දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 200 ඉක්මවූ තද වැසි: දිස්ත්‍රික්ක කිහිපයකට රතු නිවේදන

දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලටත්, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහාත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.අද (13) උදෑසන 6.30ට නිකුත් කරන ලද මෙම හදිසි නිවේදනය පස්වරු 3.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවට අනාවැකි පළ කර ඇත.මීට අමතරව උතුරු සහ උතුරුමැද පළාත් වල සහ ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක යන ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකිය.ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් ගස් කඩාවැටීම් සහ විදුලි අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් දැනුම් දෙයි.

කාලීන පුවත්