මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමෙස්ත්‍රීගේ අභාවප්‍රාප්ත වෙයි

මාධ්‍යවේදියෙකු, පුවත්පත් සංස්කාරක වරයෙකු, නාට්‍යවේදියෙකු මෙන්ම ගත් කතුවරයෙකු ද වූ, අතුල රංජිත් වෙදමෙස්ත්‍රීගේ මහතා ඊයේ ( 20) සවස හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු “පෝෂණය” නම් වූ ග්‍රන්ථයත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතාගේ චරිතාපදානයත් සම්පාදනය කර තිබූ අතර ප්‍රවීණ ක්‍රිකට් පුහුණු කරුවකු වන නෙල්සන් මෙන්ඩිස් මහතාගේ චරිතාපදානය ද ලියා අවසන් කර තිබුණි.එමෙන්ම නාට්‍යවේදියෙකු ලෙස හා ජනමාධ්‍යවේදියකු ලෙස පුවත්පත් කලාවට එක් වූ ඔහු “එළිවැට” මාසික සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙසත් “ජනපෙරළිය” දේශපාලන පුවත් පතේ කර්තෘ වරයා ලෙසත් කටයුතු කළ අතර කලක් ලක්බිම පුවත් පත් සමාගමේ වැඩ බලන පුස්තකාලයාධිපති ලෙස ද කටයුතු කොට තිබේ.අතුල රංජිත් වෙදමෙස්ත්‍රීගේ මහතාගේ දේහය හෙට(22) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා ඔරුවල සුසාන භූමිය ඉදිරිපස මල් ශාලාවේ තැන්පත් කර තිබෙන අතර ඒ පිළිබදව අවසන් කටයුතු හෙට සවස 6.00ට ඔරුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්