දෙමළ ජනතාව සමරන්නේත් අපේ සිංහල අවුරුද්දමද?

vinivida

නැකත් මතභේද රාශියක් මධ්‍යයේ සිංහල අවුරුද්ද නිමාවට පත් විය. මේ සමගම නැකත් වෙනුවෙන් ඇනගත් ගුටිබැට ද අපට කෙමෙන් අමතක වී යනු ඇත. මේ උත්සවය ‘සිංහල – දෙමළ’ යනුවෙන් හඳුන්වනු ලැබුුව ද නැකත් සමග සිංහලයන් සිදු කරන ගනුදෙනු සමග සලකා බැලීමේ දී එය දෙමළ ජාතිකයන්ට පොදු නොවන බවක් පෙනෙන්නට තිබේ. සිංහල අවුරුද්ද අප්‍රේල් 12, 13 හෝ 14 වැනි ඕනෑම දිනෙක යෙදිය හැකිය. එය තීරණය කරන්නේ නැකැත් කමිටුුවය. නැකත් කමිටුව මගින් තීරණය කෙරෙන මේ එක් දිනයක සිංහල අවුරුද්ද සමරනු ලබන අතර රූපවාහිනී සජීවී වැඩසටහන්වල දෙමළ ජනතාව ද එය සමරන ආකාරය පෙන්වනු ලබයි. නමුත් සැබෑ දෙමළ අවුරුද්ද යනු කුමක්දැයි දන්නේ නම් සිංහලයන් සමගම දෙමළ ජනතාව ද එකී නැකත්වලට අනුගතව රටක් ලෙස එකම වේලාවේ අවුරුද්ද සමරන්නේ යැයි විවිධ පාර්ශ්වයන් පුන පුනා පවසන කතාවේ ඇත්ත නැත්ත අවබෝධ කොට ගත හැකිය.

අප රට පුරා දෙමළ ජනතාව විසිරී පැතිරී සිටියත් අප්‍රේල් මාසයේ උදා වන අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරන්නට පෙලඹෙන්නේ බොහෝ විට දෙමළ බහුතරයක් වෙසෙන උතුරු පළාතේ ය. ඊට අමතරව කොළඹ වැනි වැනි නාගරික දෙමළ ජනතාව ද මෙය සමරති. වතුකරයේ මෙය එතරම් උත්වශ්‍රීයකින් දැකිය නොහැකිය.

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලබන බව රූපවාහිනි මාධ්‍යයෙන් පෙන්වනු ලැබුව ද හින්දු චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ දෙමළ ජනතාවගේ අවුරුදු චාරිත්‍ර අපට වඩා යම් වෙනස්කම්වලින් යුක්ත වන බවය. අප රටේ සිංහල ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ නැකැත් කමිටුව වුව ද දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ අප්‍රේල් 14 වැනිදාය.

නිරායන ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අප්‍රේල් 14 වැනිදා ය. ජාත්‍යන්තර දෙමළ දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක ආනතිය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය. මෙය අප්‍රේල් 12 – 14 දක්වා වූ දින තුන අතර පවතී. සිංහල ජනතාව අලුත් අවුරුදු උත්සවයේ විවිධ අංග දින කිහිපයක් තිස්සේම පවත්වනු ලැබුව ද දෙමළ ජනතාව මෙය එක් දිනක් තුළ අවසන් කරති.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් ය. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‛සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදීය. මෙම මාසය දෙමළ බසින් ‛පුත්තන්ඩු’, ‛වරුද පයිරප්පු’ හෝ ‛චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ‛පුත්තන්ඩු වාස්තුකල්’හෝ ‛ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේ දී එකිනෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපුර්, මිතිලා, ඔඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවල ද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ. සිංහල ජනතාව අලුත් අවුරුද්ද සැමරීමේ දී ජ්‍යෝතිෂ සිද්ධාන්ත අකුරටම පිළිපදිති. එබැවින් මෙය ‛නැකැත් කෙළිය’ නමින් ද හඳුන්වනු ලැබේ. දෙමළ ජනතාව අතර ද මෙහි වෙනසක් නැත. දෙමළ ජනතාව අතර අතීතයේ සිට පැවති සිරිතක් වන්නේ අලුත් අවුරුදු දිනයේ දී පවුලේ වැඩිහිටියකු හෝ නැකැත්කරුවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාපල කථනයක් සිදුකිරීමය.

අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදිවන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාම සිදු කරනු ලබයි. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මේ දිනයේ දී දෙමළ නිවෙස්වලට ඇතුළු වන දොරටුව අසල කාන්තාවන් විසින් ‛කෝලම්’ හෝ ‛රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙම කෝලම් රටාවලට මැදින් ‛කුට්ටු විළක්කු’ නම් පහනක් තබනු ලබයි. ‛කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‛කන්නි’ යන්නෙහි අරුත් වන්නේ ‛සුබ දසුන’ වැන්නකි. ඔවුන් මේ අවස්ථාවේ දී රන් ආභරණ, පලතුරු, එළවළු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තැබේ. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේදී ඒ අසලින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමග මුසු කර ගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද දෙමළ ජනතාව අපේක්ෂා කරති. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේ දී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‛කායි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදු කරනු ලබයි. මෙය බොහෝ විට සිදු කෙරෙන්නේ අවිවාහක තරුණ තරුණයින්, විශේෂයෙන් කුඩා දරුවන් සමග වන අතර එයින් බලාපොරොත්තු වන්නේ වාසනාවන්ත බවයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස් පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‛ආර්පුඩු’ නමින් හැඳින්වේ. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‛පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ්‍ර ‛මරුති – නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදු කරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ.

මේ අනුව සිංහල සහ දෙමළ අවුරුදු චාරිත්‍රවල පැහැදිලි වෙනස්කම් පවතින බව තේරුම් ගත හැකිය. එකක් වන්නේ ඔවුනට මේ සඳහා නිශ්චිත දිනයක් තිබීමය. සිංහල අවුරුද්ද අවසන් වන්නේ හිසතෙල් ගෑමෙන් වන අතර එය යෙදෙන්නේ අවුරුද්දෙන් පසු දිනක ය. නමුත් දෙමළ අවුරුද්ද එක දිනක් තුළ අවසන් වේ. සිංහල අවුරුද්දේ දී මෙන් ආහාර අනුභවය, වැඩ ඇල්ලීම ආදිය සඳහා දිවා කාලය ඉක්ම වූ නැකත් දෙමළ ජනතාවට නැත. ඔවුන්ගේ සියලු නැකත් කටයුතු උදේ කාලයේ සිිදුකරනු ලබයි. මෙවර සිංහල අවුරුද්ද යෙදුණේ අප්‍රේල් 13 වැනිදාය. දෙමළ ජනතාව ද මේ දිනයේ දී අවුරුදු සමරනු ලැබූ ආකාරය ජනමාධ්‍යය ඔස්සේ පෙන්වන්නට ඇත. නමුත් සැබෑ දෙමළ අවුරුද්ද ලොව පුරා සමස්ත දෙමළ ජනතාව විසින් පවත්වනු ලැබුවේ 14 වැනි ඉරිදාය. සිංහලයන් අවුරුදු උත්සවයට සමගාමීව බයිසිකල් රේස්, අවුරුදු උත්සව ආදිය පවත්වනු ලැබුව ද දෙමළ ජනතාව අතර ඒවා දක්නට ලැබෙන්නේ නැත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර