‘හොර කපුවන් කට්ටඬින් හා හොර වෙදුන් ගෙනුත් බදු අය කරනු’ දිවයින කතු වැකියෙන් අපූරු යෝජනාවක්

 

ස්ටෑන්ඩ් අප් කොමඩි නම් වන සමාජයේ එතරම් සාකච්ඡාවකට ලක් නොවූ මාතෘකාවක් මේ වන විට සමාජ කරලියට පැමිණ තිබේ.ඒ පසුගිය අප්‍රියෙල් පළමු වන දා නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවක විසින් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳව සඳහන් කරමින් “සුද්දෝධනගේ පොඩි එකා උපන් ගමන් ඇවිද්දා කවියකුත් කිව්වලු”ආදී වශයෙන් වන අවිචාරවත් ප්‍රකාශයක් සමාජ ජාලා මඟින් පැතිර යාම පදනම් කර ගනිමිනි.

සිදුහත් උපත පිළිබඳ එම වෘත්තාන්තය ජනතාවගේ විස්මයාර්හ භක්තිය දැනවීම පිණිස හින්දු සහ මහායාන පුරාණෝක්ති ඇසුරින් බුද්ධ වංස අටුවාව ආදී පසුකාලීන කෘති මඟින් පැවසෙන්නක් මිස මූලික බුදු සමය හා කිසිදු සබැඳියාවක් නොමැත්තක් බව ධර්ම ශාස්ත්‍රීය වශයෙන් අනාවරණය වී තිබේ.එමෙන්ම එම වීඩියෝව දුටු පමණින් මගේ සිතට ද එක් කුකුසක් පිවිසුණි.ඒ එම කාන්තාව සුද්දෝධනගේ පොඩි එකා යනුවෙන් හඳුන්වනුයේ කවුරුන්ද?යන්නය.මක් නිසාද යත් සුදොවුන් රජුගේ බාල පුතු( ඇගේ වදන් වලට අනුව පොඩි එකා) නන්ද කුමරුන් මිස සිදුහත් කුමරුන් නොවන බැවිනි.එබැවින් තව දුරටත් ඒ මාතෘකාවේ එල්ලී හිඳීම වචන සහ කාලය නාස්ති කරවන්නක් බැවින් පසුගිය දා මගේ තෙත ගැටුණු ඉංගිරිසි ව්‍යවහාරයට අනුවම කිව හොත් “පන්ච් ලයින්” එකක් ගැන යමක් ලිවීමට සිතුණි.මේ මගේ “පන්ච් ලයින්” එක මගේ නෙත ගැටුණේ පසුගිය 02 දා දිවයින පුවත් පතේ කතු වැකියෙනි.එහි මෙසේ සඳහන් වෙයි.

.”……..යන්තර මන්තර වැඩ කරන කපුවෝ ද වශී ගුරුකම් කරන වැඩකරන සහ නූල් පන්නන හොර කපුවෝ ද යනාදිය වශයෙන් කොටස් දෙකක් ලංකාවේ සිටිති. මේ කපුවෝ ස්වකීය දේවාල හරහා මාසිකව රුපියල් කෝටි ගණන් උපයති. එහෙත්, ඔවුන් කවදාවත් තඹ සල්ලියක බද්දක් රටට ගෙවන්නේ නැත. මීට අමතරව විශ්ව ශක්තියෙන් ලෙඩ සනීප කරන ප්‍රාතිහාර්යකාරයෝ ද ඉතා බහුල ලෙස මේ සමාජයේ සිටිති. මෙවැනි එක විශ්ව ශක්ති කාරයෙක් භූතයෙක් එලවන්නට රුපියල් විසි පන් ලක්ෂයක් අය කරන අවස්ථා තිබේ. අද කාලයේ දකුණෙන් මන්තරකාරයන් ගෙන්වා තොවිලයක් නැටීමට රුපියල් ලක්ෂ ගණනක් අවශ්‍ය ය. එසේම කිසිම පිළිගත් වෛද්‍ය ක්‍රමයකින් තොරව රාත්‍රී කාලයේදී දෙවියකු හෝ යකකු විසින් තමන්ට සිහිනෙන් කියූ බෙහෙතක් අඹරා එය රුපියල් තිස් හතළිස් දාහකට අලෙවිකර ලෙඩ සුවකරන බව කියන ව්‍යාජ වෛද්‍යවරු ආණ්ඩුවට සත පහක්වත් බදු නොගෙවති. අලුත් බදු ක්‍රමයක් සැකසීමේදී ඉහත සඳහන් සමාජ ස්ථර ගැන ඇගයීමක් කරන ලෙස අපි රජයෙන් ඉල්ලමු”.(උපුටා දැක්වීම අවසන්)

මේ වන විට රාජ්‍ය ආදායම තර කර ගැනීමේ ප්‍රධානතම ක්‍රමයක් වන බදු සංශෝධනය කෙරෙහි බලධාරීන් ගේ දැඩි අවධානය යොමු වී තිබේ.ඒ සඳහා වර්ත්මාන සමාජ ආර්ථිකය අනුව කෙසේවත් ධනවත් සේ සැලකිය නොහැකි විද්වත් වෘත්තිකයන් පවා බදු දැලට හසු කර ගැනීමට රජය කටයුතු යොදා ඇත.ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසා සිටිනුයේ එම බදු ක්‍රමය යටතේ තමන්ට හිමි වී ඇති සමාජ තත්වය කෙසේ වත් ආරක්ෂා කර ගත නොහැකි බව ය.ඒ අනුව ඒ සඳහා ඇති එකම විකල්පය රට හැර යාම බව ද ඔව්හු කියති.

මෙවන් පසුබිමක් යටතේ පසුගිය කාලයේ රූපවාහිනී මාධ්‍ය මඟින් ජ්‍යොතිෂ තරුවක් බවට පත් එක් පුද්ගලයෙකු තම පුතුගේ උපන් දිනය වෙනුවෙන් අති නවීන ලැම්බෝගිනි මෝටර් රථයක් තෑගි දෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයක තිබිණ.මීට අමතරව යූටියුබ් ආදී සමාජ ජාල මඟින් සමාජය හමුවට එන මේ තාලයේ “අංකූරෝ” ද මේ වන විට අයුතු හා නොවිධිමත් ආදායම් මඟින් අප සමාජය තුළ ගොඩ නැඟෙන නව ධනේෂ්වරයට පය ගසා සිටිති.මෙම දිවයින කතු වැකිය යෝජනා කරන්නේ ඔවුන් ද රජයේ බදු දැලට හසු කර ගත යුතුය යන්න ය.

ගණිකා වෘත්තිය නීතිගත කොට ඇති රටවල ගණිකාවන් ගෙන් ද රජය බදු අය කර ගන්නා බව නොරහසකි.අප රටට ද එය ආදේශ කර ගත හැකි බවට පක්ෂ විපක්ෂ දේශපාලනයෙන් නැඟෙන හඬ දිනෙන් දින ඉහළ නැංවෙනු පෙනෙයි.මෙවන් තත්වයක් තුළ  දිවයින කතු වැකියේ “පන්ච් ලයින්” එක මඟින් යෝජනා කොට ඇති පිරිස රජයේ බදු දැලට හසු කර ගැනීමේ කතාව ගත යුත්තක් ඇති යමක් ලෙස දකිනුයේ අද වන විට අප රටේ දක්නට ලැබෙන අනේක විධ ස්ටෑන්ඩ් අප් කොමඩි අතුරින් එහි යම් දාර්ශනික හරයක් ඉස්මතු කර ගත හැකි බැවිනි.

දනට රජයේ බදු ජාලය විස්තාරණය වී ඇති අන්දමට පොඩි මිනිහා ගේ සුරාව ලෙස ජන සම්මත විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට ගල් අරක්කු ලෙස හැඳින්වෙන අති විශේෂ වර්ගයේ මත්පැන් බෝතලයක වෙළෙඳපොළේ රුපියල් 2940/=කි.එහෙත් එහි අඩංගු මත්පැන්වල ද්‍රව්‍යමය හා නිශ්පාදන වටිනාකම රුපියල් 294/- ක් පමණි.එම රුපියල් 294/- ක මුදල පැත්තට දැමූ විට ඉතිරි අගය වන රුපියල් 2646/- මුදල රජය පනවා ඇති සුරා බද්ද, වැට් බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ආදී බදු වලට සහ මත් පැන් නිෂ්පාදන සමාගමේ ලාභය සඳහා වෙන්කර ඇති බව අනාවරණය වෙයි.

මේ ආකාරයෙන් ඉහත දිවයින කතු වැකියෙන් පැවසෙන අන්දමට යන්තර මන්තර වැඩ කරන කපුවෝ ද වශී ගුරුකම් කරන වැඩකරන සහ නූල් පන්නන විශ්ව ශක්තියෙන් ලෙඩ සනීප කරන ප්‍රාතිහාර්යකාරයෝ කිසිම පිළිගත් වෛද්‍ය ක්‍රමයකින් තොරව රාත්‍රී කාලයේ දී දෙවියකු හෝ යකකු විසින් තමන්ට සිහිනෙන් කියූ බෙහෙතක් අඹරා එය රුපියල් තිස් හතළිස් දාහකට අලෙවිකර ලෙඩ සුවකරන බව කියන ව්‍යාජ වෙද්දු ද සමාජයෙන් තුරන් කළ නොහැකි නම් ඔවුන් යම් වර්ගීකරණයකට ලක් කොට ඔවුන් බදු දැලට වත් නතු කර ගත යුතු ය.නමුත් ඔවුන් සතු යම් යම් ගුප්ත ශක්තීන් යොදා ගනිමින් ඒ බදු දැලෙන් පැන යාමට ඔවුනට හැකි වෙතැයි කිසිවකුත් බිය විය යුතු නැත.ඒ වැදගත් ආකාරයෙන් ම කිව හොත් ඔවුන්ට තම ගුප්ත හාස්කම් බලය යොදා ගෙන වැඩි මනත් දේවල් කෙසේ වෙතත් සුනඛ පශ්චාත් භාගයක රෝම කූපයක් වත් සෙලවිය නොහැකි බැවිනි.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට