යකඩ යකුන් හසුරුවන සුමුදු මිනිසා දෙවියන් දුටු හැටි

යකුන් පිළිබඳ විශ්වාස වලින් පිරීගත් අප සමාජයේ කිසිවකු “යකඩ යකා”යනුවෙන් පවසනුයේ දුම්රිය සම්බන්ධයෙන් පමණි.1867 වසරේ අප රටේ දුම්රිය සේවය මහනුවර තෙක් දීර්ඝ කළ සමයේ ගල් අඟුරු වලින් ක්‍රියාකරන වාෂ්ප දුම්රිය ඇන්ජිමක් මුල් වරට දුටු උඩරට ගැමියෝ දුම්රියට ඒ නාමය පටබැඳ ඇති බවක් කියනු ලැබේ.ඒ අනුව එම “යකඩ යකුන්” හසුරුවන දුම්රිය රිය රියැදුරන් ද යකඩ සිත් ඇති මිනිසුන් යැයි යමකුට සිතෙන්නට පුළුවන.එහෙත්, ඒ අදහස කෙතරම් සාවද්‍ය දැයි ඔබ කාටත් හැඟී යන කදිම සාක්ෂියක් අපි ඔබ වෙත අද ඉදිරිපත් කරමු. වෘත්තියෙන් දුම්රිය රියදුරු වරයකු වන දිවුලපිටිය මාබොදල එම්. ඒ. සිරිමල් දයාවංශ වර්තමාන කවීන් අතරේ විශේෂයෙන් කැපී පෙනෙන චරිතයකි.

සිංහල ජාතික කවි පෙරමුණේ අනුශාසක වරයකු ලෙස කටයුතු කටයුතු කරන ඔහු කවිධජ, කාව්‍ය ශ්‍රී, කාව්‍ය විශාරද, කාව්‍ය ස්වර්ණ දේශකීර්ති ජනතා ප්‍රසාදිනි දේශබන්ධු යන සම්මානයන්ගෙන් ද පිදුම් ලබා ඇත. සිරිමල් ගේ ආදරණීය මව මේ වන විට වයෝවෘද්ධව පසුවන්නී ය.පසුගිය දිනයෙක ගෘහස්ථ අනතුරකට මුහුණ පා රෝහල් ගත කොට සිටි ඇ‍ය මේ වන සුවය ලබා යළි නිවසට පැමිණ සිටින්නී ය. සිය මව රෝහලේ ගත කළ කාලය සිරිමල් දයාවංශ ගේ කවි ඇසට මෙසේ නතු වී අතර අපගේ ජන සම්මත සඳැස් කවි සම්ප්‍රදායෙහි ලා ඔහු කෙතරම් හපනකු ද යන්න කියා පෑමට මෙම පැදි පෙළ කදිම නිදසුනකි.එමෙන්ම යමකුගේ හෝ යමක අගුණ මිස ගුණයක් දැකීම ඉතා දුලබ තත්වයක් ව පවතින වර්තමානයේ යකඩ යකා හසුවන මේ සුමුදු හදවතක් ඇති අපූරු මිනිසාගේ සමාජමය ද්‍රෂ්ඨිය ද සුළු කොට තැකීමට ද අපට නොපුළුවන.

දෙවියන් දුටිමි

මගෙ මව අසූතුන වයසෙහි සිටින රැඳී
බිම ඇද වැටීමෙන් ඇයගේ උකුල බිඳී
රෝහල වෙතට ජයවර්ධන පුරයෙ ඇදී
යකඩින් දමා සැත්කම් කොට හදන ලදී

දුරුවල නමුදු ගත පසුවන වයස මැද
කටයුතු සියලු කර ගත්තා තනිව හිඳ
වෙන්විය යුතුය කෙනෙකුන් ඇගෙ වැඩට අද
එකතැන් උනා සයනය මත නොසිතූ ලෙද

සුවකළ හැකිය ඔබ ගැලවී ඇත නූලෙන්
නිදහස් උනා සිත ඇවිලුන ගිනි ජාලෙන්
සේවය කරන රට දැය සමයට ආලෙන්
දෙවියන් දුටිමි ජ‘පුරෙහි ඉස්පිරි තාලෙන්

දොළහට දවල් ඇය දැකුමට ඇදෙන විට
දෙනෙතට නැගුනි දුටු දසුනෙන් කඳුලු කැට
මතු වුන කතා බහ රස පිළිසඳර පිට
හෙදියක් බත් කවයි ඇගෙ ඇඳ අසල සිට

මගෙ සොහොයුරිය සහ ඇගෙ දියණියක වෙලා
පෙර සසරෙහිදි ඉන්නට ඇති සිනහ සලා
යන සිතුවිල්ල දිව්වා ලේ නහර පලා
හද පිරි තුටින් එවෙලෙහි ඉස්තුතිය කලා

එන දින ටිකට් කපලා මව ළඟට වෙලා
“අම්මේ” කියා මුදු වදනින් සිනහ සලා
“නැවතත් පිනුම් නොගසනු මැන වයස බලා”
යනුවෙන් එදා ඒ දෙවියා විහිලු කලා

සිව් මස ඉක්ම යන විට සුබ ලකුණු තබා
ටික ටික නැගිට්ටා සිත සුව සතුට හබා
පෙර සිටි පරිද්දෙන් නිසි ලෙස සුවය ලබා
ඇය දැන් ඇවිද යයි පොළවෙහි දෙපය තබා

වෙදැදුරු වරු අපේ මිහිබට දෙවි වරු ය
හෙදියන් පිරිස සුරලොව සුරඟන තරු ය
අනෙකුත් සියලු සේවාවන් ටික ගරු ය
නැහැ කිව්වොතින් හෙම පැහැදිලි ලෙස බොරු ය

හොඳ සහ නරක දෙකොටස සැම තැනම හිඳී
පොදු දහමක්ය එය ඇති මුලු ලොවෙහි රැඳී
දෙවිවරු වගෙයි අසරණ උන මොහොත කදී
ඔවුනට අපේ රට සලකන විදිය මදී

මාබොදලේ එම්. ඒ. සිරිමල් දයාවංශ

 

wall එක