ඉරාන සාම සාකච්ඡා සාර්ථක වෙයි ද?


ඉරාන යුද්ධය ළඟදීම අවසන් වනු ඇති බවට ලොකු විශ්වාසයක් පසුගිය සති අන්තයේ ලොව බොහෝ පාර්ශ්ව තුළ ඇති වී තිබෙනු දැකිය හැකි විය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඇමරිකානු නිලධාරීන් මෙන්ම ඉරානයේ නිලධාරීන් ද, මෙම ගැටුම සමතයකට පත්කිරීමට මැදිහත් වෙමින් සිටින පාකිස්තානයේ නිලධරීන් ද කර තිබූ ඇතැම් ප්‍රකාශ මෙයට හේතු විය. මේ වනවිට ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන් අනතුරේ හෙලා ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ ප්‍රශ්නය ද නිරාකරණය වනු ඇති බවට අදහස් සංසරණය වූයේය. ඒ සමග ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල ද මඳක් පහත වැටෙනු දැක ගන්නට ලැබිණි.

පසුගිය සෙනසුරාදා (23 වැනි දා) ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සමග බොහෝ දුරට එකඟතාවන්ට එළැඹ ඇති බව සහ ඒ පිලිබඳ වැඩි විස්තර ළඟදීම ප්‍රකාශයට පත් කරන බව ය. හෝමුස් සමුද්‍ර සන්ධිය ඉක්මනින් නැවත විවෘත වනු ඇති බවට ද ජනාධිපතිවරයා ඉඟි කර තිබිණි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ
ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ

ඒ අතර ඉරාන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මායෙල් බාකෙයි ද මීට සමාන ප්‍රකාශයක් කළේය. ඔහු ද සඳහන් කළේ ඇමරිකාව සහ ඉරානය බොහෝ දුරට එකඟතාවන්ට ළඟා වෙමින් සිටින බව යි.

ඇමරිකාව සහ ඉරානය අතර මුලින්ම ඇතිවන්නේ අවසන් සාම ගිවිසුමක් නොවන බවත්, ආරම්භයක් ලෙස ඔවුන් අතර මුලින්ම යම් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇති බවත් බොහෝ මාධ්‍ය වාර්තා අනුව පෙනෙන්නට තිබිණි. සටන් විරාමය තව දින 60 කින් දීර්ඝ කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම මෙම අවබෝධතා ගිවිසුම අනුව ක්ෂණිකව සිදු විය හැකි බවක් මේ බොහෝ වාර්තාවලින් ප්‍රකාශ විණි.

ඒ ආසන්න දිනවල ඇමරිකා- ඉරාන සාම සාකච්ඡාවල විශාල ප්‍රගතියක් සිදූ වූ බව මැදිහත්කාර පාකිස්තානයේ නිලධාරීන් ද සඳහන් කර තිබෙනු දැකිය හැකි විය.

ඇමරිකාව සහ ඉරානය අතර මුලින්ම ඇතිවන්නේ අවසන් සාම ගිවිසුමක් නොවන බවත්, ආරම්භයක් ලෙස ඔවුන් අතර මුලින්ම යම් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇති බවත් බොහෝ මාධ්‍ය වාර්තා අනුව පෙනෙන්නට තිබිණි. සටන් විරාමය තව දින 60 කින් දීර්ඝ කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම මෙම අවබෝධතා ගිවිසුම අනුව ක්ෂණිකව සිදු විය හැකි බවක් මේ බොහෝ වාර්තාවලින් ප්‍රකාශ විණි.

කරුණු 14 කින් සමන්විත ඉහත කී මූලික අවබෝධතා ගිවිසුම මත පදනම්ව සාම සාකච්ඡා තවදුරටත් ඉදිරියට යනු ඇති බවක් ද ප්‍රකාශ වී තිබිණි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, ඉරානයට එරෙහිව ඇමරිකාව පනවා ඇති සම්බාධක වැනි වඩාත් ගැටලු සහගත කාරණා ගැන එම සාකච්ඡා ඉදිරියට යද්දී එකඟතාවන්ට එළැඹෙනු ඇති බවක් ද සඳහන් විය.

කෙසේ හෝ වේවා, පසුගිය සති අන්තයේ තිබූ මෙම සුබදායක, බලාපොරොත්තු සහගත තත්වය ඉක්මනින් වෙනස් වූයේය. ඒ පසුගිය සඳුදා (25) රාත්‍රියේ ඇමරිකාව ඉරානය ඉලක්ක කර නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ය. ඇමරිකාව මෙම ප්‍රහාරය එල්ල කළේ පසුගිය අප්‍රේල් 8 වැනි දින ඉරානය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙමින් තිබියදී වීම බරපතල කාරණයක් විය.

මෙම ගුවන් ප්‍රහාරය එල්ල වූයේ දකුණු ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ බන්දාර් අබ්බාස් වරාය ආසන්න ප්‍රදේශයට යි. ඉරාන නාවුක හමුදා කඳවුරක් ද මෙහි ඇති බව සඳහන් ය. ඇමරිකානු හමුදා අංශ ප්‍රකාශ කළේ ඉරානයේ මිසයිල මධ්‍යස්ථාන සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ස්ථානගත කිරීමෙහි යෙදී සිටින යාත්‍රා ඉලක්ක කර ප්‍රහාරය එල්ල කළ බව යි. එය ආත්මාරක්ෂාව වෙනුවෙන් එල්ල කළ ප්‍රහාරයක් බවක් ද එම හමුදා අංශ පැවසුවේය. ඔවුන් සඳහන් කළ ආකාරයට මේ ප්‍රහාරය එල්ල කර තිබුණේ ඇමරිකානු හමුදා සෙබළුන් හමුවේ මතුවෙමින් තිබූ තර්ජනවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා යි.

ඇමරිකාවේ මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරානය ද ඇමරිකානු ඩ්‍රෝන යානාවක් වෙඩි තබා බිම හෙලා ඇතැයි වාර්තා විය. ඊට අමතරව ඇමරිකානු යුද ගුවන් යානයකට වෙඩි තැබූ බවක් ද ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී බලකාය ප්‍රකාශ කර තිබිණි.

මේ සිද්ධිය ඉරාන යුද්ධයේ අවසානයක් බලාපොරොත්තුවෙන් සිටින කා තුළත් යම් තිගැස්මක් ඇති කළ එකක් විය.

කෙසේ හෝ වේවා, ඉහත ප්‍රහාරය පසුබිම් කරගෙන නැවත දරුණු ගැටුමක් ඇති වන ලකුණු මෙම සටහන ලියන බදදා සවස වනවිට නම් දකින්නට තිබුණේ නැත. එමෙන්ම පාකිස්තානය, කටාර් වැනි රටවල මැදිහත් වීමෙන් ඉදිරියට යමින් තිබූ සාකච්ඡා නතර වූ බවක් වාර්තා වූයේ ද නැත. බදාදා සවස වනවිට පළ වී තිබූ වාර්තාවලින් පැවසුණේ දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කටාර් රාජ්‍යයේ පැවැත්වෙමින් තිබූ බව යි. එය නැවතත් බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතු වී තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද මෙයට අදාළව ප්‍රකාශයක් කළේය. මේ වනවිට සිදුවෙමින් ඇති සාකච්ඡා හරහා ගිවිසුමක් ඇති වීමට තවමත් ඉඩ ඇති බවත්, නමුත් ඒ සඳහා තව ටික දිනක් ගතවනු ඇති බවත් ඔහු සඳහන් කර තිබිණි .

සඳුදා රාත්‍රියේ ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ද සුළු ප්‍රමාණයකින් නැවතත් ඉහළ ගිය ආකාරයක් දැක ගත හැකි විය. පසුගිය සති අන්තයේ ඇති වී තිබූ සුබදායක තත්වය හමුවේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96 ක් දක්වා අඩු වී තිබිණි. නමුත් සඳුදා ප්‍රහාරයෙන් පසු තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99-100 අතර අගයක් දක්වා නැවතත් ඉහළ ගොස් තිබෙනු දැක ගන්නට ලැබිණි.

සඳුදා රාත්‍රියේ ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ද සුළු ප්‍රමාණයකින් නැවතත් ඉහළ ගිය ආකාරයක් දැක ගත හැකි විය. පසුගිය සති අන්තයේ ඇති වී තිබූ සුබදායක තත්වය හමුවේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96 ක් දක්වා අඩු වී තිබිණි. නමුත් සඳුදා ප්‍රහාරයෙන් පසු තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99-100 අතර අගයක් දක්වා නැවතත් ඉහළ ගොස් තිබෙනු දැක ගන්නට ලැබිණි.

කෙසේ නමුත් දැනට පවතින තත්වය අනුව පෙනෙන්නේ සාමය පිලිබඳ බලාපොරොත්තු සම්පූර්ණයෙන් අත් හැර ගන්නට තරම් හේතුවක් නැති බව යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර