“අපි තමයි හොඳටම කළේ”කියන්නට රජය වී මෝල් හිමියන්ට ඉඩ දුන්නේ ඇයි?

සහල් සඳහා පාලන මිලක් ඇති කෙරුණේ සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙනි. සහල් පාලන මිලට වඩා වැඩියෙන් විකුණුව හොත් දඬුවම් කිරීම වෙනුවෙන් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා නව නීති ද ගෙන එනු ලැබීය. පවතින පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධනයක් කරමින් ඔහු සහල් සඟවන සහ සහල් වැඩි මිලට විකුණන වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන දඩය වැඩි කිරීමට පියවර ගත්තේය. සහල් සඟවන පිරිසට හා වැඩි මිලට විකුණන පිරිසට අය කරන දඩය රුපියල් 2000 සිට ලක්ෂය දක්වා ඉහළ දැමීමට ඔහු පියවර ගත්තේ ය.
රජය පනවා තිබූ පාලන මිල අනුව කීරි සම්බා විකිණිය හැක්කේ කිලෝවක් රුපියල් 125 ට ය. සම්බා කිලෝවක් විකිණිය හැක්කේ රුපියල් 108 ට ය. නාඩු කිලෝවක් විකිණිය හැක්කේ රුපියල් 103 ට ය. කැකුළු සහල් කිලෝවක් විකිණිය හැක්කේ රුපියල් 98 ට ය. මෙරට නීතිය අනුව එම මිලට වැඩියෙන් විකිණිම දඩුවම් ලැබිය හැකි වරදකි.
පාලන මිල පැනවීමෙන් පසු සහල් හිගයක් වෙළෙද පොල තුළ ඇතිවෙන්නට පටන් ගත්තේය. පාරිභෝගික අධිකාරිය විසින් මහා පරිමාණ හා සුළු පරිමාණ හාල් මෝල් වටලන්නට පටන් ගත්තේ ඒ අනුව ය. අරලිය, නිපුන හා රත්න වැනි මහා පරිමාණ සහල් මෝල් ද වැටළු ආණ්ඩුව අවසානයේ සතොස ලොරි හරහා සහල් කිලෝ ලක්ෂ 8 ක් කොළඹට රැගෙන ආවේ ය. ඔවුන් රැගෙන ආ සහල් තොග ගණනය කළ විට එය මෙරට එක් දිනයක වත් පරිභෝජනයට ද ප්‍රමාණවත් නොවූවේ ය.
ඉකුත් සඳුදා පැවැති ඇමති මණ්ඩලය වෙත සහල් පාලන මිල ඉහළ දැමීමේ යෝජනාවක් ඉදිරිපත් වූයේ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය හරහා ය. ඊට අවසර නොදුන් ඇමති මණ්ඩලය සහල් සදහා පනවා තිබූ පාලන මිල ඉවත් කරනු ලැබීය. ඊට අමතරව සහල් කිලෝ ලක්ෂයක් අතිරික්ත තොගයක් ලෙස ගෙන්වා තබා ගැනීමට ද තීන්දු කරනු ලැබීය.
ඇමති මණ්ඩල තීන්දුව ප්‍රකාශයට පත් කොට දිනක් ගත වෙද්දී මහා පරිමාණ වී මෝල් හිමියන් මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඊට අරලිය සහල් නියෝජනය කරමින් ඩඩ්ලි සිරිසේන සහභාගී වී සිටි අතර රත්න හා නිපුන සහල් මෝල් නියෝජනය කරමින් ඔවුන්ගේ නියෝජිතයෝ සහභාගී සිටියහ.
මාධ්‍ය හමුවේ ඩඩ්ලි සිරිසේන කියා සිටියේ තම සංගමය නාඩු සහල් කිලෝවක් 115 ට ද, සම්බා සහල් කිලෝවක් 140 ට ද, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165 ට ද අලෙවි කරන බවයි. එසේම නාඩු වී කිලෝවක් රුපියල් 62.50 ට ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 70 ටද, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 82 ට ද මිලදී ගන්නා බව ය.
ඔහුගේ කතාවෙන් ගොවීන්ට සාධාරණයක් වනවා යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් යල කන්නයේ වී අස්වැන්න නෙළා ගත්තේ ජුනි, ජුලි හා අගෝස්තු මාසවල දී ය. එහිදි බොහෝ ගොවීන්ට වී අලෙවි කරන්නට සිදුවූවේ රජය වී සදහා පනවා තිබූ පාලන මිලට ය. රජය ඒ වන විට පනවා තිබු පාලන මිල වූයේ වී කිලෝවක් රුපියල් 55 ට වැඩියෙන් අලෙවි කළ නොහැකි බවටය.
රජයේ එම පාලන මිලට අනුව ගොවීන්ට වී අලෙවි කිරීමට සිදුවූවේ නාඩු කිලෝවක් රුපියල් 50 ට හා සම්බා කිලෝවක් රුපියල් 52 ක් වැනි මිලකට ය. ගොවීන්ට තමන්ගේ වී තොග නිවසේ වැඩිකාලයක් තබා ගත නොහැක. මන්ද වී තෙත් වුව හොත් තෙත බර අතහැර වී විකිණිමට සිදුවන නිසා ය. එසේම ගබඩා පහසුකම් නොමැතිවීම ද ගොවීන් ඉක්මණින් තමන් සතු වී තොග අලෙවි කිරීමට පෙළෙඹෙන තවත් කරුණකි.
ඊට අමතරව ආණ්ඩුව කළ බලපෑමක් ද තිබුනි. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කීවේ රජයට වී අලෙවි නොකරන වෙළෙඳුන්ට පොහොර සහනාධාරය නොදෙන බවට ය. මේ සියළු කාරණා මත ගොවීන් තමන් සතු වී අස්වැන්න අලෙවි කිරීමට පියවර ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ ගොවීන්ට ඉහත කී මිල ගණන්වලට වී විකිණිමට සිදුවීම ය.
මේ වන විට සහල් මෝල් හිමියන් සතුව ඇත්තේ එලෙස රුපියල් 55 ට අඩුවෙන් ගත් වී තොගය. සීමිත ගොවි පිරිසක් සතුව වී තොග තිබිය හැකිමුත් බහුතර ගොවීන් සතුව වී තොග නැත. එහි ප්‍රතිඵලය අසීමිත ලාභයක් වී මෝල් හිමියන් සතුවීමය. රුපියල් 55 ට අඩුවෙන් ගත් වී තොග සහල් බවට පරිවර්තනය වී නාඩු 115 ටත්, සම්බා 140 ටත්, කීරි සම්බා 165 ටත් අලෙවි වන්නේ ය.
එනයින් ගත් කළ කෝටි ප්‍රකෝටි ගණනක මුදල් සහල් මෝල් හිමියන් සහ දේශපාලඥයන් අතර බෙදී යනු නොඅනුමාන ය. ගොවීන් හා බත් කන ජනතාව පීඩාවට පත්කොට මෝල් හිමියන් පිරිසක් සතුටු කර තිබේ.
මහාපරිමාණ මෝල් හිමියන්ට එරෙහිව ඉතිහාසය පුරා කෑ ගසන සුළු පරිමාණ සහල් මෝල් හිමියන් කණ්ඩායමක් ද සිටිති. මරඳගහමුල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මේ පිරිස දැනටත් මහා පරිමාණ මෝල් හිමියන්ගේ මිලට වඩා රුපියල් 10 ක හෝ අඩු මිලකට සහල් අලෙවි කිරීමට උත්සාහ කරති. නමුත් එය ප්‍රමාණවත් නොවේ.
වත්මන් රජය බලයට පත්වූ පසු වැඩිම ගැසට් සංඛ්‍යාවක් නිකුත් කෙරුණේ සහල් මිල සම්බන්ධයෙනි. අවසානයේ රජය ඒ ගැසට් ඉවත් කොට ගත් නිසා මහා පරිමාන මෝල් හිමියන් ට මිල තීරණය කිරීමට අවස්ථාව උදාකර දී තිබේ.ඒ අනුව”අපි තමයි හොඳටම කළේ”කියමින් මහා පරිමාන මෝල් හිමියන් උදම් අනන තුරු කර බා ගෙන ඉන්නට රජයට සිදු වී තිබේ.
ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර