සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, ගොන්ගල කන්ද

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, තවමත් දේශීය සංචාරකයන්ගේ වැඩිපුර ඇස නොගැටුණු ඉතාමත් සුන්දර කඳුකර ප්‍රදේශයක් සොයාගෙන අපි මේ යන්නෙ. මේ ගොන්ගල කන්ද.
සබරගමු පළාතට, ඌව පළාතට සහ දකුණු පළාතට මායිම් වූ ගොන්ගල කන්ද එක් පැත්තකට මායිම් වන්නේ සිංහරාජ වැසි වනාන්තරයටයි. මෙය සිංහරාජ වනාන්තරයෙන් හුදෙකලා වූ කඳු ප්‍රදේශයක්. දෙනියාය නගරයට ආසන්නයේ පිහිටා තිබෙනවා.
උසින් ලංකාවේ පහළොස්වෙනි කන්ද ලෙස සැලකෙන ගොන්ගල කන්දේ උස මුහුදු මට්ටමේ සිට අඩි 4458 ක්. මෙයට ගොන්ගල යන නම ලැබී ඇත්තේ මෙහි මුදුනත ගොනෙකුගේ හිසට සමාන පෙනුමකින් යුතු ගල් පර්වතයකින් යුක්ත වන නිසයි. ඒ වගේම මෙම කැලෑ ප්‍රදේශයේ අතීතයේ විශාල වශයෙන් ගෝනුන් වාසය කළ බවත් ඒ නිසා මෙය ගෝන්ගල වී පසුව ගොන්ගල වූ බවටත් ජනප්‍රවාදයක් තිබෙනවා.

ගොන්ගල කන්දට යා යුත්තේ කොහොමද කියලා අපි දැන් බලමු.
පැල්මඩුල්ල, මාදම්පේ රක්වාන හරහා සූරියකන්දට ඇවිත් එතැනින් හේස්වත්තට පැමිණිය යුතුයි. හේස්වත්ත නමින් හඳුන්වන්නේ විශාල වතු යායක්. අක්කර දහස ඉක්මවන තේ වගාවක් වගේම අක්කර 600 ඉක්ම වූ එනසාල් වගාවක් මේ වතුයායට අයිතියි. ඇඹිලිපිටිය පැත්තෙන් එනවා නම් සූරියකන්ද පාරෙන් දෙනියායට ඇවිත් එතැනින් හේස්වත්තට ළඟා විය හැකියි. මාතර සිට ආවත් ගාල්ලේ සිට ආවත් දෙනියායට පැමිණ ඒ ඔස්සේ හේස්වත්තට යා යුතුයි.
හේස්වත්තේ සිට ගොන්ගල කන්ද තරණය කිරීම සඳහා ඔබට යාමට සිදු වන්නේ දුෂ්කර මාර්ගයක. ෆෝවීල් වාහනයකින් මේ මාර්ගයේ යාමටත් පුළුවන්. ඊටත් වඩා පහසුයි මෝටර් සයිකල්වලින් යන එක. මේ මාර්ගය කෙළවර වන්නේ නාවික හමුදාවේ ප්‍රධාන සන්නිවේදන පද්ධතිය සහ රූපවාහිනී නාලිකා 10 ක වගේම ගුවන් විදුලි නාලිකා 28ක විකාශන කුළුණු සවි කර තිබෙන අධිආරක්ෂිත කලාපයකින්. අපේ රටේ වැඩිම විකාශනාගාර කුළුණු ප්‍රමාණයක් සවිකර තිබෙන්නේ මෙම ගොන්ගල කඳු පන්තියේයි. හේස්වත්තෙන් ගමන ආරම්භ කළ තැන සිට මේ දක්වා දුර කිලෝමීටර් හතක් පමණ වෙනවා. මෙතැන් සිට ඉදිරියට ගොන්ගල කඳු මුදුන දක්වා යාමට නම් නාවික හමුදාවේ විශේෂ අවසරයක් ලබා ගත යුතුයි. හැන්දෑවේ හයෙන් පසුව උඩට යාමට අවසර ලැබෙන්නේ නෑ. ඔබ පැමිණි වාහනය හෝ මෝටර් සයිකල් මෙතැන නතර කර එතැනින් දුෂ්කර අඩිපාරක් ඔස්සේ ඉදිරියට යන්න වෙනවා. මේක ඝන කැලෑවක් මැදින් වැටුණු අඩි පාරක්. මේ පාරේ ගොන්ගල කන්දට කි. මී. තුනක පමණ දුරක් තිබෙනවා. මේ ගමනේදී ඔබට කූඩැල්ලන්ගේ අතවරවලටත් ලක්වන්නට සිදුවේවි. කොහොම වුණත් පැයක් එකහමාරක් වගේ කාලයක් ඔබට මේ පාරේ ගොන්ගල කන්දට යාමට ගතවිය හැකියි.

ගොන්ගල කඳු පන්තියට කඳු තුනක් අයත්. මෙයින් උසම කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 1359 ක උසකින් යුතුයි. කඳු මුදුනට ගියාම වටපිටාවේ දකින්නට ලැබෙන්නේ අතිශයින්ම චමත්කාරජනක දර්ශනයක්. දේශගුණයත් හරිම සිසිල් සුවදායක බවකින් යුතුයි. එය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 14 – 23 දක්වා පමණ වෙනවා. ගොන්ගල උසම කඳු මුදුනට ගියාම දකුණු පළාතම දකින්න ලැබෙනවා. ඒ වගේම ඌව පළාතේ හපුතලේ, මොනරාගල , බදුල්ල වගේම නමුණුකුලත් තවත් පසෙකින් දැක ගන්න පුළුවන්. නොපෙනෙන මානය තෙක් විහිදී ගිය සිංහරාජ අඩවිය, මෝනිංසයිඩ් කඳු දෙකක් ද ඉතාම සුන්දර ලෙස මෙතැනට දර්ශනය වෙනවා. ගොන්ගල උසම කන්ද සබරගමු පළාතේ තියෙන උසම කන්ද විදිහට සලකන්න පුළුවන්.

ගිං ගඟෙහි ප්‍රධාන ජල පෝෂකයත් ආරම්භ වන්නේ මෙතැනින්. සීතල සුවදායක ජල ධාරාවක් වන මෙය තමයි ගොන්ගල නගින විට හමුවන අවසන් ජල ධාරාව.
ගොන්ගල කඳු පන්තිය ආශ්‍රිතව අපේ රටට ආවේණික පක්ෂ විශේෂ 33 ම දැක ගන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ ඉහළ කඳුකරයේ පමණක් දැක ගන්නට ලැබෙන ආවේණික පක්ෂීන්ද මෙම කඳු පන්තිය ආශ්‍රිතව වාසය කරනවා. ඊට අමතරව අපේ රටේ හමුවන උභය ජීවීන් විශේෂ 122 න් 40 කට වැඩි ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. අනෙක් විශේෂිතම දෙය නම් මේ ප්‍රදේශයේම පමණක් ජීවත්වන අං කටුස්සන් වර්ග දෙකක් වාසය කිරීමයි. රක්වාන කඳු පන්තියට අයත් මෙම ගොන්ගල කලාපය විශේෂයෙන්ම ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමකින් යුතුයි.
කන්දේ ඉහළ සංචාරකයන්ට කෑම්පින් කළ හැකි ස්ථානද තිබෙනවා. නමුත් වැදගත්ම දේ මේ ගමන් වලදී ඔබ මෙම පරිසරය ආරක්ෂා කිරීමයි. සමහරු ඉවත දමන අපද්‍රව්‍ය වගේම තමන්ගේ සනීපාරක්ෂක කටයුතවලදීත් ගිං ගඟ ජල පෝෂක දිය දහරාව භාවිතා කරමින් එය අපවිත්‍ර කරන බව දැනගන්නට තිබෙනවා. මෙය බීමට සුදුසු ඉතාම පිරිසිදු සිසිල් ජල ධාරාවක්. එය මෙලෙස අපවිත්‍ර කිරීම මොන තරම් අශිෂ්ඨ අයෝග්‍ය දෙයක් දැයි විශේෂයෙන් දේශීය සංචාරකයන්ට වැටහිය යුතුයි. අනෙක් විශේෂම දෙයක් නම් මෙහි ගසක අත්තක්වත් කපා නොදැමීමයි. මෙම සංවේදී පරිසර කලාපවල ඇතැම් විට අපේ පියවි ඇසට පවා නොපෙනෙන ජීවීන් වාසය කරනවා. මේ පරිසරයට සොබා දහමට ඒ හැම දෙයක්ම එක සේ වැදගත්. එනිසා අපේ රටේ මෙවැනි සුන්දර ස්ථාන දැක බලා ගන්නට යන ඔබ එය නැරඹීම හැර කිසිදු ආකාරයක හානියක් නොකිරීමට වග බලා ගැනීම මේවායෙහි පැවැත්ම එයාකාරයෙන්ම තිබීම සඳහා අතිශයින්ම අවශ්‍ය වෙනවා. පරිසරය රස විඳින්නා පරිසරයට ආදරය කිරීමටද ඉගෙන ගත යුතුයි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව