ගෙවතු වගා බේරාගන්නත් පැල් රකින්න වේද?

ගසක වැඩී ඇති කොස් ගෙඩියක් ඉබි යතුරු දමා ආරක්ෂා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණ‍ය වෙයි.කලකදී උපකල්පන පෙරදැරිව විහිළුවට කියන කරන දේ පසුව සැබෑවක් බවට පත් වීම නිරතුරුව සමාජය තුළ පවතින යථාර්ථයකි.

ඒ අනුව මෙම ඡායාරූපය සම්බන්ධයෙන් අප තුළ පවත්නා නිගමනය වනුයේ වත්මන් ආර්ථික සමාජ ඛේදවාචකය මුල් කොට මෙම ඡායාරූපය උපකල්පනයත් ‍යථාර්ථයත් අතර දෝලනය වන්නක් බව ය.

විවිධ කෘෂිකාර්මික බව බෝග සොරුන් විසින් පැහැරගෙන යාම සම්බන්ධ සිද්ධීන් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙයි. ඒ අනුව තම වගා බිම් ගෙවතු ආදියට දැනට සළකා ඇති ආරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරන වගා කරුවන් පවසනුයේ තම බව බෝග සොරුන් විසින් පැහැරගෙන යාම වළකාලීම පිණිස විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බරපතල ගැටළුවක් වන බව ය.

ඒ අනුව ග්‍රාමීය මට්ටමේ ව්‍යාපාරික කෘෂි කාර්මික බිම් සේම ගෙවතු වල වගා කොට ඇති කෙසෙල්, කොස් ,දෙල්, අඹ, දොඩම්, අලිගැටපේර, රඹුටන් ඇතුළු බව බෝග රාත්‍රී කාලයන් තුළ සේම අවස්ථානුකූලව දිවා කාලයන් හිදි විවිධ පුද්ගලයන් විසින් පැහැර ගෙන යාම මුල් කොට ග්‍රාමාරක්ෂක කමිටු යළි පණ ගැන්විය යුතු යැයි ඒ ඒ ප්‍රදේශ වල ජනතාව කියති. එහෙත්,ඒ සම්බන්ධයෙන් තවත් පිරිසක් ප්‍රකාශ කරනුයේ දැනට ජනතාව මුහුණ දෙන දැඩි ආර්ථික පීඩනය හමුවේ මෙම සොරකම් වලින් වැඩි කොටසක් තමන් දන්නා කියන අසල්වැසියන් විසින්ම සිදුකරන බවකි.

දැනට පවත්නා මෙම බව බෝග සොරුන් විසින් පැහැරගෙන යාමේ ප්‍රවණතාව හමුවේ හෙට අනිද්දා වන විට අප සමාජයේ බොහෝ දෙනකුට තම ගෙවත්තේ ඇති කොස්, දෙල්, පොල්, කෙසෙල් ආදී බෝග වර්ග රැක ගැනීම පිණිස රැය පහන් වන තුරු නිදි වර්ජිතව “පැල් රැකීමේ” තත්වයක් එළැඹීම අනිවාර්යයෙන්ම සිදුවන බව ජනතාව කියති.

පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිදු කළ මෙවන් අසංවිධාත්මක සොර මැරකම් වලට අද වන විට තම අඹුදරුවන්ගේ කුස ගිනි නිවීමේ උපාය මාර්ග අහිමි සාමාන්‍ය ජනතාව පවා ඇබ්බැහි වීම බරපතල සමාජ ඛේදවාචකයක් ව තිබේ.

මේ අතර ඇතැම් ප්‍රදේශවල එසේ තම බව බෝග පැහැර ගන්නවුන්ට එරෙහිව වස්කවි කීම්, පළිගැසීම් ආදී ගුප්ත ක්‍රියාකාරකම් ද සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතින අතර එම ගුප්ත ක්‍රියා සිදු කරන බව අඟවමින් ජනතාවගෙන් මුදල් ගසා කන වෙනම ජාවාරම්කාර පැලැන්තියක් ද මේ වන විට හිස ඔසවා තිබේ.

එතෙර - මෙතෙර