ට්‍රම්ප්ට වඩා සාමය ගැන උනන්දු ඇමරිකාවේ උප ජනාධිපති

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනියා හෙවත් ඇමරිකානු උප ජනාධිපතිවරයා වන ජේ ඩී වෑන්ස් මේ දිනවල ඇමරිකානු දේශපාලනය තුළ ලොකු අවධානයක් දිනා සිටින චරිතයකි. ට්‍රම්ප්ගේත් , වෑන්ස්ගේත් පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයට දැවැන්ත පරාජයක් හිමිකර දෙමින් පසුගිය දා අවසන් වූ එරට  මැතිවරණයෙන් පසු වෑන්ස් වෙත මේ ආකාරයෙන් විශේෂ අවධානයක් යොමුවෙමින් තිබෙනු දැකිය හැකි වේ.
ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඉරාන යුද්ධයට අදාලව ඔහු ජනාධිපති ට්‍රම්ප්ට වඩා වෙනස් ස්ථාවරයකින් කටයුතු කරමින් සිටීම සහ යුද්ධය අවසන් කිරීම සඳහා ලොකු උනන්දුවක් දක්වමින් සිටීම ය. මැතිවරණයෙන් පසු වෑන්ස් යුද්ධය සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශවලට ද විශාල ප්‍රසිද්ධියක් ලැබිණි.

මේ වනවිට 42 වැනි වියේ පසුවන වෑන්ස් පිලිබඳව  තවදුර  සාකච්ඡා කිරීමට පෙර නොවැම්බර් 3 වැනි දින පැවැති මැතිවරණය ගැන කෙටියෙන් යමක් පැවසීම අවශ්‍ය වේ. එම මැතිවරණයේ දී ප්‍රධාන වශයෙන්ම සිදු වූයේ ඇමරිකානු කොංග්‍රසයේ මන්ත්‍රී මණ්ඩල සඳහා නියෝජිතයන් තෝරා ගැනීම යි. එරට  කොංග්‍රසය යනු අප රටවල පාර්ලිමේන්තුවට සමාන ආයතනයකි.

ඇමරිකානු කොංග්‍රසයේ මන්ත්‍රී මණ්ඩල දෙකක් ඇති අතර ඒවා හැඳින්වෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය  සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යනුවෙනි. මැතිවරණයේ දී මෙම මන්ත්‍රී මණ්ඩල දෙකේම බහුතර බලය හිමිකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිවාදීන් වන  ඩිමොක්‍රටික් පක්ෂයට හැකි විය. ඊට පෙර එම මන්ත්‍රී මණ්ඩලවල බලය හිමි කරගෙන සිටියේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය යි.

ට්‍රම්ප් සහ වෑන්ස්
ට්‍රම්ප් සහ වෑන්ස්

රිපබ්ලිකන් පක්ෂයේ  දරුණු පරාජයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල වැඩිවීමත් සමග ජනතාවගේ ආර්ථික ප්‍රශ්න ඉහළ යාම යි. මේ නිසා රිපබ්ලිකන් පක්ෂය දැන් ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර මැතිවරණ පරාජයත් සමග ට්‍රම්ප් ගේ දේශපාලන ප්‍රතිරූපය ද දැඩි කඩා වැටීමකට ලක්ව ඇත. නිව් යෝක් ටයිම්ස් පුවත්පත් ආයතනය පසුගිය 10 වැනි දින සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කරන ආකාරය අනුමත කර තිබුණේ ජනතාවගෙන් සියයට 37 ක ප්‍රතිශතයක් පමණි. සියයට 61 ක් ඔහුගේ ක්‍රියා පිලිවෙත අනුමත කර තිබුණේ නැත.

තව වසර දෙකකින්, 2028 වසරේ  ඊළඟ කොංග්‍රස් මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණය ද පැවැත්වීමට නියමිතව තිබේ. ඊට පෙර රිපබ්ලිකන් පක්ෂය වත්මන් අගාධයෙන් ගොඩ ඒමට අසමත් වුවහොත් ඔවුන් යළිත් ලොකු පරාජයක් හිමි කරගනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති ට්‍රම්ප්ට 2028 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් නොවේ. ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකුට ජනාධිපති ධුරය දැරිය හැක්කේ දෙවතාවක් පමණි. මේ අනුව 2028 ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කිරීමට වඩාත්ම ඉඩ ඇත්තේ වත්මන් උප ජනාධිපති වෑන්ස් ය. එම තත්වය තුළ ඉදිරියේ දී වෑන්ස්ගේ අදහස් උදහස්වලට සහ ඔහුගේ දේශපාලන දැක්මට පක්ෂය තුළ වැඩි අවධානයක් යොමු වීමට ඉඩ තිබේ.  දැන් පක්ෂයේ අනාගතය නියෝජනය කරන්නේ ට්‍රම්ප් නොව වෑන්ස් බැවිනි.

රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයෙන් පසු වෑන්ස් කීවේ මෙම අගාධයෙන් ගොඩ ඒමට නම් හැකි ඉක්මනින් ඉරාන යුද්ධය අවසන් කළ යුතු බව යි. ඊට අමතරව ඔහු තවත් කාරණා තුනක් අවධාරණය කළේය.  1. ජීවන වියදම සහ උද්ධමනය අඩු කිරීම සඳහා අවධානය යොමු කිරීම, 2. ඇමරිකාවේ අභ්‍යන්තර ප්‍රශ්න පිලිබඳ වැඩි අවධානයක් යොමු කිරීම, 3. ඊශ්‍රායලය සමග ඇති සබඳතා ගැන යළි සලකා බැලීම එම කාරණා යි.

රිපබ්ලිකන් පක්ෂයට ඉදිරියේ දී ජනතාව අතර නැවත යම් ප්‍රසාදයක් ගොඩ නගා ගැනීමට නම් වහාම වෑන්ස්ගේ මෙම යෝජනාවලට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

වෑන්ස්
වෑන්ස්

වෑන්ස් මුල සිටම යුද්ධයට යම් විරෝධයක් දැක්වූවකු වූ බව ද මෙහි දී සිහිපත් කළ යුතුය. මේ වනවිටත්  ඉරානය සමග ඉක්මනින් සාම ගිවිසුමකට එළැඹීම සඳහා වෑන්ස් ලොකු උත්සාහයක් ගනිමින් සිටින ආකාරය  දැකගන්නට ලැබේ. මෙයට අදාලව වඩාත්ම අවධානයක් දිනාගත් කාරණයක් වූයේ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා වන
මොහ්සෙන් රෙසායි වෙත වෑන්ස් සෘජුවම ලිපියක් යැවීම යි. ඇමරිකාව සහ ඉරානය අතර සෘජු සාකච්ඡා ක්‍රියාදාමයක් ආරම්භ කිරීම සඳහා මේ තුළින් යෝජනා කර තිබූ බව වාර්තා විය. මේ වනවිට  මෙම දෙපාර්ශ්වය අතර යම් යම් සන්නිවේදනයන්  සිදුවෙමින් ඇතත් එය සෘජු සාකච්ඡා ක්‍රියාදාමයක් නොවේ. එහි දී ඔවුන් සන්නිවේදනය කරගන්නේ කටාර් රාජ්‍යය වැනි මැදිහත්කරුවන් හරහා යි.

මොහ්සෙන් රෙසායි යනු ඉරාන උත්තරීතර නායක මොජ්ටබා කමෙනීට ඉතා සමීප නිලධාරියකු ලෙස සැලකෙන්නෙකි.

සාමාන්‍යයෙන් ඉහත කී ආකාරයේ  ලිපි හුවමාරු සිදුවිය යුත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ  ඉරාන විදේශ අමාත්‍යංශය අතර ය. නමුත් වෑන්ස් එම සම්ප්‍රදායෙන් බැහැර වෙමින් සෘජු සන්නිවේදනයක නිරත වී ඇති බව දැකිය හැකි වේ. කෙසේ හෝ වේවා මෙම ලිපිය යැවීමට පෙර වෑන්ස් ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගන්නට ඇතැයි සිතිය හැකිය.

කෙසේ නමුත් මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් ඉරානය පැත්තෙන් වෑන්ස්ගේ ලිපියට පිලිතුරක් ලැබී තිබුණේ නැත. සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ඇමරිකාව ඉටු කළ යුතු කොන්දේසි කිහිපයක් ගැන ඉරානය කලෙක සිට අවධාරනය කරයි. ඒවා නම්, ඉරාන වරායන්ට අදාලව ඇමරිකාව ක්‍රියාත්මක කරන නාවුක අවහිරය ඉවත් කිරීම, ආර්ථික සම්බාධක අවසන් කිරීම, මේ වනවිට අත්හිටුවා ඇති ඩොලර් බිලියන ගණනක ඉරාන වත්කම් නිදහස් කිරීම ආදිය ඒ අතර වේ.

ට්‍රම්ප් සහ වෑන්ස්
ට්‍රම්ප් සහ වෑන්ස්

මේ අතර උප ජනාධිපති වෑන්ස් ඇමරිකාව සහ ඉරානය අතර මැදිහත්කාර පාර්ශ්ව ලෙස කටයුතු කරන කටාරයේ අගමැතිවරයා සහ පාකිස්තානයේ හමුදා ප්‍රධානියා සමග නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් වේ.

පසුගිය දා පැවති මැතිවරණයෙන් ජය ගනිමින් කොංග්‍රසයේ බලය ඇල්ලූ ඩිමොක්‍රටික් පක්ෂය එහි සිය වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කරන්නේ ජනවාරි 3 වැනි දින යි. ඔවුන් මැතිවරණ ව්‍යාපාරය තුළ  ජනතාවට පොරොන්දු වූයේ යුද්ධය අවසන් කිරීම සඳහා සිය බලය උපයෝගී කරගන්නා බව යි. ඇතැම් විට සාමයේ ගෞරවය ඔවුන් වෙත යාම වැලැක්වීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ඊට පෙර සෘජු සාම ක්‍රියාදාමයකට මුල පුරන්නට ඉඩ තිබේ. එමෙන්ම එහි දී ජේ ඩී වෑන්ස් කැපී පෙනෙන කාර්යභාරයකට උර දෙන්නටත් ඉඩ තිබේ. එය සාර්ථක වුවහොත් එය රිපබ්ලිකන් පක්ෂයේ මෙන්ම වෑන්ස්ගේ දේශපාලන අනාගතයට ද වාසිදායක වනු ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර