සීගිරි යන ගමනේදී ම නැරඹිය හැකි පිදුරංගල

සීගිරිය නැරඹීමට යන ඔබ නොවැරදීම නැරඹිය යුතු සීගිරිය ආසන්නයේම පිහිටි තවත් සුන්දර ස්ථානයක් ගැනයි මේ විස්තර ගෙන එන්නේ.
මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීගිරිය ආසන්නයේ පිහිටි මෙය පිදුරංගල යි.
ඉනාමළුව සීගිරිය මාර්ගයේ ඉනාමළුව හන්දියේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිදුරංගල පිහිටා තිබෙනවා. පිදුරංගල රජමහ විහාරයට පිවිසීමට නම් සීගිරි පර්වතය නැගීම සඳහා ඇතුළුවන ස්ථානය පසුකර තවත් කිලෝමීටරයකට වැඩි දුරක් ඉදිරියට යා යුතුයි. සීගිරියේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 349 ක් පමණ වෙනවා. පිදුරංගල ඊට වඩා ටිකක් උසින් අඩුයි. සීගිරි පර්වතයට උතුරු දෙසින් පිදුරංගල පිහිටා තිබෙන්නේ. පිදුරංගල පර්වතයට නැගීම ආරම්භ කළ යුත්තේ පිදුරංගල රජමහ විහාරය අසලිනුයි.

සීගිරියටත් වඩා පැරණි ඉතිහාසයක් පිදුරංගලට තිබෙනවා. එය ක්‍රිස්තු පූර්ව 1 හා 2 වෙනි සියවස තෙක් දිව යන්නක්.
පිදුරංගලට මේ නම ලැබුණු ආකාරය ගැනත් අපූරු ජනප්‍රවාදයක් තිබෙනවා. සීගිරිය රාජධානිය කරගත් කාශ්‍යප රජතුමා පළවෙනි මුගලන් රජු සමග යුද්ධයට යාමට කලින් මේ විහාරයේ වැඩ කටයුතු නිමා කිරීම සඳහා රන් පූජා කළ බව පැවසෙනවා. රන් පිදූ ගල පසුව පිදුරංගල වී ඇති බවයි ඇතැම් ජනප්‍රවාද වලින් කියැවෙන්නේ. එසේම කාශ්‍යප රජතුමා සීගිරිය රාජධානිය කරගෙන සිටින සමයේ මෙම පිදුරංගල විශාල සංඝාවාසයක් සහ බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉදිකර රහතන් වහන්සේට පූජා කර ඇති බවද ඉතිහාස තොරතුරු මගින් අනාවරණය වී තිබෙනවා.

පිදුරංගලට නැගීම සඳහා ගමන ආරම්භ කරන ස්ථානයේ වම් පස පැත්තෙන් කාශ්‍යප ස්ථූපයේ නටබුන් දැකිය හැකියි. කාශ්‍යප රජු මිය යාමෙන් පසු එතුමා ආදාහනය කර තිබෙන්නේ මෙම ස්ථානයේ බවයි පැවසෙන්නේ.
පිදුරංගල පර්වතය පාමුල පිහිටි පිදුරංගල රජමහ විහාරය පැරණි ලෙන් විහාරයක්. සීගිරියේ මෙන් පැරණි චිත්‍ර එහි ද දැකගත හැකියි . මෙහි වර්තමානයේ පවතින විහාරස්ථානය ද වසර සියයකට වඩා පැරණි වන අතර එය ඉදි කර තිබෙන්නේ ශත වර්ෂ ගණනාවකට කලින් පැවති ඉපැරැණි විහාරයේ නටබුන් මැදි කරගෙනයි.
මෙම ගමනේ මුල් කොටසේදී ගල් පඩි සහ අත්වැට ආදිය තිබුණත් ඉහළට යන විට ඒ කිසිවක් නැති නිසා තරමක් අසීරුවෙන් තමයි පර්වතය මුදුනට ළඟා වීමට සිදු වන්නේ. සාමාන්‍යයෙන් සීගිරිය නඟිනවාට වඩා මෙහි නැගීම අසීරුයි. එසේ වුවත් පිදුරංගල දෙස් විදෙස් සංචාරකයන් අතර හරිම ජනප්‍රිය ස්ථානයක්.

ඓතිහාසික ලෙන් විහාරවල නටබුන් මේ ගමනේදි දැකගන්න පුළුවන්. මේ වටිනා ඓතිහාසික උරුමයන් නිදන් හොරු විසින් විනාශ කර තිබෙනවා. මැටි ගඩොල් හා හුණු මිශ්‍ර ව සෑදූ අඩි 49 ක පමණ දිගින් යුතු සැතපෙන පිළිමය නිදන් හොරු හාරා ඇති ආකාරය ඇත්තෙන්ම හරිම සංවේගජනකයි.
පර්වතය මුදුනට ගිය විට සීගිරිය ඉතාමත් අලංකාර ලෙස දැකගත හැකියි. ඒ වගේම සීගිරියට ගිය විටත් පිදුරංගල ඒ අයුරින්ම සුන්දරව දිස් වෙනවා. එසේම අනෙක් පැත්තෙන් රිටිගල කඳු පන්තියත් මැනවින් දැකගත හැකියි.මෙම පර්වතය තරණය කරන්නට සාමාන්‍යයෙන් පැයක විතර කාලයක් ගත වෙනවා.
උදේ පාන්දරින්ම ගියොත් හිරු නගින ආකාරය ඉතාමත් දර්ශනීය අන්දමින් මේ කඳු මුදුනේදී දැකබලා ගන්න පුළුවන්. ඒ වගේම සවස් කාලයට හිරු බැස යන අන්දමත් එලෙසින්ම ඉතාම සුන්දර ලෙස දිස් වෙනවා. නමුත් එතරම් උදේ හෝ සවස් කාලයේ යනවා නම් විදුලි පන්දමක් වැනි දෙයක් රැගෙන යා යුතුයි.

සීගිරිය වගේම පිදුරංගලත් මුදුනත පැතලි ස්වභාවයෙන් යුතුයි. සාමාන්‍යයෙන් මෙම මුදුනත අක්කර කිහිපයක භූමි භාගයක් සහිත විශාල ප්‍රදේශයක්. නමුත් මෙම පර්වතය යම් ආනතියකින් යුතු ව පිහිටා තිබෙන නිසා මෙහි ඇවිදීමේ දී ප්‍රවේශම් වීම වැදගත්. එසේම පිදුරංගල පර්වතය මුදුනේ උසම ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටබුන් දැකගත හැකියි.
මෙවැනි සුන්දර ස්ථානවලින් අපේ රට ඉතාමත්ම පොහොසත්. මේවා නැරඹීමට යන ඔබ අද ලබන ආශ්වාදය මතු පරපුරටත් එලෙසින්ම විඳින්නට නම් ඔබ එම පරිසරය ආරක්ෂා කළ යුතුයි. එනිසා ඉතා වැදගත් වන්නේ ඔබ ගෙනයන කිසිවක් අඩුම තරමින් කඩදාසි කැබැල්ලක්වත් එහි නො දමා ආපසු රැගෙන ඒමයි. එමගින් ඔබ පරිසරයට කරන්නේ මහඟු සේවයක්.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

 

හරිත දනව්ව