනුම්කම ගැන අසයි. ‘මම කවදාවත් ආමීර් සමග වැඩ කරලා නැහැ. නමුත් අපි Live to Love සංවිධානයේ සන්නාම තානාපතිවරුන් (Brand Ambassadors) හැටියට කටයුතු කරනවා. එය පරිසරය රැක ගැනීමේ කටයුතුවල නිරතවන සංවිධානයක්’ මිචෙල් මෙහි දී පිළිතුරු දෙයි. ‘මම ආමීර්ගේ හොඳ රසිකාවියක්. ඔහු ඉතා හොඳ නළුවකු පමණක් නොවෙයි, හොඳ මානවවාදියෙකුත් වෙනවා. ඉතා ඉක්මනින් මට ඔහු සමග වැඩ කිරීමට අවස්ථාවක් උදාවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා’ ඇය තවදුරටත් පවසයි.

ආමීර් රඟ පෑ 3 Idiots චිත්‍රපටය නරඹා ඇත්දැයි මාධ්‍යවේදියා මෙහි දී ඇයගෙන් විමසයි. එහි දී මිචෙල් සිනාමුසුව පවසන්නේ ‘අපොයි ඔව්, එය නරඹා නැති කිසිවෙකුත් ඇතැයි මා සිතන්නේ නැහැ’ යනුවෙනි. 3 Idiots ඉතා අපූරු හාස්‍යොත්පාදක චිත්‍රපටයක් බවත් ඇය සඳහන් කරයි.

මේ වනවිට මිචෙල් ගේ වයස අවුරුදු 61 කි. ඔස්කාර් හොඳම නිළිය සම්මානය දිනූ වියපත්ම නිළියක ලෙස ද ඇය සැලකේ. සුදු ජාතික නොවන නිළියක මෙයට පෙර මෙම සම්මානය දිනාගෙන තිබුණේ ද එකම එක අවස්ථාවක පමණි. ඒ 2002 වසරේ එම සම්මානය දිනාගත් හැලී බෙරී ය. ඇය අප්‍රිකානු සම්භවයක් සහිත නිළියකි. මිචෙල් එම දස්කම කළ දෙවැනි නිළිය යි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී මිචෙල්ට අමතරව තවත් ආසියානු ශිල්පීන් කිහිප දෙනෙකුට සහ ආසියානු නිර්මාණ කිහිපයකට සම්මාන හිමි විය. මෙවර ඔස්කාර් වේදිකාවේ ආසියාව විශේෂයෙන් කැපී පෙනුණු බව සිනමා විචාරකයන් ද පවසා තිබිණි. හොඳම සහය නළුවා ලෙස සම්මාන දිනූ කේ හ්වි ක්වොන් ද වියට්නාම සම්භවයක් සහිත නළුවෙකි. කුඩා කාලයේ සිය මව්පියන් සමග වියට්නාමයෙන් පලා ගිය ඔහු පසුව හොංකොං හි සරණාගත කඳවුරක ද කාලය ගත කර තිබිණි. ඇමරිකාවට පැමිණීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබුණේ එයින් පසුව යි. මෙවර හොඳම චිත්‍රපටය ලෙෂ සම්මාන දිනූ Everything Everywhere All at Once චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරුන් දෙදෙනාගෙන් කෙනෙකු වන ඩැනියල් ක්වෝන් ද ආසියානු සම්භවයක් සහිත කෙනෙකි. ඔහුගේ මව්පියන් හොංකොං හි සහ තායිවානයේ උපන් අය බව පැවසේ. හොඳම අධ්‍යක්‍ෂ සම්මානය හිමි වූයේ ද Everything Everywhere All at Once චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ඩැනියල් ක්වෝන් සහ ඩැනියෙල් ෂයිනර්ට් යන දෙදෙනාට යි.

මේ අතර ඉන්දියානු නිර්මාණ දෙකකට ද මෙවර ඔස්කාර් සම්මාන හිමි විය. තෙලිගු චිත්‍රපටයක් වන RRR චිත්‍රපටයේ ‘නාටු නාටු’ නැමැති ගීතය හොඳම ගීතය ලෙසත්, The Elephant Whisperers නැමැති වාර්තා චිත්‍රපටය හොඳම කෙටි වාර්තා චිත්‍රපටය ලෙසත් සම්මාන දිනාගත්තේය.

නිහාල් පීරිස්

රසගඟුල