නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ බව කියන ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබිණි. ඒ අනුව පෙරවරු 9.00ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. කොමිසම වෙත පැමිණීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා තමන් කිසිදු වරදක් කර නොමැති බවත්, ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම කොමිසමට කැඳවන සෑම අවස්ථාවකදීම තමන් පැමිණෙන බවත්, පරීක්ෂණ මගහැරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා ලබාගැනීම සම්බන්ධ ගනුදෙනුව පිළිබඳ විමර්ශන යළිත් දැඩි අවධානයකට ලක්ව ඇති අවස්ථාවකය. අදාළ ගනුදෙනුවේදී සිදුවූ බව කියන අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන පවත්වන බව වාර්තා වේ.මෙම අත්අඩංගුව දේශපාලනික වශයෙන් ද විශේෂ අවධානයක් දිනාගෙන තිබේ. විශේෂයෙන්ම සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැලියකට පෙර තමන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කළ හැකි බවට නාමල් රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබුණේ නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග අධිකරණ ක්‍රියාවලිය හා අදාළ පරීක්ෂණ මත පදනම් වන බවය.නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන කරළියට ඇති කරන බලපෑම පිළිබඳවද දැඩි අවධානයක් යොමුවනු ඇත.

කාලීන පුවත්