වෙඩි වැදී දුක් විඳ මළ වන අලියා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක්

ඉදිරිපස කකුලට සහ පිටුපස කකුලකට වෙඩි වැදීමකින් සිදුවු තුවාල කිහිපයක් කල්ගතව පැසවා ඒවා දැඩි සේ නරක් වී ආසාදනය වීම හේතුවෙන් කාලයක් තිස්සේ දැඩි වේදනාවෙන් පසු වී ඉකුත් 23 වෙනි දින සවස හසලක, අඹගොල්ල ග‍්‍රාම නිලධාරි වසමේ උල්පත රක්ෂිතය ආසන්නයේ දී මියගිය වන අලියාගේ අවසන් කටයුතු ඊයේ (24) දහවල් මතක වස්ත්‍ර පුජාවකින් පසුව සිදුකෙරුණි.උල්පතගම, 14ඇල, ශ‍්‍රී සුදර්ශනාරාම විහාරාධිපති කෙවුල්ගම විමලරතන හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ සහ හසලක වනජිවි අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. මහින්ද විජයසිංහ මහතා ප‍්‍රමුඛ නිලධාරීන් හා ප‍්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම ආගමික කටයුතු සිදුකරන ලදී.වයස අවුරුදු 40ක් පමණ වන මෙම මිය ගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශූ වෛද්‍යවරයා විසින් සිදුකළ අතර මෙම මරණයට හේතුව ඉදිරිපස කකුලට සහ පිටුපස කකුලකට වෙඩි වැදීමකින් සිදුවු තුවාල කිහිපයක් කල්ගතව පැසවා ඒවා දැඩිසේ නරක් වී ආසාදනය වීම බව අනාවරණය වී තිබේ.මෙම වන අලියා කලක සිටම ගම්මානය පැමිණීම පුරුද්දක් කරගෙන තිබුණද එම සතාගෙන් කිසිවෙකුට කරදරයක් හිරිහැරයක් නොවු බවද ගම්වාසීහු පැවසුහ.මෙම මතක වස්ත්‍ර පූජාව සඳහා එක් භික්ෂුන් වහන්සේ නමක් අපේක්ෂා කළ මුත් භික්ෂුන් වහන්සේ හත් නමක්ම වැඩම කරවීම සුවිශේෂී සිදුවීමක් බව ද ප‍්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ

කාලීන පුවත්