වසර 30 ක් පැරණි කළල දෙකකින් ආසාමාන්‍ය නිවුන් දරු උපතක් : ලෝක වාර්තාවක්

daru

අපූරු ලෝක වාර්තාවක් පිහිටු වූ නිවුන් දරුවන් දෙදෙනකු පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රධාන පුවත් මවන්නන් බවට පත්ව තිබිණි. මෙයට දින කිහිපයකට පෙර මෙලොව එළිය දුටු ඔවුන් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණේ වසර 30 ක් පැරණි කළල දෙකකින් උපත ලබා තිබීම හේතුවෙනි. සාමාන්‍යයෙන් දරුවකු බිහිවන්නේ කළලය ඇති වී මාස නවයක දහයක පමණ කාලයකට පසුව බව රහසක් නොවේ.

මෙම දරු උපත මෙකල කෙමෙන් ජනප්‍රිය වෙමින් ඇති තාක්‍ෂණයක් ඇසුරෙන් සිදු වූ දරු උපතකි. එහි දී යොදාගෙන තිබුණේ වසර 30 ක් තිස්සේ ශීත :රෙැැ‘ැ* කර විද්‍යාගාරයක තැන්පත් කර තිබූ කළල දෙකකි. එම කළල නිර්මාණය කර තිබුණේ 1992 වසරේ ය. මේ කළල ඇසුරෙන් ඉහත කී දරුවන් බිහි වී තිබුණේ ඔක්තෝබර් 31 වැනි දින යි. නමුත් මේ ගැන මාධ්‍ය හරහා අනාවරණය කෙරුණේ මෙයට දින කිහිපයකට කලිනි.

මෙම නිවුන් දරුවන්ගේ මව්පියන් වන්නේ ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ජීවත් වන අඹු සැමි යුවළකි. රේචල් රිජ්වේ සහ පිලිප් රිජ්වේ නැමැති ඔවුන් දෙදෙනා මෙම දරු උපත නිසා මහත් සතුටට පත්ව සිටිනු දැකිය හැකි වේ. කෙසේ නමුත් වසර 30 කට පෙර, 1992 වසරේ මෙම දරුවන්ගේ කළල නිර්මාණය කර තිබුණේ රේචල් ගේ සහ පිලිප් ගේ ඩිම්බ සහ ශුක්‍රාණු ඇසුරෙන් නොවේ. ඒ වනවිට ඔවුන් කුඩා දරුවන් ය. ඇමරිකානු ආයතනයක් මෙම කළල නිර්මාණය කර තිබුණේ විද්‍යාගාරයක යි. ඒ නල දරුවන් ඇති කරන ආකාරයට ය. ඔවුන් එම කටයුත්ත සිදු කර තිබුණේ වෙනත් යුවළකගේ ඉල්ලීමකට අනුව බව සඳහන් වේ. මෙම යුවළගේ නම් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නැත. මෙම කළල ඇති කිරීමේ දී සැමියාගේ ශුක්‍රාණු යොදාගෙන තිබුණත් බිරිඳ ගේ ඩිම්බ භාවිත කර නොතිබිණි. ඒ වෙනුවට 34 හැවිරිදි වෙනත් කාන්තාවකගේ ඩිම්බ යොදා ගෙන තිබූ බව පැවසේ. ඒ වනවිට සැමියාගේ වයස අවුරුදු 50 ක් වූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ ආකාරයෙන් නිර්මාණය කරන ලද කළල එයින් පසු විශේෂ තාක්ෂණයක් යටතේ අධික ලෙස ශීත කර තැන්පත් කරනු ලැබිණි. මෙම තාක්‍ෂණයේ දී මුලින්ම සිදු වන්නේ කළලයේ සෛලවල ඇති ජලය ඉවත් කර ඒ වෙනුවට ආරක්‍ෂාකාරී තරලයක් ඇතුල් කිරීමයි. එසේ කරන්නේ අධික ලෙස ශීත කිරීමේ දී ජලයෙන් ස්ඵටික සෑදීමේ ඉඩක් පවතින බැවිනි. මෙම ස්ඵටික නිසා කළලයේ සෛලවලට හානි සිදුවිය හැකි වේ.

මේ ආකාරයෙන් ජලය වෙනුවට ඉහත කී තරළය පිරවීමෙන් පසු කරන්නේ කළල අධික ශීතලක් යටතේ තැන්පත් කර තැබීමයි. එහි දී සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 196 ක පමණ අඩු උෂ්ණත්වයක් භාවිත කරන බැව් සඳහන් වේ. ඉහත කී නිවුන් දරුවන්ගේ කළල ද 1992 වසරේ සිටම විද්‍යාගාරයක තැන්පත් කර තිබී ඇත්තේ මේ ආකාරයට ය. කෙසේ හෝ වේවා, මෙම කළල සඳහා මූලික වූ අඹු සැමි යුවළ 2007 වසරේ එම කළල තවත් ආයතනයක් වෙත පරිත්‍යාග කර තිබිණි. එම ආයතනය හැඳින්වෙන්නේ ජාතික කළල පරිත්‍යාග ආයතනය යන නමිනි. රේචල් සහ පිලිප් දෙදෙනාට මෙම කළල ලැබී තිබුණේ එම ආයතනය මාර්ගයෙනි. පසුව එම කළල රේචල්ගේ ගර්භාෂයේ තැන්පත් කර තිබුණේ මෙම වසරේ මුල් භාගයේ යි.

රේචල් සහ පිලිප් තම අපූරු නිවුන් දරුවන් නම් කර ඇත්තේ ලීඩියා ඈන් සහ තිමති රොනල්ඩ් යනුවෙනි. වැඩිම කාලයක් ශීත කර තැන්පත් කර තිබූ කළලවලින් උපන් දරුවන් ලෙස ඔවුන් ලෝක වාර්තාව පිහිටුවීමට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ මොලී ගිබ්සන් නැමැති දැරියකි. ඇය බිහිව තිබුණේ වසර 27 ක් ශීත කර තිබූ කළලයකිනි.

වසර 30 කට පෙර ලීඩියා සහ තිමති දෙදෙනාගේ කළල නිර්මාණය කරන කාලය වනවිට පිලිප් 5 හැවිරිදි දරුවකුව සිටි බව සඳහන් වේ. ‘දෙවියන් ලීඩියාට සහ තිමතිට ජීවය දෙන විට මගේ වයස අවුරුදු 5 යි. ඔහු එදා පටන්ම ඔවුන් දෙදෙනා රැක බලාගෙන සිටියා’ පිලිප් සඳහන් කර තිබේ. මේ වනවිට මෙම අඹුසැමියන්ට තවත් දරුවන් කිහිප දෙනෙකු සිටින බව ද පැවසේ. ‘අපේ දරුවන් අතරින් පුංචිම දෙන්නා ලීඩියා සහ තිමති යි. නමුත් එක අතකින් ඔවුන් වයසින් වැඩිම දරුවන් දෙදෙනා බවත් කිව හැකියි. මේක ඇත්තටම හිතාගන්න බැරි වැඩක්’ පිලිප් තවදුටත් පවසා තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර