සමාජ ආර්ථික සුනාමියේ පළමු රළ පහරට මුහුණ දෙමු  

ශ්‍රී ලංකාව මේ වන විට ලක් ඉතිහාසයේ සුවිසල්ම සමාජ ආර්ථික දෙදරීමකට ලක්ව තිබේ. මහ බැංකුව කෘත්‍රිමව සිරකරගෙන සිටි ඩොලරය සිය ග්‍රහණයෙන් අත හැරීමත් සමඟ එහි අගය රුපියල් 260 දක්වා දින දෙකක් තුළ ඉහළ ගියේය.නමුත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් කියා සිටියේ එය රුපියල් 230 නොඉක්මවවනු ඇති බව ය ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ ඉඳි කටුවේ සිට ආනයනික භාණ්ඩ සියල්ලගේම කිහිප ගුණයකින් මිල ඉහළ යාමට නියමිත ය.

මෙය අප රට මුහුණ දේන සමාජ ආර්ථික සුනාමියකි.එහි පළමු රැල්ලේදීම ලංකා ඉන්දියානු තෙල් සමාගම (අයි.ඕ.සි) ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූවේ ඉතිහාසයේ වැඩිම මිලකින් ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාව ලෙස සනිටුහන් කරමිනි. ඒ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් වශයෙනි..

මේ අනුව 204 ක් වූ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 254 දක්වා ඉහළ යනු ඇත. 139 ක් වූ ඩීසල් ලීටරයක් 214 දක්වා ඉහළ යනු ඇත. ඔවුන් භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන අලෙවි නොකරන බැවින් එහි මිල ගැන කතාවක් නැත. කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව ද ඉන්ධන මිල ඉහළ දැමීමට අවස්ථා ගණනාවක දී ඉල්ලීම් කළත් රජය ඉන්ධන මිල වැඩි කිරීමට අවසර දුන්නේ නැත.නමුත් ඒ පාඩුව මහ ජනතාවගේ සෙසු බදු මුදල් වලින් පියවා ගැනීමට ආණ්ඩුව වෙර දරනවා වන්නට පුළුවන.

ආණ්ඩුවේ තීරණය නිසා ඛනිජ තෙල් සංස්ථාව ද දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත. ඔවුන්ට ඉන්ධන ගෙන්වා ගැනීමට ඩොලර් නොමැති වීම මත දින ගණන් පවතින දිගු ඉන්ධන පෝලිම් ඇතිවිය. ගෑස් කර්මාන්තයට ද මෙම ආර්ථික අර්බුදය දැඩිව බලපා තිබේ. ගෑස් ආනයනයට ද මුදල් නොමැතිවී ම මත බරපත ගෑස් හිඟයක් ද මතුව ඇත. එම නිසා දීර්ඝ ගෑස් පෝලිම් වල සිට ජනතාව අඳෝනා නඟනු දැකිය හැකිය.එම පෝලිම් ආශිතව ජනපතිගේ වරුණ කියැවෙන “වැඩ කරන අපේ විරුවා” ගීතය ගැයීමේ සහ වැයීමේ නව සමාජ විලාසිතාවක් ද පැතිර යමින් තිබේ.

මේ සියළු ආර්ථික අර්බුදවලට මුල රටේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවය බව වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය අමන්ද මෙත්සිල කීවේ ය. මුලින්ම ආණ්ඩුව මහබැංකුව හරහා ඩොලරයේ අගය කෘත්‍රිම  ලෙස පාලනය කිරීමත් ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවන මිල රුපියල් 202 ක මට්ටමේ මාස ගණනක් රඳවා ගෙන සිටීමත් නිසා විදේශ ප්‍රේෂණ අඩුවිය.කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ ද ඩොලරය මහ බැංකුවේ ග්‍රහණයට නතු කරගෙන හිඳීමේ ප්‍රති විපාක අතිශය බරපතල බව ය.

විදෙස් ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයෝ දේශීය බැංකු හරහා මුදල් එවනවා වෙනුවට නිත්‍යානුකූල නොවන ක්‍රම මගින් ලංකාවට මුදල් එවීමට පෙළඹී සිටිති.. ඒ බැංකුව ඩොලරයට 202 ක් ගෙවද්දී නීත්‍යානුකූල නොවන ආයතන 240 ක් 250 ක් ගෙවීම හේතු කොට ගෙන ය. ලංකාවට නීත්‍යානුකූල  ලෙස එවන්නවුන්ට ඩොලර් වෙනුවෙන් සන්තෝෂම් පිරිනමන්නට ආණ්ඩුව අකමැත්තෙන් කැමති වුවද එය “දෙන්නම් කාසි” මට්ටමින් එහාට නොගිය නිසා ලංකාවට නීත්‍යානුකූල  ක්‍රම මගින්  ඩොලර් ආවේ නැත. මාස කිහිපයක් සිරකරගෙන සිටි ඩොලරය මහ බැංකුව එක් වරම නිදහස් කිරීම රබර් බෝලයක් දිය යට ඔබාගෙන සිට අත්හැරියාට සමාන විය.

එදා ඩොලරය මෙසේ මහ බැංකුව තුළ ” සිර නොකළේ “නම් ඩොලරයේ අගය රුපියල් 240 සීමාවේ පවත්වාගෙන යාමට නියමිතය තිබූ බව ද මහාචාර්ය අමන්ද මෙත්සිල කීවේය. කෙසේ නමුත් අද වන විට ලංකාව දැඩි මූල්‍ය පීඩනයකට ලක්ව සිටියි. එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවු බරපතලම තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් 1975 – 1977 කාලයේදී ද ඇති විය. ඒ එදා දැඩි ආනයන සීමා පැනවීම කරනකොට ය. එදා මිනිසුන්ට වගා කරගන්නට ඉඩම් තිබීම නිසා අල – බතල ටිකක් වගා කරගන්නට හැකි විය. එසේම දෙවෙන ලෝක යුද්ධ සමයේ අත්දැකීම් ද යම් දුරකට පැවැති පිරිසක් සිටීම ද එය දරා ගැනීමට ශක්තියක් විය. නමුත්, අද තත්ත්වය එහෙන් පිටින්ම වෙනස්ය.ඒ අනුව එදාට සාපේක්ෂව අද ජනතාව “නන්නත්තාර වීමේ”හැකියාව අතිශයින් ඉහළ ය

ඩොලර් අර්බුදය මූලික කොට ගෙන වත්මන් රජය ද භාණ්ඩ 367 ට ආනයන සීමා පැනවූවේය. එහි ඇපල්, දොඩම්, මිදි ආදිය ද තිබුණි. එදා සූබෝපබොගී භාණ්ඩ ලෙස මේවා සැලකුවද අද මේ සියල්ල අලෙවි කරන්නේ පදික වේදිකාවේ ය. මේ වෙනුවෙන් පදික වෙළෙඳ ප්‍රජාවක් ද බිහිව සිටියි. මේ සීමාවත් සමග ඔවුන්ගේ රැකියා අනතුරේ වැටී ඇත.එමෙන්ම අද වන විට වෙළඳ පළේ රාක්ක,අල්මාරි ප්‍රදර්ශනාගාර පිරී පවතිනුයේ ආනයනික භාණ්ඩ වලිනි.මතු ඒවා හිස්වීම මත එම ව්‍යාපාරිකයන් සේම ඒවා සම්බන්ධ රැකියා වල නියුතු ලක්ෂ ගණනක පිරිසක් අන්ත අසරණ අනාථ බවට පත් වනු ඇත.

රජයේ ආනයන සීමාවන් තුළ රේසරය, ඉටි පන්දම ආදී ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියකගේ මිල සිතාගත නොහැකි මිලකින් ඉහළ යාමට නියමිත ය. ඩොලර් අර්බුදය සෑම ක්ෂේත්‍රයකටම දැනී තිබේ. අතීතයේ ආර්ථික අර්බුදයක් පැමිණි විට එය ධනපති පන්තියට දැනුණේ නැත. ඉතිහාසයේ පටන්ම ආර්ථික අර්බුද දැනුණේ මධ්‍යම පන්තියට හා දුප්පතුන්ට ය. වර්තමානයේ ලංකාවේ තිබෙන ආර්ථික අර්බුදය ධනපති පන්තියට ද දැනී තිබේ.

ඒ මුදල් තිබුණ ද මිලදී ගන්නට භාණ්ඩ නොමැතිවීම හේතුවෙනි. මුදල් තිබුණත් ආහාර පිස ගන්නට ගෑස් නැත. වාහනයට ඉන්ධන නැත. කඩෙන් කෑම කනවා යැයි සිතා ගියද කඩ වසා ඇත්තේ එහි ආහාර පිසීමට ගෑස් නොමැතිවීම නිසාවෙනි. සුපිරි ආපන ශාලා පවා වසා දමන තත්ත්වයට පැමිණ තිබේ. විදුලි කප්පාදුවකට ද මේ අතර ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී සිටින්නේ ඩොලර් අර්බුදය මත ය.මේ අතර ළඟදීම විදුලි බිල ද නොසිතූ ලෙස ඉහළ යනු ඇත.ජල ගාස්තු ද එසේම ය.නිකම් ලැබෙන  අවට වාතයේ ඇති ඔක්සිජන් ටික පවා මුදලට ගැනීමේ ක්‍රමයක් දක්වාම මේ “සමාජ ආර්ථික සුනාමි ව්‍යසනය” දුර දිග යනු ඇත.

විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක්, ආනයන සීමා පවතින රටකට ආයෝජකයන් පැමිණෙන්නේ නැත. මේ නිසා නැවතත් ඩොලර් පැමිණිමේ මාර්ග අවහිර වන්නේය.එමෙන්ම දේශීයය භාණ්ඩ සහ සේවා විදෙස් වෙළඳ පළට ඉදිරිපත් කරන විධිමත් ක්‍රමවේද ද සැකසී නැත.

වත්මන් ආණ්ඩුව ඩොලර් හොයන ක්‍රම පසෙකලා ඩොලර් අහිමි වන ක්‍රම තෝරමින් සිටියි.නුදුරු අනාගතයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 300 ඉක්මවා යාම වැලැක්විය නොහැක.ඩොලරය ද රුපියල් 300 ට සීමාවට පැමිණීම වැලැක්විය නොහැක. මේ ආර්ථික අර්බුදයෙන් මිදීමට මාර්ගයක් සැලසුමක් ආණ්ඩුවට ඇති බවක් පෙනෙන තෙක් මානයක නැත.එහෙත්,ආණ්ඩුව මේ වන විට ද එය කරවන පවුල් කිහිපයේ සහ ඔවුන්ගේ ගජ මිතුරු ප්‍රකෝටිපතියන්ගේ අනාගත යහ පැවැත්ම සඳහා නම් තිරසාර සංවර්ධන වැඩ සටහන් දියත් කොට ඇති බව අතිශයින් පැහැදිලිය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර