රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.කොමසාරිස්වරයා සඳහන් කළේ, සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
ඊට පෙර පසුගිය සතියේ CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද, ඔවුන් එදිනට පැමිණිය නොහැකි බව දන්වා වෙනත් දිනයක් ඉල්ලා තිබුණි. ඒ අනුව අදාළ විමර්ශන සිදුකරන ස්ථාන භාර නිලධාරීවරයා ඇතුළු CID නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ පෙනී සිටින ලෙස යළි දැනුම් දී ඇත.මෙම විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය දිනවල CID වෙත ගොස් සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටින තවත් සැකකරුවන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබේ.ඊට අමතරව ඊයේ (08) දිනයේ ද සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇත. CID භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් සිටියදී සලේ මහතා උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බවට ද වාර්තා වේ.සුරේෂ් සලේ මහතා පසුගිය 2026 පෙබරවාරි 25 වන දින අලුයම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව CID විසින් පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ නීතිඥ මඩුල්ල විසින් අධිකරණය හමුවේ CID භාරයේදී අමානුෂික වධහිංසා සිදුකළ බවට චෝදනා කර ඇති අතර, ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස නියෝග කර තිබේ.