මැයි මස 25 වනදා ලබාදීමට නියමිත අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි. එම සංගමය අවධාරණය කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බවය
පසුගිය මැයි 01 වනදා පැවති මැයි දින රැලියක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, මැයි 25 වනදා ලැබීමට නියමිත අධිකරණ තීන්දුවෙන් පසු ජනතාවට ඊට අත්පොළසන් දිය හැකි වනු ඇති බවයි. මෙම ප්‍රකාශය හරහා අධිකරණ ක්‍රියාවලියට යම් බලපෑමක් හෝ මැදිහත්වීමක් සිදුවන බවට ඉඟි පළවන බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.නීතිඥ සංගමය නිකුත් කළ විශේෂ නිවේදනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කිහිපයක් පෙන්වා දී ඇත. 111 C (1) වගන්තිය: අධිකරණ බලය ක්‍රියාත්මක කරන කිසිදු නිලධාරියෙකු වෙනත් පුද්ගලයෙකුගේ නියෝග හෝ මැදිහත්වීම්වලට යටත් නොවිය යුතුය.111 C (2) වගන්තිය: එවැනි මැදිහත්වීම් සිදුකිරීම ව්‍යවස්ථාපිත වරදකි.
“මෙවැනි ප්‍රකාශ මගින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු විය හැකියි. විධායකය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකින් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව අප සංගමය දැඩිව පෙනී සිටිනවා.” යැයි එම නිවේදනයේ සඳහන් වේ.අධිකරණයේ අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සහ ලේකම් නලින් ද සිල්වා මහතාගේ අත්සනින් යුත් මෙම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.