ලොවම ගරු කළත් ලංකාවේ නිල කතෝලික සභාව කොන් කළ, දරුවකු මෙන් නිහතමානී පුදැදුරු පඬි රුවන

කැලණිය ගෝනවල ‘තුලන’ අසපුවේ නිහඬව කල් ගෙවමින් දේශීයවත් ජාත්‍යන්තරවත් මනුස්සකම, මානව ප්‍රේමය හා ක්‍රිස්තු ධර්මයේ විමුක්ති හරය දැනුම සමග මුසු කොට බෙදමින් සිටින ඇලෝසියස් පීරිස් ජේසු නිකායික පියතුමා, “ෆාද ඇලෝයි”, අප්‍රේල් 9 වැනිදා ජීවිතයේ 90 වැනි කඩ ඉම පසු කෙළේය. ඒ සමගම ෆාද ඇලෝයි විසින් ආරම්භ කරන ලද ‘තුලන’ කේන්ද්‍රය මේ ජුනි මාසයේ ස්වර්ණ ජයන්තිය සමරයි. මේ නිසා මේ වසර එතුමන්ට ද්විත්ව ජයන්ති වසරකි.

ඇලෝයි පියතුමා ක්‍රිස්තු ධර්මය සේ ම බුද්ධ ධර්මය පිළිබඳව ද ලොව ඉහල ගනයේ වියතෙකි. සිංහල, සිංහල සාහිත්‍යය, පාලි, සංස්කෘත, ලතින් භාෂා වලට අමතරව ශුද්ධ බයිබලයට පාදක වන හීබෘ, ග්‍රීක, අරමයික් භාෂා පිලිබඳ ද ප්‍රවීණයෙකි. ලංකාවේ හැර ලොව විවිධ ප්‍රදේශවල විශ්ව විද්‍යාල වල බාහිර කථිකාචාර්යවරයෙකි. ග්‍රන්ථ රාශියක කර්තෘවරයා ය. තවමත් ඔහු ලියයි. පොත් සංස්කරණය කරයි. ගෞරව සම්මාන රැසක් හිමි කරගත්තෙකි. මේ ලේඛනය දීර්ඝ ය.

ඒ සියල්ල මම මෙසේ සාරාංශ කරමි: “දහම් අතැඹුලක් සේ දත්, මනුස්සකමින් පිරිපුන්, දරුවකු මෙන් නිහතමානී මහා ප්‍රාඥයා.”

ෆාද ඇලෝයි අනූවට පා තබන විට ඔහු ගේ මනුස්සකම ගැන මෙන් ම ලංකාවේ කතෝලික සභාවට ඔහු අමතක වීම ගැන ද සටහනක් නොතබන්නේ නම්, එය අසාධාරණයකි.

මා මුලින් ම ෆාද ඇලෝයි ගැන දැන ගත්තේ පිලිපීනයේ වෙරිටාස් ගුවන් විදුලියේ සේවය කරද්දී ය. එතුමා පිලිපීනයේ ප්‍රකට සරසවියක් වන ඇතීනියෝ ඩි මැනිලා විශ්ව විද්‍යාලයේ දේශකයෙක් විය. ඒ සඳහා එතුමා නිතර මැනිලාවට ආව ගියේය. වෙරිටාස් ගුවන් විදුලියේ සේවය කළ බොහෝ දකුණු සහ නැගෙනහිර ආසියානු ගිහියන් සහ පුජකවරුන් ද පිලිපීනයේ ගිහි පූජක පිරිස් ද එතුමා දැන සිටියහ. ඒ, එතුමා ගේ පත පොත බොහෝ දෙනෙක් කියවූ නිසාය. එතුමා ගේ දේශන වලට සවන් දුන් නිසාය. ඒ දිනවල මට හිතුනේ බොහෝ ලෝක කතෝලිකයන් ‘ලංකාව’ කියන දූපත දන්නේ ෆාද ඇලෝයි, ෆාද (තිස්ස) බාලසූරිය වැනි නම් වලින් බව ය.

එහෙත් මට ඒ දිනවල එතුමන් මුණගැසීමේ භාග්‍යය ලැබී නොතිබිණි.

එතුමා හමුවීමේ අවස්ථාව මට ලැබුණේ අපේ යුගයේ විප්ලවීය ජනතා පාප් තුමන් වන ප්‍රැන්සිස් පාප්තුමන් ගේ දැක්ම අලලා මා ලියූ “වතිකාන සුළඟ” කෘතිය එළිදක්වන්නට කටයුතු කරමින් සිටිද්දීය. ප්‍රැන්සිස් පාප්තුමන් අයත් ජේසු නිකායේම පැවිද්දකු වන ෆාද ඇලෝයි, පාප් තුමන් ගේ දැක්ම ගැන විශිෂ්ට කියවීමක් ඇති ලංකාවේ සිටින එකම වියතාය. මේ නිසා එතුමා ලවා පොතට පෙරවදනක් ලියා ගන්නට මට අවශ්‍යව තිබිණි. එහෙත් එතුමා වැනි පඬි රුවනක් මා වැනි කෙනෙකු කෙසේ පිළිගනු ඇත්දැයි මා සිත සැකයක් තිබිණි. එහෙත් මගේ අවශ්‍යතාව කියා මා යැවූ ඊ මේල් එකට එතුමා මට පිළිතුරු ඒවා තිබුණේ දීර්ඝ කාලයක සිට මා දැන සිටි මිතුරෙකු ලෙසය. ඒ පමණක් නොවේ. එතුමා මා අගය කර තිබූ ආකාරය මා මවිත කළේය.

“හරිම සතුටුයි ප්‍රැන්සිස් පාප්තුමා ගැන පොතක් ලියපු එක ගැන. මේව අපි කළ යුතුව තිබුණු, අපට අතපසු වෙච්ච වැඩ. ඔයා ඒ වැඩේ සම්පූර්ණ කිරීම කොච්චර හොඳද?”

පෙරවදන ලියන්නට පෙර පොත කියවන්නට අවශ්‍ය නිසා එහි පිටපතක් එවන ලෙස පියතුමා ඉල්ලා තිබිණි. එය එතුමාට යැවූ මා ඉතා යටහත්ව තවත් ඉල්ලීමක් කළෙමි. එනම් පොත එළිදක්වන දින ප්‍රධාන දේශනය කරන ලෙසයි. පොත කියවූ එතුමා ඒ ආරාධනාව පිළිගත්තේ ඒ මගින් එතුමාට දුන් ගෞරවයට ස්තුති කරමිනි.

පසුව මා “තුලන” අසපුවේ දී එතුමන් මුණගැසෙන්නට ගිය විට ඉතා සෙනහසින් පිළිගත් එතුමා බොහෝ දේ මට කියා දුන්නේය. එතුමා අබියස මට මා පෙනුනේ අඟුටු මිට්ටකු ලෙසය. එහෙත් එතුමා මා අගය කරමින් දිරි ගැන්නුවේය. මේ මට පමණක් ලැබෙන ප්‍රතිචාරයක් නොවේ. එතුමා හමුවන සෑම කෙනෙකුටම එතුමා එම ගෞරවය ලබා දෙයි.

දේවධර්ම ශාස්ත්‍රය “තොල ගා ගත්” ඇතැම් අඟුටු මිට්ටන් සහ රෝමයේ “හුළඟ වැදුණු” සමහර “සංචාරකයන්” වෙනත් අය ඉදිරියේ මහා පණ්ඩිතයන් වන්නට, වෙනත් අය පහත් කර සලකන්නට කරන විකාර දකින විට ෆාද ඇලෝයි තුළ වෙසෙන මහා ආත්මය අහස උසට එසවෙයි.

1934 අප්‍රේල් 9 වැනිදා අලෝසියස් පීරිස් උපත ලැබුවේ මහනුවර අම්පිටියේ ය. අම්පිටියේ සාන්ත මරියා පාසලෙන් අකුරු කළ ඔහු පසුව ගාල්ලේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් ද්වීතික අධ්‍යාපනය ලැබුවේය. තාරුණ්‍යයේ දී පැවිදි ජීවිතයට ඇතුළු වීමට තීරණය කළ ඇලෝයි ජේසු නිකායට ඇතුළු වී අධ්‍යාපනය ලැබුවේය.

1965 දී ඇලෝයි පූජකවරය ලැබුවේ ය. ඊට කලිනුත් ඉන් පසුවත් උසස් අධ්‍යාපනය ලැබූ ඔහු ඉන්දියාවෙන් L. Ph. උපාධියත්, ඉතාලියෙන් දේවධර්මය පිලිබඳ ශාස්ත්‍රපති (STL) උපාධියත්, නෙදර්ලන්තයෙන් දේවධර්මය පිලිබඳ ආචාර්ය උපාධියකුත් දිනා ගත්තේය. බටහිර දර්ශනය සහ දේව ධර්මය හදාරන අතර එතුමාට බෞද්ධ දර්ශනය පිළිබඳව ද උනන්දුවක් ඇතිවිය. ඒ අනුව 1961 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පාලි සහ සංස්කෘත පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලැබූ එතුමා 1971 දී ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයෙන් බෞද්ධ දර්ශනය පිලිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තේ ය. එය එතුමා ගේ සමස්ත සේවාවේ පදනම බවට පත්විය.

මේ කාලය තුළ දී එතුමා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ගණනාවක බාහිර කථිකාචාර්ය වරයකු සහ ආරාධිත දේශකයකු ලෙස ක්‍රියා කළේය.

ඇලෝයි පීරිස් පියතුමා ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් වූයේ ලොව විශිෂ්ටතම කතෝලික සරසවියක් ලෙස සැලකෙන රෝමයේ ග්‍රෙගෝරියන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස 1972 දී පත් කරනු ලැබීමයි. එම සරසවියේ කථිකාචාර්ය ධුරයට තෝරාගනු ලබන්නේ ඉතා විශිෂ්ට අධ්‍යාපනික සුදුසුකම් ලද උගතුන් ය. එහෙත් ටික කලකින් එතුමා එම කථිකාචාර්ය ධුරයට සමු දුන්නේය.

“අපි ඉගෙන ගත්ත දේවලින් රෝමයට සේවය කරල හරියන්නේ නැහැ. ඒ අධ්‍යාපනයෙන් අපේ රටට සේවයක් කරන්න ඕනෑ…” ඇලෝයි පියතුමා ගේ සංවේදී හර්ද සාක්ෂිය කිව්වේ එහෙමය. මේ නිසා රෝමයෙන් සමුගත් ඔහු ලංකාවට ආවේ ය.

එතුමන් ගේ ජීවිතයේ වැදගත්ම කඩඉම හමුවුනේ එම අවස්ථාවේ ය. ලංකාවේ සේවාව කරමින් සිටිය දී රෝමයෙන් ඔහුට අපූර්ව ආරාධනාවක් ආවේය. ඒ ආරාධනාව ලැබුණේ වෙනත් කවරකුගෙන්වත් නොවේ. එකල කතෝලික සභාවේ නායකයා වූ සයවැනි පාවුළු පාප්තුමා ගෙන් මය.

දෙවන වතිකාන කතිකාව නමැති මහා කතෝලික ධර්ම සංගායනාව අවසන් කර (1962-1965) සභාවේ දොර ජනෙල් ලෝකයට විවර කළේ සවැනි පාවුළු පාප්තුමා ය. එම සංගායනාවේ දී ගත් විප්ලවීය තීරණ අතර ලෝකයේ කිතුනු නොවන වෙනත් ආගම් දෙස විවෘතව සහ සහෝදරත්වයෙන් බලන්නට තීරණය කිරීම ද විය. මේ අනුව බෞද්ධ-කතෝලික සංවාදයට සහ අධ්‍යයනයට පාදක වන බුද්ධි කේන්ද්‍රයක් පිහිටු විය හැකි තැනක් සහ පුද්ගලයෙක් ගැන පාප්තුමා සිතමින් සිටියේය. ග්‍රෙගෝරියන් විශ්ව විද්‍යාලයෙන් සමුගත් ලාංකික වියත් පියතුමා එතුමාට මතක් වුයේ එවිටය. ථෙරවාදී බුද්ධ ධර්මයෙන් පෝෂ්‍ය වූ ලංකාවේ එම කේන්ද්‍රය පිහිටුවීමේ වැදගත් කම ද ඒ සමගම එතුමාට කල්පනා විය. දෙවරක් කල්පනා කරන්නට අවශ්‍ය වූයේ නැත. ක්‍රිස්තු ධර්මයත් බුද්ධ ධර්මයත් ප්‍රගුණ කළ මේ පුදැදුරුවරයා ගේ මූලිකත්වයෙන් ලංකාවේ එම ආයතනය පිහිටුවීමට පාප්තුමා තීරණය කළේය.

මේ අනුව ෆාද ඇලෝයිට කතා කල පාප් තුමා දෙවන වතිකාන කතිකාවේ දැක්ම අනුව ලංකාවේ අන්තර් ආගමික සංවාද සහ අධ්‍යයන කේන්ද්‍රයක් පිහිටුවන්නැයි ආරාධනා කළේය.

එහෙත් ආරාධනාව කෙලින් ම රෝමයෙන් ලැබුනත් ලංකාවේ සභා නායකත්වයේ අනුමැතියකින් තොරව එය කරන්නට ඇලෝයි පියතුමා කැමති වූයේ නැත. ජේසු නිකායිකයකු වූවත්, රෝමයේ අනුමැතිය යටතේ පමණක් වුවද වැඩකරන්නට තමන්ට හැකියාව තිබුනත් සභා ධුරාවලිය සහ එය අනුගමනය කිරීමේ වැදගත්කම එතුමා දැන සිටියේ ය. මේ නිසා මේ යෝජනාවට ලංකාවේ කතෝලික සභා නායකයන් ගේ අනුමැතිය සහ අනුග්‍රහය අවශ්‍ය බව එතුමා අවධාරණය කළේය. එබැවින් ලංකාවේ සභා නායකත්වයේ අවසරයකින් තොරව එය ආරම්භ කළ නොහැකි බව, කියන්නට ඇති දේ කෙලින් ම කියන පියතුමා පාප් තුමාට දැන්නුවේය.

“ඒක සුළු දෙයක්. අපි කොළඹ අගරදගුරු තුමාට දන්වල අවසර අරන් දෙන්නම්” පාප් තුමා ගේ පිළිතුර එසේ විය.

පාප් වහන්සේට කීකරු වීමට රදගුරු හිමිවරු බැඳී සිටිති. මේ නිසා පාප්තුමා ගේ ඉල්ලීමක් කොළඹ අගරදගුරු තුමා ප්‍රතික්ෂේප නොකරනු ඇත යන්න ඔවුන් ගේ විශ්වාසය විය. එහෙත් හුදෙක් සහා ධුරාවලියේ උඩින් එන නියෝගයකට කීකරු වී සේවාවේ හරය ගැන අවබෝධයකින් තොරව ඊට අනුමැතිය ලබා ගැනීම පියතුමා ප්‍රතික්ෂේප කළේය.

“නැහැ. අනුමැතිය ලබා ගන්න ඕනැ මේ කාරනාව ගැන අවබෝධයක් ඇතිව මිස රෝමය ඉල්ලන නිසා නොවෙයි. මමම කතා කරල බලන්නම්. ඒ අනුව අවබෝධයක් ඇතිව ලංකාවෙන් අවසර දෙනවා නම් මේ සේවාව භාරගන්නම්” එතුමා රෝමයට පොරොන්දු විය.

එවකට කොළඹ අගරදගුරු තුමා වූයේ සිල්වත් එසේ ම උගත්, පැනවත් පැවිද්දකු වූ තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් ය. කාදිනල් කුරේ හිමියන් හමු වූ අපේ පියතුමා රෝමයේ ආරාධනය ගැන එතුමාට පැහැදිලි කළේය. යෝජිත කේන්ද්‍රයේ දැක්ම සහ මෙහෙවර ද එතුමා පෙන්වා දුන්නේය. තෝමස් කුරේ කාදිනල් හිමි පැරණි මොඩලයේ කෙනෙක් විය. එහෙත් වතිකාන කතිකා ධර්ම සජ්ජායනාවෙන් පෑයූ නව හිරු එළිය ඔස්සේ නව ප්‍රවණතා සහ අභියෝග අත්හදා බලන්නට එතුමා නිර්භීත විය. මේ නිසා කුරේ කාදිනල් හිමි මේ අන්තර් සාමයික කේන්ද්‍රයට සිය අවසරය දුන්නේය.

ඇලෝයි සිය ජීවිතයෙන් අවුරුදු 50 ක් ම ජීවත් වූ කැලණිය ගෝනවල පිහිටි “තුලන” ආයතනය ආරම්භ වුනේ එහෙමය. එය විවෘත කරන ලද්දේ 1974 ජුනි මාසයේ ය. එතුමා ජීවිතයේ 90 වැනි ජන්ම දිනය සමරන වසරේම සිය දරුවකු සේ හදාගත් “තුලන”, ජීවිතයේ අර්ධ ශතකය සමරයි.

‘තුලන’ ගැන වෙනම පර්යේෂණ කෘතියක් රචනා කල හැකිය. එහෙත් මේ ලිපියේ ඒ ගැන සුළුවෙන් හෝ සටහන් නොකලොත් එය අයුක්ති සහගතය.

කැලණියේ “තුලන” ආයතනය කුඩා වන අරණක් බඳු තුරු ලතා මඩුල්ලකින් සැදි සොඳුරු අසපුවකි. එම අසපුව තුළ ඇලෝයි පියතුමා ලාංකික චින්තනය පෝෂණය කල බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් ක්‍රිස්තු ධර්මයත්, කිතුනු නෙතින් බෞද්ධ දර්ශනයත් දකින්නට උත්සාහ කරයි. පියතුමා ගේ දුප්පත් සරල ගෙදරට ඇතුළුවන තැනම සරසන්නේ සිදුහත් කුමරු දුටු සතර පෙර නිමිති පිළිබිඹු කරන මුර්තියයි. අනෙක් අතින් සමේරියා ලිඳ ලඟදි සමරිතාන ස්ත්‍රිය ඉදිරියේ නැමී දිය කළයෙන් ගලා එන දිය සිය දෝතින් පානය කරන නාසරෙතයේ ජේසු ගේ මුර්තියකි. ඒවා දෙස බලාගෙන බොහෝ වෙලා බොහෝ දේ භාවනා කළ හැකිය. පියෙටා ලංකා, ජේසු ශ්‍රාවකයන් ගේ පාද දෝවනය කිරීම, තාප්පය, මරියාවන් ගේ අද්විතීය ගුණකඳ සිංහල කලාවට අනුව අඹා ඇති “ප්‍රඥාවේ ආසනය වන මරියාව” මුර්තිය ඒ අතර කිහිපයකි.

‘තුලන’ පුස්තකාලය ලොව ඉතා විරල බෞද්ධ පත පොතින් පවා පොහොසත් වූ දැනුම් ආකරයකි. ලෝකයේ කිසිදු තැනෙක සොයා ගත නොහැකි බෞද්ධ පොත්, තුලනින් සොයා ගත හැකි බව එහි පර්යේෂණ කටයුතු වලට පැමිණෙන විදේශීය ගිහි පැවිදි පර්යේෂකයෝ පවසති. මේ නිසා ලෝකයේ විවිධ පළාත් වලින් එන විද්‍යාර්ථින් තුලනේ දී නිතර මුණ ගැසිය හැකිය.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල, කිංග්ස් කොලේජ් සරසවිය, ලන්ඩන් විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්ව විද්‍යාලය, නෙදර්ලන්තයේ යුට්‍රෙඛ්ට් විශ්ව විද්‍යාලය ඇතුළු සරසවි රැසක විශේෂ දේශන වලට ආරාධනා ලද ඇලෝයි පියතුමා, රෝමයේ ග්‍රෙගෝරියන්, නාපොලියේ පාප් වහන්සේ ගේ දේවධර්ම පීඨය, පිලිපීනයේ ඇතිනියෝ ද මැනිලා විශ්ව විද්‍යාලය ඇතුළු විද්‍යාතන රැසක බාහිර කථිකාචාර්ය වරයකු ලෙස ද සේවය කර තිබේ. එතුමා කර්තෘත්වය දැරූ කෘති රාශියකි. මේ දක්වා එතුමන් ගේ කර්තෘත්වයෙන් නිකුත් කෙරෙන “වාග්දෙවි” (VagDevi) ත්‍රෛමාසික සංග්‍රහය කතෝලික ශාසන වේදය, දේවධර්ම ශාස්ත්‍රය, ඉතිහාසය, සභා නීතිය, සභා පියවරු වැනි විවිධ විෂයයන් ගැන පර්යේෂණ කරන විද්‍යාර්ථින්ට දැනුම් උල්පතකි.

මා ඇලෝයි පියතුමා ගේ වියත් බව මෙසේ සාරාංශ වශයෙන් හෝ කියන්නේ කාරනා දෙකක් අවධාරණය කරන්නට ය. එකක් නම් මේ වියතාණන් ගේ මහා නිහතමානි බවයි, ඒ ගැන මම කතා කළෙමි.

දෙවැන්න ශ්‍රී ලංකාවේ නිල කතෝලික සභාව තමන් සතු යම් අහංකාරකමක් නිසා හෝ අනවබෝධය නිසා හෝ එතුමා කොන් කර තැබීම හේතුවෙන් අද සභාව මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වය ගැන පහදා දෙන්නට ය.

බයිබලය එහි මුලාශ්‍ර භාෂා වලින් ම අධ්‍යයනය කළ ෆාද ඇලෝයි එහි එන මානව වීමුක්ති හරය ගැන ලිපි, පත්‍රිකා සහ පොත් රැසක් ම ලියා පල කරමින් සිටියේ ය. සහාව එතුමන් දෙස වපරැසින් බලන්නට සහ කොන් කරන්නට පටන් ගත්තේ ඒවා දෙස බලමිනි. ඒ කාලයේ සමාජ සාධාරනත්වය සහ යුක්තිය, මානව ගරුත්වය, ජනතාව ගේ විමුක්තිය වැනි කරුණු ගැන ගැන කතා කරන ගිහි පැවිදි පිරිස් “කොමියුනිස්ට් කාරයන්” ලෙස හඳුන්වන්නට සභාවේ බලය සහිත ඇතැම් කොටස් උත්සාහ ගත්තේය. ඇලෝයි පියතුමාට ද වූයේ ඒ සන්තෑසියමය.

සභාවේ ඇතැම් නායකයන් එතුමාට එරෙහිව දැඩි ලෙස අවි ගත්තේ ලතින් අමෙරිකාව පුරා හමා ගිය “විමුක්ති දේවධර්මවේදය” (Liberation Theology) ආසියාවට ගලපා ගන්නා ආකාරය ගැන පියතුමා ලියා පල කළ කෘතියක් නිසාය. An Asian Theology of Liberation නමැති එම කෘතිය පල කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල ක්‍රියාත්මක වෙමින් තිබූ 1988 දීය. මේ කෘතියේ භාෂාව කවරක් වුවද එහි කතා කරන ලද්දේ ශුද්ධ බයිබලයේ පුරාන ගිවිසුමෙන් පටන් ගෙන ක්‍රිස්තු දේශනය පුරා ගලා ආ, ආධ්‍යාත්මික මෙන්ම මානසික සහ ශාරීරික වහල් කමින්, පීඩනයෙන්, සූරාකෑමෙන් සහ මානව අයිතිවාසිකම් උදුරාගනීම වැනි විවිධාකාරයෙන් සිදු වන මර්දන වලින් මානවයාට විමුක්තිය ගෙන එන නිදහසේ පණිවිඩය ගැනය. ඒ ගැන ක්‍රියා කිරීමට සභාව ඉදිරියේ ඇති අභියෝගය ගැන ය. එහෙත් එය අවබෝධ කර ගැනීමට සභාවට හැකි වුයේ නැත. ඒ වෙනුවට හුදෙක් “විමුක්ති” යන වචනය නිසා ‘වමට බර’ හෝ කොමියුනිස් අදහස් ඇති හෝ පුද්ගලයන් ලෙස එතුමන් මෙන්ම ඒ අදහස් දරන සහ උගන්වන පූජකවරුන් දෙස සභාව බැලුවේය. සමහර විට 1988 භීෂණ සමය තුළ පොත පල වීම නිසා ෆාද ඇලෝයි ජවිපෙට දිරි දෙන බවට වුවද විශ්වාස කරන්නට ඇත.

එහෙත් කතෝලික සභා ඉගැන්වීමේ එන මානව දයාව ගලා එන්නේ මේ ඉගැන්වීම තුළිනි. දුප්පතුන්, පීඩිත ජනතාව, වහලුන් සහ විවිධාකාර අයිතිවාසිකම් උදුරාගනු ලැබූ ජනතාව සමග සහ ඔවුන් වෙනුවෙන් කතෝලික ජනතාව නැගී සිටිය යුතුය යන ප්‍රබල පණිවිඩය ගලා එන්නේ ක්‍රිස්තු ධර්මයේ එන මේ විමුක්ති කාමී ඉගැන්වීම තුලින් ය. ඉන් අවුරුදු 35කට පසුව වර්තමාන ලෝකයේ අභියෝග වලට කතෝලික ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමේ දී ප්‍රැන්සිස් පාප්තුමා පාදක කරගන්නේ එම ඉගැන්වීම් සමූහයයි.

ෆාද ඇලෝයි “වමේ’ කියා සිතූ නිල සභා නායකත්වය එතුමා සභාවේ නිල ක්‍රියාකාරකම් වලින් ඉවත් කර තිබිණි. විශේෂයෙන් ම පූජක ශිෂ්‍ය පුහුණුවෙන් එතුමා ඉවත් කර තැබිණි. මුළු ලෝකයේම දෙව්සත්හල් සහ කතෝලික සරසවි වල කථිකාචාර්ය වරයකු වූ එතුමාට ලංකාවේ කිසිම පූජක ශිෂ්‍ය කණ්ඩායමකට දේශනා පැවැත්වීමට ආරාධනා කළේ නැත. පෞද්ගලිකව හෝ එතුමන්ගෙන් ඉගෙන ගෙන එම ඉගැන්වීම අනුව ජීවත් වන්නට උත්සාහ කළ ඇතැම් පුජක වරුන්ට පූජක දිවිය හැර දා යන්න සිදු විය.
එහෙත් කතෝලික සභාව ප්‍රඥාවන්තව එතුමාට ලංකාවේ දෙව්සත්හල් වල දොරටු විවර කර තිබුනා නම්, ගිහි ජනතාව ඇමතීමට එතුමාට ඉඩ හැර තිබුණා නම්, මේ අර්බුද සමයේ කතෝලික සභාවේ ප්‍රතිචාරය මීට වඩා ප්‍රබල වන්නට ඉඩ තිබිණි. නිර්මාණශීලි වන්නට ඉඩ තිබිණි. කතෝලික සභාවේ සමාජ ධර්මයට අනුකුලව ගිහි, පූජක, පැවිදි සියල්ලන් හා එක්ව කරන අරගලයක් වන්නට තිබිණි. එසේ වූවා නම් පාස්කු ඉරිදා අපරාධය ඉදිරියේ සහ පොදුවේ ජනතා අරගලය ඉදිරියේ පස්සට යන, උදාසීන පූජක පිරිසක් වෙනුවට නාසරෙතයේ ජේසු ගේ, ජෝර්දාන්හි ස්නාවක ජුවාම් ගේ , එංගලන්තයේ තෝමස් මුවර්ගේ, එරටම තෝමස් බෙකට්ගේ, එල් සැල්වදෝරයේ ඔස්කා රොමෙරෝ ගේ පන්නරය ඇති අලස හෝ උදාසීන නැති, නිර්භීත පූජක පිරිසක් බිහි කරගන්නට තිබිණි යන්න අපගේ විශ්වාසයයි. එසේ වූවා නම් පාස්කු ඉරිදා අපරාධය ඇතුළු සියලු නොපනත්කම් වලට එරෙහිව සටන් කරන්නට කාදිනල් හිමියන්ට මීට වඩා බොහෝ පහසු වන්නට ඉඩ තිබිණි.ඊට හේතුව පූජකවරුන් සහ ගිහි ජනතාව එතුමන් ඉදිරියෙන් ගමන් කිරීමයි. එසේ සිතන විට දෙවියන් වහන්සේ විසින් ලංකාවේ කතෝලික සභාවට දුන් ලෝකයම පහන් කළ මේ ප්‍රඥාවේ තිළිණය ලංකාව නිසි ලෙස භාවිත කළේදැයි ෆාද ඇලෝයි ගේ මේ ද්විත්ව ජයන්තියේ දී කතෝලික ජනතාව සිතා බැලීම ය.

අපේ පැතුම, අප වැනි නොවටිනා මිනිසුන් ගේ ආයුෂ ද ලැබ තවත් බොහෝ දෙනෙකුට ආලෝකයක්, මගපෙන්වීමක්, ධෛර්යයක් වීම සඳහා ඇලෝයි පියතුමාට දීර්ඝායු ලැබේවා යන්නයි.

Ad multos annos ! චිරං ජයතු!

සමන් කපිල විජේසූරිය

එතෙර - මෙතෙර