වයස මාස තුනක් වනතුරු සුනඛ පැටවෙකු මවගෙන් සහ නිවුන් සහෝදරයන්ගෙන් වෙන් කිරීම නුසුදුසුයි – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඔබ ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතා පැටවුන් විසින් නොකළ යුතුයි යනුවෙන් ඔබ තීරණය කර තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය බොහෝ විටම දැකිය හැකි වන්නේ සාමාන්‍ය සුනඛ ගැහැනු සතකු ඇතිදැඩි කරන විටයි. නමුත් අභිජනනය කරන ලද සුනඛ ගැහැනු සතෙකුට සම වර්ගයේ පිරිමි සතෙකු සමග එකතුවී පැටවුන් බිහි කිරීමට සලස්වා සමහරු එය මුදල් උපයන මාර්ගයක් බවට පත්කරගෙන හිඳිනවා.
අප මේ කතා කරන්නේ ඔබේ සුනඛ ගැහැනු සතා පැටවුන් බිහිකිරීම අනවශ්‍ය නම් ඔබ කළ යුත්තේ කුමක්ද යන්න සහ තවත් කෙනෙකුට හදා වඩා ගැනීම සඳහා දෙන අදහසින් සුනඛ ගැහැනු සතාට පැටවුන් බිහි කිරීමට ඉඩ සලස්වන්නේ නම් එම පැටවුන් නිරෝගී සතුන් කර ගන්නේ කෙසේද යන්න ගැනයි.

සාමාන්‍යයෙන් සුනඛ ගැහැනු සතෙක් ගැබ් ගැනීම මාස හයකට වරක් සිදුවිය හැකි දෙයක්. අභිජනනය කරන ලද මිල වැඩි වර්ගයක සුනඛයකු නම් මාස හයකට වරක් නොව වසරකට හය වතාවක් පැටව් බිහිකළත් අයිතිකරුවන් බොහෝ විටම අකමැති වන්නේ නෑ . නමුත් අභාග්‍යයකට සාමාන්‍ය සුනඛ ගැහැනු සතෙකුට එම වාසනාව නෑ. එම සතාගේ හිමිකරුවන් එය කරදරයක් විදියටයි බොහෝවිටම සලකන්නේ. ඒ නිසාම තමයි ඇගේ පැටවුන් මහ පාරවල්වල තැන් තැන්වල දුක් විඳින්නේ.
ගැහැනු සතෙකුගේ සක්‍රීය දිනවලදී පිටස්තර පිරිමි සතුන් ඇය වෙත ආකර්ෂණය වීම ස්වභාවිකයි. නිවසක ඇති දැඩි කරන ගැහැනු සතෙක් මෙලෙස පිරිමි සතෙකු සමග එකතු වුවහොත් නිවැසියන් බොහෝසෙයින් කලබලයට පත් වී ගැබ් ගැනීම වළකාලිය හැකි ඖෂධ සොයා යන අවස්ථා තිබෙනවා. නිවසේ ඇති දැඩි කරන විශේෂිත ප්‍රභේදයක ගැහැනු සතෙක් දේශීය සුනඛයකු සමග මෙසේ එක් වුවහොත් ඊටත් නිවැසියන් කැමති වන්නේ නෑ. මේ නිසා සුනඛ ගැහැනු සතුන් පිරිමි සතුන් සමග එක්වූ පසු මිනිස් කාන්තාවන් සඳහා නිර්දේශිත ගැබ් ගැනීම් වළකාලන ඖෂධ, එන්නත් ආදිය ගැහැනු සතුන්ට දීමට සමහරුන් පෙළඹෙන අවස්ථා තිබෙනවා. එහෙත් එවැනි ක්‍රියා හේතුවෙන් සුනඛ ගැහැනු සතුන්ට වෙනත් බරපතළ රෝගී තත්ත්වයන් ඇති වීමට තිබෙන ඉඩකඩ වැඩියි. ගැබ් ගැනීම් වළක්වාලන්නට නිර්දේශිත ඖෂධවල අඩංගු වන හෝමෝන හේතුවෙන් සුනඛ ගැහැනු සතුන්ගේ ගර්භාෂයේ නොයෙකුත් ආසාදන මෙන්ම අසාත්මිකතා හට ගැනීමට ඉඩකඩක් තිබෙනවා. තවත් අවස්ථාවලදී පැටවුන් ටික දිනක් ගර්භාෂය තුළ වර්ධනය වී මිය යන අවස්ථාද ඇතිවිය හැකියි. මෙය එම සුනඛ ගැහැනු සතුන්ගේ ජීවිතයට පවා හානි ඇති කරවන තත්ත්වයක්.
තවත් සමහරුන් සුනඛ ගැහැනු සතුන් අනවශ්‍ය ලෙස ගැබ් ගැනීම වැළැක්වීමට හෝමෝන වර්ග එන්නත් කරන අවස්ථා තිබෙනවා. ඊස්ට්‍රජන් හෝමෝනය මෙලෙස ලබා දුන්නොත් සුනඛ ගැහැනු සතාගේ සක්‍රීය කාලය තවත් දිගුවීම නිසා තව තවත් පිරිමි සතුන් ආකර්ෂණය වීම සිදුවෙනවා. එවිට ගැහැනු සතා ගැබ් ගැනීමට ඇති ඉඩකඩ තව තවත් වැඩි වෙනවා.

ගැහැනු සතුන් සහ පිරිමි සතුන් කායිකව එක්වූ පසු ගැබ් ගැනීම වළක්වන ඖෂධ දීමෙන් පලක් වන්නේ නෑ. අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීමට ගැහැනු සතුන් ශල්‍යකර්මයකට භාජනය කළ හැකියි.
ගැහැනු සතුන්ගේ ප්‍රජනන කාලයේදී පිරිමි සතුන් සමග එක්වීමට නොහැකි වන සේ වෙන් කර රඳවා තබා ගැනීමද තවත් විසඳුමක්. වඳ සැත්කමක් කර නොමැති සතෙක් නම් ගත යුතු හොඳම පියවර මෙයයි.
එනිසා ඔබේ සුනඛ ගැහැනු සතා පැටවුන් බිහි කිරීම වළක්වා ගන්නට නම් මෙවැනි පියවරක් ගැනීම වැදගත් වෙනවා.
දැන් අපි ඊළඟ කරුණ වෙත යමු.
යම් සුනඛ ගැහැනු සතෙක් පැටවුන් බිහිකළොත් ඒ සුනඛ මව සහ පැටවුන් සැමදා එකම තැනක ජීවත්වීම බොහෝවිට සිදුවන්නේ නෑ. එසේ නම් මව සහ පැටවුන් කොපමණ කාලයක් එකට තැබිය යුතුද? එම වෙන්වීම පැටවාටත් මවටත් ගැටලුකාරී නොවන ආකාරයට සිදු කළ යුත්තේ කෙසේද ?
සාමාන්‍යයෙන් සුනඛ පැටවුන් ගේ වයස සති හතරක් ගත වූ විටදී කිරි වැරීම කළ හැකියි. නමුත් කිරි වැරූ සැණින් , සති හතරක් වැනි ළමා වියේදී පැටවුන් මවගෙන් වෙන් කිරීම සුදුසු වන්නේ නෑ. පැටවුන්ට තම මව සහ එකට උපන් සහෝදර සහෝදරියන් සමඟ සති 11 – 12ක්, එනම් මාස තුනක පමණ කාලයක් එක්ව ජීවත්වීමට ඉඩ සැලැස්වීමෙන්, සුනඛ පැටවුන් මතු කායිකව සහ මානසිකව නිරෝගී සුනඛයන් වීම සඳහා එය සෘජුවම බලපානවා.
යම් සුනඛ පැටවකු සති හයකට පෙර මවගෙන් හා සහෝදරයන්ගෙන් වෙන් කළ විට දී එය පැටවාට දැඩි මානසික පීඩනයක් ඇතිවීම සඳහා හේතු වෙනවා. මෙම මානසික පීඩනය සමග ඇතිවන ආහාර අරුචිය නිසා පැටවා ආහාර ගැනීමෙන් වැළකී සිටීමෙන් බර අඩුවීමත්, ඒ සමගම රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව හීන වීමත් සිදුවෙනවා.

ඉපදී සති හයේ දී සුනඛ පැටවුන් තමන්ගේ සමාජයේ ජීවත් වන ආකාරය, හැසිරෙන ආකාරය, එකිනෙකා සපාගන්නා විටදී ප්‍රතිරෝධය දැක්වීමට බිරීම, මගහැරීම වැනි ක්‍රියාකාරකම් මව හා සහෝදර සහෝදරියන් සමඟ එකට ජීවත් වීමෙන් ඉගෙන ගන්නවා. වෙනත් සතෙකු සපා කෑ විටදී එය පීඩාවක් බව එවැනි සිදුවීමක් තුළින්ම මිස පැටවෙකුට හඳුනා ගතහැකි වෙනත් ක්‍රමවේදයක් නෑ. එවැනි අත්දැකීම් හඳුනා ගැනීමට පෙර පැටවකු වෙන් කළ විටදී වැඩුණු පසු ඒ සතා මිනිසුන්වත්, වෙනත් සතුන්වත් සපා කන දරුණු සතෙකු විය හැකියි.
සති හයක්, හතරක් වැනි පුංචි වයසක දී පැටවෙකු හදා ගැනීමට වෙනත් අයකු රැගෙන ගිය විට මවගෙන් හා සහෝදරයන්ගෙන් වෙන් වීමේ පීඩනය අලුත් හිමිකරුවා කෙරෙහි තදබල බැඳීමක් ඇති කරවන්නක් බවට පත්වෙනවා. දැඩි බැඳීමක් ඇතිවූ කල අලුත් හිමිකරුවාගේ සුළු වෙන්වීමක් වුව පැටවාට දරා ගැනීමට අපහසු සංවේදී අවස්ථාවක් බවට පත්වෙනවා. එවැනි දැඩි මානසික පීඩාවක් ඇති වූ විට පැටවා රෝගී වීමට පවා එය හේතුවක් විය හැකියි.
කුඩා සුනඛ පැටවකුගේ නිරෝගී වර්ධනයට මෙන්ම සමාජමය ක්‍රියාකාරකම් නිසි ලෙස සිදුවීමටත් පැටවා මව හා සහෝදරයන් සමඟ සති දොළහක් වත් එකට ජීවත් වීමට ඉඩ සැලැස්විය යුතුයි. එහෙත් එම කාලය අතරතුරදි පැටවා බාර ගැනීමට සූදානමින් සිටින අය සතියකට වරක් හෝ දෙවරක්වත් පැමිණ පැටවා ඇසුරේ හිඳිමින් අන්‍යෝන්‍ය බැඳීමක් ඇති කර ගැනීම කළ හැකියි.
සති හතරක් ඉක්ම ගිය පසු බොහෝවිට සුනඛ මවට පැටවුන් කෙරෙහි දැඩි බැඳීමක් පවතින්නේ නෑ. ඒ අනුව සති හතරක් ඉක්ම ගිය පසු මඳින් මඳ කිරි වැරීම සිදුකර සති හය වන විටදී පැටවා ආහාරවලට පමණක් හුරු කරවිය හැකියි. එතැන් පටන් පෙර සඳහන් කළ ආකාරයට සති දොළහක්වත් මව සහ සහෝදරයන් ඇසුරේ ජීවත් වීමට ඉඩ සලස්වා ඉන් පසුව පැටවා වෙන්කර ගැනීම සුදුසුයි.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සැකසුම – ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය